මිනිකූපර් අධිචෝදනා අස්කර ගන්නෑ – අල්ලස් කොමිසම උසාවියට දන්වයි

724

පරිගණක දත්ත වෙනස් කර ත්‍රීරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගි මිනිකූපර් වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට තම කොමිෂන් සභාව මේ දක්වා තීරණය කර නැතැයි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය ඊයේ (18දා) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නාය.

එම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 4 වැනිදා ලබාදුන් නියෝගය පුළුල්ව අධ්‍යයනය කර චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගෙන නැවත විත්තිකරුවන්ට එරෙහිව නව චෝදනා පත්‍රයක් ගොනු කරන්නේ ද නැති ද යන කරුණු ඉදිරියේ දී මහාධිකරණයට දැනුම් දෙන බවද අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට වැඩිදුරටත් දැනුම් දුන්නාය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරකී අධිචෝදනා පත්‍රයට අත්සන් තැබීම අභියෝගයට ලක්කරමින් දෙවන විත්තිකරු ලෙස නම්කොට තිබූ වර්තමාන ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා ගොනු කළ රිට් ආඥා පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී චෝදනා පත්‍රය අනුව ඉදිරියට කටයුතු කිරීම තාවකාලිකව වළක්වමින්

පසුගිය 4 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට ඇති බවත් ලබන අගෝස්තු 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම පෙත්සම කැඳවන තෙක් එම අතුරු තහනම් නියෝගය බලාත්මක බවත් නීතිඥ හෆිල් පාරිස් මහතා මහාධිකරණයට පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මගින් පෙත්සම්කාර දෙවන විත්තිකරු ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කළ අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට හෝ එලෙස ඉල්ලා අස්කර ගෙන නැවත පැවරීමට බාධාවක් නොමැති බව පෙන්වා දී ඇතැයි ද සහකාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්මන්දප්පෙරුම මහත්මිය අධිකරණයට වැඩිදුරටත් පැවසුවාය.

2015.05.16 හා 2015.09.23 අතර කාලයේ පෙරකී වරද සිදුකිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 60ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුව ලබන ජූලි (29දා) දක්වා කල්තැබීමට මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (18දා) නියෝග කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment