ක්‍රි.පූ.307 දී අනුබුදු මිහිඳු මා හිමිගෙන් ආරම්භ වූ ලක් බුදු සසුන ගුණ නුවණින් පිරිපුන් ත්‍රිපිටකධර බහුශ්‍රැත ශික්ෂාකාමී මහා ස්ථවිරයන් හා ගුණ නුවණ ඇති ගිහි පැවිදි දෙපක්ෂය විසින් මේ දක්වා පවත්වාගෙන ආවේ විවිධ අභියෝග මැදය.
දෙවන පියතිස් රජු මිහින්තලා කණ්ඨක චේති අංගනයේ ලෙන් හැට අටක් පිළියෙල කර මිහිඳු හිමි සමග වැඩි දූත පිරිසට හා ලක්දිව පැවිදි වූ අරිට්ඨ හිමි ඇතුළු පිරිසට වස් විසීමට සැලසූහ. එදා සිට දඹදිව භික්ෂූන් අතර තිබූ ආගමික සිරිත් මෙරට ව්‍යාප්ත විය.
බෞද්ධ ජනයා ගිහි සාමීචිපටිපදා ආදී ප්‍රතිපත්ති පූර්ණය කරමින් දෙලොව වැඩ සිදුකරගත්හ.
මෙසේ මිහිඳු හිමිගේ ධර්මානුශාසකත්වයෙන් ජාතික වූත් ආගමික වූත් සිරිත් අනුගමනය කරමින් ගිහි පැවිදි දෙපක්ෂය ගසත් පොත්තත් මෙන් එක්ව සම්බුදු සසුන රැක ගත්හ. මාඝ රාජසිංහ ආදී ශාසන විනාශකාරී දුෂ්ට රජවරුන්ගේ සමයන්හි අභාවයට යමින් සම්බුදු සසුන අඳුරෙන් අඳුරටම ගමන් කරන්නට විය. සැදැහැති රජවරුන් විසින් කීපවිටක්ම උපසම්පදාව නැවත ප්‍රතිෂ්ඨාපනය කළ ද වැඩිකල් නොගොස් සසුන අතුරුදන් වූ බව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන්ය. එසේ වරින් වර පුනරුදයක් ඇති කිරීමට හැකි වූයේ වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පයෙන් ගොඩනැගුණු පරිසරයක් තුළ ඓතිහාසික ස්ථාන නටඹුන්ව හෝ තිබූ බැවිනි.
නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ වැලිවිට සරණංකර මාහිමි සියම් දේශයෙන් දූත පිරිසක් වැඩමවා නැවත උපසම්පදාව පිහිටුවීමත් සමඟ නිවී යන ප්‍රදීපයකට තෙල් වත් කළාක් මෙන් සඟ සසුන ආලෝකමත් විය. එම සඟ සසුන විවිධ අභියෝග මැද මේ දක්වාම පවත්වාගෙන එනු ලබයි.
බෞද්ධ භික්ෂුවකගේ පරම නිෂ්ඨාව නිර්වාණ අවබෝධයයි. පැවදි වීමේදී
“සබ්බ දුක්ඛ නිස්සරණ – නිබ්බාන සච්ඡිකරණත්ථාය
ඉමං කාසාවං ගහෙත්වා – පබ්බාජේථ මං භන්තේ”
( ස්වාමීනි, සියලු දුක් කෙළවර කර ගැනීමට මේ සිවුරු ගෙන මා පැවිදි කරන සේක්වා) යනුවෙන් ඉල්ලා සිටි.
බුද්ධ කාලයේ පැවිදි වූ බොහෝ අය වැඩිහිටියෝය. ඔවුන් යුග දිවිය ගත කර දරුවන් තැනූ ජීවිතාවබෝධයෙන් යුතු සැබෑවටම සසර බිය දුටු පිරිසකි.
රාහුල සංකිච්ච ආදී කුඩා දරුවන් කිහිප දෙනෙකු සසුන් ගත වූයේ බුදු කෙනෙකුගේ අභියසදී නිර්වාණ අවබෝධය සඳහා තිබූ කුසලතා සංවර්ධනය හා පුණ්‍යකෘත මහිමය නිසාය.
එදා මෙන් නොව වත්මන දියුණුවේ හිණිපෙත්තට නැගි යුගයකි. නවීන තාක්ෂණික දියුණුව හා භාණ්ඩ බහුල වූ ලෝකයක සුඛෝපභෝගී ජීවිත වලට ඇලුම්කරන වත්මන් සමාජය ඉඳුරන් පිනවමින් කම්සුව විඳීමට තරඟයක යෙදී සිටී. ඔවුන්ට දුක පිළිබඳ වැටහීමක් නැති තරම්ය. අවබෝධයෙන් යුතුව සසුනට පිවිසෙන වැඩිහිටි පිරිස ද අල්පය.
ජනතා අවශ්‍යතා ඉටුකරදීමට අන්‍ය ආගම් වල පූජකවරු සිටිති. ඔවුන් කෙස් රැව්ල් වවාගත් ගිහි ඇඳුම් අඳින යාන වාහන පදවන විවිධ වරප්‍රසාද භුක්ති විඳින පිරිසකි.
ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ තම ආගමික කටයුතු ඉටු කර ගැනීම පමණි. සීලාදී ගුණ ධර්ම පිරීමක් බලාපොරොත්තු නොවේ. ඔවුන් අනුගමනය කරන ප්‍රතිපදා පූර්ණයක්ද නැත. එනිසාම ඔවුන්ගේ අමුතු අඩුපාඩුවක් දැකීමත් සමාජයේ විවේචනයට හසු වීමත් සිදු වන්නේ කලාතුරකිනි.
බෞද්ධ භික්ෂුව පූජකයෙකු නොවේ. තම විමුක්තිය උදෙසා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් ඇත. ඔවුන් සීල සමාධි ප්‍රඥා වඩමින් එම ප්‍රතිපදාවේ ගමන් කළ යුතුය. සසර කලකිරී පැවිදි වන ඇතැම් භික්ෂූන් ආරණ්‍යගතව තම විමුක්තිය වෙනුවෙන් එම මග අනුගමනය කරති. සමීපයට පැමිණෙන අයට දහම් මඟ කියා දෙති. එවැනි සිල්වතුන්ට දන්දීමට වන්දනා කිරීමට ගිහියෝ වැඩි කැමැත්තක් දක්වති. අලුතින් ගම්වල ඉදිවන අසපු වැනි ස්ථානවලටද ජනතාව ඇදී යන ස්වභාවයක් පවතී.
ප්‍රාග් මහින්ද යුගයේ සිට විවිධ ඇදහිලි විශ්වාස වලින් ග්‍රහනව තිබූ රටක ජනතාවට නිර්මල දහම එකවර අවබෝධ කළ නොහැක. වර්තමානයේ ද ලංකාවේ විවිධ ආගම් පවති. එම ආගමික කටයුතු ඉටු කර දීමට පූජකවරු ද සිටිති. බෞද්ධයාගේ ආගමික අවශ්‍යතා ඉටුකරදීමට බොදු පූජකවරු නැත. පූජ්‍ය පක්ෂය විසින් ම එම අවශ්‍යතාද ඉටු කළ යුතුව ඇත. මහින්දාගමනයෙන් ඇරඹි ශ්‍රී ලාංකීය භික්ෂුවගේ කාර්ය එයයි. ධර්මාශෝක යුගයේ ධර්ම ප්‍රචාරය කල ආසියාතික රටවල බුදු දහම අතුරුදන්ව ඇත. වෙනත් රටවලට වැඩි ධර්ම දූත කණ්ඩායම්වලට වඩා මිහිඳු මා හිමිපාණන් වහන්සේගේ සැලසුම්ගත වැඩපිලිවෙල ලංකාවේ සසුන මුල් බැස ගැනීමට හේතු විය.
දෙවන පෑතිස් රජු විසින් මහා විහාරයේ සියලු විහාරාංග ඉදි කළද මෙරට දරුවකු පැවිදි බවට පත්වන තුරු ලක් සසුන මුල් බැස නොගන්නා බව මිහිඳු හිමියන් පැවසූබව ඉතිහාස ගතව ඇත.
ශ්‍රී ලාංකීය භික්ෂුව තම විමුක්තිය උදෙසා පැවිදි වුවද පොදු ජනයාගේ පාංශුකූලය, බණ, පිරිත,බෝධි පූජාව, දානය ආදී ආගමික කටයුතුද දහම් පාසල, ජාතික, ආගමික, සංස්කෘතික ආදී සියලු පොදු කටයුතු වෙනුවෙන් කාලය කැප කරමින් ජනතා අවශ්‍යතා ඉටුකළ යුතුව ඇත.
ජනතාවගේ පහසුකම් සපුරනුවස් විහාරස්ථානයේ අඩුපාඩු සංවර්ධනය කිරීමටද උන්වහන්සේලාට සිදුවිය. කාර්යබහුල ග්‍රාමවාසී භික්ෂුවට ධර්ම ඥානය දියුණු කර ගැනීමට පොත පත පරිශීලනයට පවා වෙලාවක් නැති තරම්ය. ආරණ්‍යවල හා අසපු වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට එවැනි කටයුතු සඳහා අවශ්‍ය තරම් විවේකය ඇත.
අන්‍ය ආගම්වල පූජකයන්ට මෙන් නොව ජනතාව බෞද්ධ භික්ෂුව පූජ්‍යත්වයෙන් සලකති. දන්දීමට වන්දනාමාන කිරීමට උන්වහන්සේලා සුදුස්සෝ වෙති.
මෙසේ පූජ්‍යත්වයද රැකගෙන තම අභිමතාර්ථයන් ද සාධනය කරමින් ජනතාවගේ ආගමික අවශ්‍යතාද ඉටු කර දෙමින් කටයුතු කරන ග්‍රාමවාසී භික්ෂුවට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇත.
අනාගතයේදී විහාරස්ථානය රැකගෙන ජනතාවගේ ආගමික අවශ්‍යතාද ඉටු කර දෙන සිසු පිරිසක් තැනිය යුතුය. ආරණ්‍ය වල මෙන් වැඩිහිටියන් පැවිදි කර ඒ සඳහා නිසි පුහුණුවක් ලබා දිය නොහැක. ඒ සඳහා දරුවන් පැවිදි කර මනා අධ්‍යාපනයක් ශික්ෂණයක් ලබාදිය යුතු වුවද වත්මන වන විට බොදු නිවෙස් වල දරුවන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකුට සීමාව ඇත. ඔවුන්ද කාමභෝගී ගිහි ජීවිත වලටම ඇලුම් කරන අයවෙති.
ශාසනික හැඟීමකින් ඇතැම් මව්පියවරු තම දරුවන් සසුන් ගත කළ ද පවතින දූෂිත සමාජ ආර්ථික දේශපාලනික තත්වයන් තුළ ඒවායේ ගොදුරක් බවට පත් වී ශාසනික කටයුතු වලින් ඈත්වන ප්‍රවණතාවක් දැකිය හැකිය.
බටහිර රටවල පවා බුදු දහම පිළිබඳ පිබිදීමක් දැකිය හැකි මෙවන් යුගයක බොහෝ රටවල ශ්‍රී ලාංකික විහාර ආරම්භ කර ඇත. ලංකාවේ කුඩා සාමණේර හිමිවරුන්ගේ ධර්ම ඥානය, විවිධ භාෂා කුසලතා නූතන ලෝකයට ගැලපෙන පරිදි සකස් කල යුතුය. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තවම ආරම්භ කර නැත.
පවතින සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් තුළ ගිහි ජනතාවද තරගයක යෙදී සිටි. භික්ෂුව පිළිබඳ සොයා බැලීමට ගිහියාට ද වෙලාවක් නැති තරම්ය. එයද සඟ සසුනේ ඉදිරි පැවැත්මට අභියෝගයක් වනු ඇත. නමුත් ලක් බුදු සසුන රැක ගැනීම ගිහි පැවිදි දෙපක්ෂයේම වගකීම විය යුතුය.
බෙලිඅත්ත පුවක්දණ්ඩාව පන්ථාරාමය
පිළියන්දල බෝකුන්දර පරම ධම්ම නිකේතනාරාමය, උභය විහාරාධිපති
බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක
පූජ්‍ය දෙහිගහහේනේ ඤාණවිමල හිමි
සංස්කරණය – නිශාන්ත අමරසිංහ