මුතුරාජා රටට බර වැඩි වුණාදෝ

589

තායිලන්තයෙන් ලැබුණ ‘ත්‍යාගය’ නැවත එරටට රැගෙන යයි.

ගුවන් ගමනට වියදම මෙරට මුදලින් කෝටි 25යි.

ඇත්ගොව්වාගේ කෲර වධ බන්ධන හේතුවෙන් මුතුරාජා රෝගී වෙයි.

වනජීවී, සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තු වගකීම් පැහැර හරියි.

වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් තවමත් නිහඬයි.

මුතුරාජා හස්තියා පිළිබඳ වත්මන් කතාව කටුකය, අහිමිරිය. රට සතුව පවතින ජාතික සම්පතක් සේ රැකගත යුතු වුවද විවිධ හිරිහැර වධහිංසනවලට ලක්වන මුතුරාජා පිළිබඳ රටක් ලෙස අදාළ ආයතන හා බලධාරීන් ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළ මුතුරාජා මෙරටට තිලිණ කළ තායිලන්තය ඒ පිළිබඳ සංවේදී වන අතර මේ වනවිට ද මුතුරාජා වෙනුවෙන්ම මෙරට පැමිණි තායිලන්ත ජාතික පශු වෛද්‍යවරයෙක් සහ ඇත්ගොව්වෙක් එම සද්ධන්ත කුලයේ හස්තියා හොඳින් රැකබලා ගැනීම පිණිස යොදවා ඇත. එතෙකින් නතර නොවන තායිලන්ත රජය එම හස්තියා නැවත තායිලන්තය වෙත රැගෙන යෑම පිණිස අවශ්‍ය කටයුතු බොහෝමයක් සම්පාදනය කර අවසන්ය. ඒ අනුව මෙරට ජීවත් වූ දිගම දළ සහිත ඇතා වන මුතුරාජා තව නොබෝ දිනකින් තමන් උපන් භූමිය වෙත පය තැබීමට නියමිතය. තායිලන්තයෙන් ලැබුණ අගනා ත්‍යාගයක් හොඳින් රැකබලා ගැනීමට අසමත් රටක් ලෙස මෙරටට ජාත්‍යන්තර අපකීර්තියක් අත්කර දෙමින් නිමාවට පත්වන මුතුරාජා කතාවස්තුව ආරම්භ වන්නේ අදින් වසර 22කට එපිට 2001 වසරේ දී ය.

එවකට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත තායිලන්තය විසින් රාජ්‍යතාන්ත්‍රික ත්‍යාගයක් ප්‍රදානය කරනු ලබන්නේය. තායිලන්තයේ උපත ලබන ඇත් පැටවකු මෙරට ජනාධිපතිනියට එලෙස ප්‍රධානය කරන අතර ඒ වනවිට එම ඇත් පැටවා හැඳින්වූවේ ‘සක්සූරීන්’ ලෙසය. උපන් දේශයට හුරු පුරුදු පරිසරයට සමුදෙන කුඩා ‘සක්සූරීන්’ ගේ මෙරට ආගමනය සිදුවන්නේ ඒ අයුරින්ය. ශ්‍රී ලංකාව යනු හීලෑ අලි ඇතුන් පිළිබඳ අනාධිමත් ඉතිහාසයක් සහිත රටක් වීමත් එරට බහුතරයක් ජනතාව නිර්මල බුදු දහම අදහන පිරිසක් වීමත් හේතුවෙන් තායිලන්තය විසින් සක්සූරීන් මෙරට ප්‍රධානය කරනු ලබන්නේ සක්සූරීන්හට වඩාත් හොඳ ජීවන වටපිටාවක් මෙරට තුළ නිර්මාණය වනු ඇතැයි යන නිගමනයේ පිහිටමින්ය.

වයස අවුරුදු හය හතක කුඩා ඇත් පැටවකු ලෙස මෙරට රැගෙන එන සක්සූරීන් මෙරට දී දේශීය ඌරුවකින් යුත් ‘මුතුරාජා’ නමින් හඳුන්වන්නට ගත් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදෙස් අනුව මුතුරාජාගේ භාරකාරත්වය හිමිවන්නේ මෙරට ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයක් වන ඔබ අප හොඳින් දන්නා අලුත්ගම කන්දෙවිහාරය විහාරස්ථානයට ය. එතැන් සිට එම විහාරස්ථානයට දිනපතා පැමිණෙන දස දහස් ගණනක් වූ බැතිමතුන්ගේ නෙත් සනහන දසුනක් බවට පත්වන මුතුරාජා සද්ධන්ත කුලයේ ඇතකුගේ මනස්කාන්ත බවින් යුතුව උස් මහත් වන අතර එකල මුතුරාජා රැකබලා ගනු ලබන්නේ විපුල නම් පළපුරුදු ඇත්ගොව්වකු විසින්ය. විපුලගේ ආදරය රැකවරණය මැද කන්දෙ විහාරයේ භාරකාරත්වය යටතේ පසුවන මුතුරාජා කල්යත්ම මෙරට දිගම දළ සහිත ඇතා බවට පත්වීමේ දුර්ලභ වරම හිමිකර ගන්නා අතර පසු කලෙක මෙරට පෙරහැර සංස්කෘතිය අලංකාරවත් කරනු ලබන අලි ඇතුන් අතරට එක්වන මුතුරාජා වසර ගණනාවක් පුරා මෙරට පෙරහැර සංස්කෘතියට තම තේජස් ගමන් විලාසය එක්කරමින් කරන ලද මෙහෙවර ඉමහත්ය.

පාවාඩ මත තේජස් විලාසයෙන් ගමන් කරන අලි ඇතුන් මෙරට පෙරහැර සංස්කෘතියේ මනරම් අංගයක්ය. ඒ සඳහා ම පුරුදු පුහුණු කරන ලද හීලෑ අලි ඇතුන් සැලකියයුතු ප්‍රමාණයක් මෙරට ජීවත් වන අතර ජීවත්ව සිට මියගිය අලි ඇතුන් පිරිසක් ද ඊට ඇතුළත්ය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රාජා, නැදුන්ගමුවේ රාජා ඇතුළු තවත් තේජමාන අලි ඇතුන් පිරිසක් දෙස්, විදෙස්, වන්දනාවට ලක්ව එලෙස මිය පරලොව ගිය අලි ඇතුන්ගේ නාමාවලිය නියෝජනය කරන අතර දැනට ද පෙරහැර සංස්කෘතිය පිණිස සහභාගි කරවන නම් දැරූ අතළොස්සක් වූ ඇතුන් පිරිසක් රට සතුව ඇත. මේ දිනවල දෙස් විදෙස් මාධ්‍යයන් තුළ බහුලව කතාබහට ලක්වන ‘මුතුරාජා’ යනු එවැනි ඇතෙක්ය. තේජවන්ත බවින් අන් ඇතුන් පරදා යන පෙනුමකින් යුත් මුතුරාජා මෙරට ජීවත් වන දිගම දළ යුගළය සහිත ඇතා බවට පත්වීමත් තවමත් අවුරුදු 30ක පමණ වයසකින් යුක්ත වීමත් හේතුවෙන් දිනක ආසියාවේ දිගම දළ සහිත ඇතා බවට පත්වීමේ දුර්ලභ වාසනා ගුණය ද සහිත ඇතෙක්ය.

එවන් අසිරිමත් සතෙකුගේ අද දවස පිළිබඳ කතාව හද පාරවන සුලුය. අනන්ත වධ වේදනාවන්ට පත්වන මුතුරාජාට එම ඉරණමට මුහුණ දීමට සිදුවන්නේ මෙරට ප්‍රධාන විහාරස්ථානයක භාරකාරත්වයේ පසුවෙමින් සිටිය දී ය. ශිෂ්ට සමාජය කිසිසේත් අනුමත නොකරන මුතුරාජා පිළිබඳ අනුවේදනීය කතාව කරළියට පැමිණෙන්නේ එතැන් සිට ය.

මීට වසර දෙකකට පමණ පෙර එක්තරා පෙරහැර මංගල්‍යයක් පිණිස ඇත් ගමනින් සහභාගි වන මුතුරාජාගේ ගමන් විලාසය නිරීක්‍ෂණය කරන සත්ත්වවේදීන් පිරිසක් මුතුරාජාගේ ‘ඇත් ගමන’ තුළ යම් කිසි වෙනසක් නිරීක්‍ෂණයට ලක් කරන අතර එහි දී ඔවුන් නිගමනය කරනු ලබන්නේ මුතුරාජාගේ පාදවල යම් වෙනසක් සිදුවී ඇති ආකාරයක්ය. තවත් වරෙක මුතුරාජාගේ පාදවලට කටු මාංචු දමා ඇති ආකාරයක් නිරීක්‍ෂණය කරන එම සත්ත්වවේදීන් පිරිස ඉන් අනතුරුව මුතුරාජා පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන පිරිසක් බවට පත්වූහ. එහිදී ඔවුන් මෙම සුවිශේෂී දළ යුගලක් සහිත ඇතා පිළිබඳ කරනු ලබන සියුම් නිරීක්‍ෂණවලට අමතරව මුතුරාජා පිළිබඳ එතෙක් හෙළිදරව් නොවූ තවත් වැදගත් තොරතුරු රැසක් ද අනාවරණය කර ගැනීමට සමත් වී ඇත. එම තොරතුරුවලට අනුව එතෙක් කලක් මුතුරාජා රැකබලා ගත් ඇත්ගොව්වා වන විපුල වෙනුවට ඒ වනවිට වෙනත් ඇත්ගොව්වකුගේ සේවය යොදාගෙන තිබී ඇති අතර ඔහුගේ වෘත්තීය පළපුරුද්ද පිළිබඳ සොයා බැලීමේදී හෙළිදරව් වී ඇත්තේ එම පුද්ගලයා පළපුරුදු ඇත්ගොව්වකු නොවන බවත් කලක් අලි ඇතුන් ප්‍රවාහනය කරන ලද ලොරි රථ රියැදුරකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව මුතුරාජාගේ ඇත්ගොව්වා බවට පත්වී ඇති පුද්ගලයෙක් බවත්ය. ඒ ඔස්සේ යමින් ඉහත සඳහන් සත්ත්වවේදීන් පිරිස මුතුරාජා පිළිබඳ තව තවත් ‘රහස්’ හෙළිදරව් කරගැනීමේ දී ඔවුන්ට දැන ගැනීමට ලැබී ඇත්තේ අලුත පත්වීම ලද නොපුහුණු ඇත්ගොව්වා විසින් මුතුරාජා හීලෑකර ගැනීම පිණිස මුතුරාජාහට කුළුගෙඩි පහර එල්ල කර ඇති බවත් ඒ හේතුවෙන් මුතුරාජාගේ පාදවල යම් ආබාධයක් හටගෙන ඇති බවත්ය.

තවමත් වයස අවුරුදු 30 නො ඉක්මවූ ඇතකු වීමත් මේ වනවිට මෙරට ජීවත් වන ඇතුන් අතරින් දිගම දළ යුවළ හිමි ඇතා බවට පත්වීමත් හේතුවෙන් මුතුරාජා පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන වනජීවින් පිළිබඳ නිතර විමසිලිමත් වන පරිසරවේදීන් පිරිසක්හට නැවත වරක් නිරීක්‍ෂණය වී ඇත්තේ පාදවල ආබාධවලට අමතරව ශරීරයේ හටගත් තුවාල කීපයක් සහිත මුතුරාජා මනහර ඇඳුමින් සරසා එක්තරා පෙරහැර මංගල්‍යයක් පිණිස සහභාගි කරවා ඇති ආකාරයක්ය. එහිදී තව දුරටත් නිහඬව සිටීම මුතුරාජාගේ ජීවිතයට හානියක් සිදුවීම බව වටහා ගන්නා එම පරිසරවේදී සංවිධානය මුතුරාජාට අත්ව ඇති ඉරණම පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව, සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරනු ලබන්නේ මුතුරාජා සුවපත් කරවීම පිණිස එම ආයතනවල සහ බලධාරීන්ගේ ඉක්මන් මැදිහත්වීමක් අපේක්‍ෂාවෙන්ය. එහිදී වනජීවී දෙපාර්තමේන්තුව කරුණු පෙන්වා දෙමින් සඳහන් කර සිටින්නේ මුතුරාජා යනු වෙනත් රටකින් මෙරටට ගෙන්වනු ලැබූ සතකු වීම හේතුවෙන් ඒ පිළිබඳ වගකීම වනජීවී දෙපාර්තමේන්තුවට භාරගත නොහැකි බවය. ඊට බෙහෙවින් සමාන පිළිතුරක් සපයන සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව ද සඳහන් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව නාමාවලියට මුතුරාජා අයත් නොවන බැවින් මුතුරාජාට ප්‍රතිකාර කිරීමේ නීතිමය බලතල එම දෙපාර්තමේන්තුව සතුව නොපවතින බවක්ය.

මුතුරාජා රටට බර වැඩි වුණාදෝ

රෝගී මුතුරාජා ඇතා පමණක් නොව, එතෙක් දිනක් මුතුරාජා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවූ පරිසර සංවිධාන පවා තව තවත් අසරණ බවට පත්කරමින් ලැබෙන එම පිළිතුරින් සෑහීමකට පත් නොවන මෙරට එක්තරා පරිසර සංවිධානයක් ඉන් අනතුරුව මෙම අවනඩුව තායිලන්ත රජය වෙත යොමු කරන්නට තීරණය කරන අතර මුතුරාජා පිළිබඳ තායිලන්ත බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

ඒ අනුව පසුගිය වසරේ දී මෙරට සංචාරයක යෙදෙන තායිලන්ත පශුවෛද්‍යවරුන් පිරිසක් මුතුරාජා පරීක්‍ෂා කර බලන අතර එහි දී ඔවුන්ගේ නිගමනය බවට පත්වන්නේ ඇතා පිළිබඳ මෙරට භාරකාරත්වය හෝ අදාළ බලධාරීන් නිසි සොයා බැලීමක් නොකිරීම හේතුවෙන් මුතුරාජාගේ ශරීර සෞඛ්‍යය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් ඇති බවත් එම තත්ත්වය දිගින් දිගට ම පැවතිය හොත් මුතුරාජාගේ ජීවිතයට යම් අනතුරක් සිදුවීමේ අවදානමක් ද පවතින බවත්ය. එවැනි නිගමනයක් සහිතව මෙරටින් පිටව යන විශේෂඥ පශුවෛද්‍ය කණ්ඩායම ඔවුන්ගේ වෛද්‍ය නිගමනය තායිලන්ත රජය වෙත යොමු කරමින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ මුතුරාජා සුවපත් කිරීම පිණිස නම් කඩිනමින් නැවත තායිලන්තය වෙත රැගෙන ආයුතු බවය.

අපට නොවටින මුතුරාජා නැවත තායිලන්තය බලා රැගෙන යෑමේ දැවැන්ත ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වභාවික සම්පත් හා පරිසර කටයුතු අමාත්‍යාංශය එක්ව ඒ පිළිබඳ සැලසුම් සකස් කරන අතර ඒ බව මෙරට රජය වෙත ඉකුත් ජුනි මස දැනුම් දී ඇත. තත්ත්වය එසේ වුවද ලැබෙමින් පවතින ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ තත්ත්වය එසේ වුවද තවමත් මෙරටින් මුතුරාජා පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික කතා බහක් සිදුවී නැති බවක්ය. එපමණක් නොව, මුතුරාජාගේ භාරකාරත්වය දරන අලුත්ගම කන්දෙ විහාරය ද මෙහි දී නිහඬ පිළිවෙතක් දැරීම බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදයට ලක්වන කරුණක්ය.

රටට ආඩම්බරයක් ගෙන දුන් මුතුරාජා මේ වනවිට සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර මුතුරාජාගේ ආරක්‍ෂාව පිණිස තායිලන්තයෙන් මෙරට පැමිණි පශුවෛද්‍යවරයෙක් සහ ඇත්ගොව්වකු යොදවා තිබෙන අතර මුතුරාජා දැනට මාස කීපයක සිට කල්හරිනු ලබන්නේ ඔවුන්ගේ ඇසුර ලබමින්ය. දැනට මාස කීපයකට එපිට වලිගය කැඩී යෑම හේතුවෙන් ඇතිවූ තුවාල සහ ශරීරයේ පසුපස පෙදෙසෙහි හටගත් සැරව ගෙඩි හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටි මුතුරාජා දැනට තරමක් සුවය ලබමින් පසුවන අතර මුතුරාජා තව දුරටත් දෙහිවල සත්ත්වොද්‍යාන භූමියේ රඳවා ගනිමින් ප්‍රතිකාර සිදුකරමින් ඇත. මුතුරාජා සම්බන්ධයෙන් තායිලන්තය ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ඉකුත් දිනවල දැඩි ප්‍රචාරයක් ලබාදුන් ආකාරයක් දැක ගත හැකි වුවද බොහෝ දෙනකු මවිතය පළකර සිටින්නේ ඒ සම්බන්ධව මෙරට රාජ්‍ය නිලධාරීන් දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධවය.

වසර 22ක කාලයක් මෙරට නිවහන කරගනිමින් ජීවිතය ගත කළ මුතුරාජා තව නොබෝ දිනකින් තම උපන් බිම වන තායිලන්තය බලා පිටත්ව යනු ඇත. ඉන් පසුව මහනුවර ඇසළ මහා පෙරහැර මෙන්ම මහනුවර නාථ දේවාලයේ දේවාභරණ රැගෙන තේජස් ගමනින් ගමන් කරන මුතුරාජා කෙනකු තව දුරටත් දැකබලා ගැනීමට මෙරට ජනතාවට වරම් නොලැබෙනු ඇත. අපට නොවටින මුතුරාජා නැවත තායිලන්තය බලා රැගෙන යෑම පිණිස එරට රජය විසින් මේ වනවිට විශේෂ ගුවන් යානයක් පවා වෙන්කර අවසන්ය. රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට තායිලන්තය විසින් දැනටමත් තීරණය කර ඇති අතර ඒ සඳහා තායිලන්ත රජය විසින් වැය කරන මුදල මෙරට රුපියල්වලින් ගත් කල රුපියල් කෝටි 25ක් ය.

මුතුරාජාගේ ආරක්‍ෂාව පිණිස විශේෂයෙන් සකස් කරන ලද ආරක්‍ෂිත කූඩුවක් සහිතව සිදු කරන මෙම ගුවන් ගමනට පැය 3 1/2ක කාලයක් ගතවනු ඇත. මේ සා විසල් මුදලක් වැය කරමින් සහ එරට වගකීමක් සේ සලකමින් රෝගී මුතුරාජාගේ නීරෝගි පැවැත්ම පිණිස නුදුරේ දිනක නැවතත් තායිලන්තය වෙත රැගෙන යනු ඇත. මුතුරාජාගේ ජීවිතය එතැන් සිට සුරක්‍ෂිත වන බව නො අනුමානය.

කනගාටුවට කරුණ වන්නේ ඒසා විසල් සාඩම්බරයක් රැකබලා ගැනීමට අපොහොසත් රටක් ලෙස නැවත වරක් ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට පත්වීමය. එපමණක් නොව, මුතුරාජාගේ පැවැත්ම පිණිස තායිලන්තය මැදිහත් වුවද මෙරට හීලෑ අලි ඇතුන්ගේ කතන්දරය මෙන්ම එම සතුන්ගේ අනාගත පැවැත්ම ද දැනටමත් යම් අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් ඇත. ඊට ප්‍රධානතම හේතුව නම් විධිමත් පුහුණුවක්, පළපුරුද්දක් නොමැති ඇතැම් ඇත් ගොව්වන්ගේ සේවය යහපත් නොවීමය. ඒ පිළිබඳව හොඳම උදාහරණය ලෙස මුතුරාජා පෙන්වාදිය හැක. තවත් බොහෝ කාලයක් මෙරට වාසස්ථානය කර ගනිමින් ජීවත් වීමට ද දිනක ආසියාවේ දිගම දළ යුගළ සහිත ඇතා බවට පත්වීමේ වාසනා ගුණය ද උපතින්ම රැගෙන ආ මුතුරාජා නුදුරේ එළැඹෙන දිනක මෙරටට ‘ආයුබෝවන්’ කියනු ලබන්නේ ඇතෙක් පවා මෙරටට බර වැඩිබව ලෝකය හමුවේ සැබෑවක් බවට පත් කරමින්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment