ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහාත්, අධ්‍යාපනය සඳහා අනාගතවාදී දැක්මකින් යුතුව කටයුතු කිරීම අරමුණු කරගත් සංවිධානයක් වන “ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා වන පුරවැසි එකමුතුව” සංවිධානයේ ප්‍රධාන කමිටු සමාජිකයෙක් වන කොළඹ විශ්වවිද්‍යාලයෙහි ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි.
අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ පුරවැසි මුලපිරුම කියන්නේ මොකක්ද?
වසර දෙක තුනකට පෙර, අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව වෘත්තිකයන් කණ්ඩායමකගේ සාකච්ඡා ගණනාවකින් පස්සේ තමයි මේ ක්‍රියාදාමය ආරම්භ වෙන්නේ. ඒ වගේම, මේ ක්‍රියාදාමය මුලින්ම ආරම්භ වෙන්නේ අවිධිමත් ස්වභාවයකින්. මුල් කාලීනව අපි සාකච්ඡා කළේ අධ්‍යාපනය යන මාතෘකාවට වඩා ටිකක් වෙනස් මාතෘකා. ඉන්පසු කොරෝනා වසංගත කාල සීමාව තුළ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවලට වැඩි අවධානයක් අපි යොමු කළා. අධ්‍යාපනය කියන්නේ පුළුල් සමාජීය අදාළත්වයක් සහිත මාතෘකාවක්. ඒ අනුව, අපි ක්‍රමානුකූලව අද වනවිට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට අදාළව පුළුල් කතිකාවක් සමාජය තුළ ගොඩනගන්නට මේ සංවිධානය තුළින් උත්සාහ කරනවා.
මේ සංවිධානය ආරම්භ කිරීමේ අරමුණු මොනවද?
මෙහි සාමාජිකයන් මීට පෙර තනි තනියෙන් පුද්ගලයන් ලෙස මේ පිළිබඳ උනන්දුවක් දක්වපු පිරිස්. මෙහි වැඩි වශයෙන් සිටින්නේ අධ්‍යාපනයට විවිධ ආකාරයෙන් සම්බන්ධ වුණු අය. උදාහරණ ලෙස, වෛද්‍ය වෘත්තිකයන්, ගුරු වෘත්තිකයකන් යනාදීන්. මේ හැම කෙනෙක්ටම තිබුණු පොදු අදහස වන්නේ, අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය රටේ තිබෙන බොහෝ ප්‍රශ්නවලට සම්බන්ධ බව. ඒ වගේම, සමාජයක් ලෙස අධ්‍යාපනය පිළිබඳ පවතින සමාජ ආකල්පය සම්බන්ධව බරපතළ අඩුවක් තියෙනවා. එතුළ පවතින අසමතුලිතතාවය නිසා අධ්‍යාපනයට අදාළව ගැටලු ගණනාවක් ඉස්මතු වෙලා තියෙනවා. අධ්‍යාපනයේ අරමුණු එනිසා වෙනස් වෙලා තියෙනවා. මෙයට අදාළව සංවාදයක් ගොඩනැගීම සහ ඊට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කිරීම තමයි අපේ මූලික අරමුණ.
එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන්නේ කොහොමද?
අපි අතරෙම අපි උත්සහ කරනවා මෙහි පවතින විවිධ පැති පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කරන්න. අපේ ‘පුරවැසි සරසවිය’ යූටියුබ් චැනල් එක හරහාත් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා ගණනාවක් සිදු කළා. එහිදී අපි ඉතා දාර්ශනික මට්ටමෙන් මෙම ගැටලු පිළිබඳ සාකච්ඡා කළා. ඒ හරහා අපි මේ උත්සාහ ගන්නේ මේ පිළිබඳව සමාජයේ අවධානය වැඩි කරගන්න. මාර්තු 9 වැනිදා කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ සමුළුවේදීත් අපි උත්සාහ ගත්තේ, අධ්‍යාපනයට සම්බන්ධ බලධාරීන් සම්බන්ධ කරගෙන අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකරන්න. ජනතාව ආණ්ඩුවකින් විවිධ දේවල් අපේක්ෂා කරනවා. ජනතා අපේක්ෂාවලට අදාළව ආණ්ඩුව ප්‍රමුඛතා ලැයිස්තු හදාගන්නවා. නමුත් එහිදී අධ්‍යාපනයට යොමු කරන අවධානය අඩුයි. එනිසා අපි උත්සහ කරන්නේ, මේ සඳහා ඉහළ ප්‍රමුඛත්වයක් ලබා ගැනීමට සෑම පාර්ශ්වයක් තුළම උනන්දුවක් ඇති කරවන්න.
මාර්තු 9 වැනිදා කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ වැඩසටහන ගැන කතා කළොත්?
මේ වැඩසටහන මාර්තු 09 වැනි දා උදේ 9 සිට සවස 4 වනතුරු ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තමයි පැවැත්වුණේ. අපේ මේ ක්‍රියාදාමයේ උච්චතම අවස්ථාවක් ලෙස මේක නම් කරන්න පුළුවන්. මෙහිදී ප්‍රධාන අමුත්තන් ලෙස පැමිණියේ අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය හා ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිතුමිය යන අය. ඊට අමතරව, අධ්‍යාපනයට උනන්දුවක් දක්වන සෑම පාර්ශ්වයක්ම මේ සමුළුව උදෙසා සහභාගි වුණා. ප්‍රතිපත්ති සම්පාදකයන් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන් වෙත ඇතිකරන පෙළඹවීමක් මේ සමුළුව හරහා සිදුකෙරුණා.
මේ කඳවුරේ ඔබතුමා නියෝජනය කරන්නේ මොකක්ද?
මම මෙහි මූලික කමිටුවේ සාමාජිකයෙක්. මෙහි කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය හරිස්චන්ද්‍ර ගම්භීර මහත්මයා.
මේ කඳවුරෙන් අපේක්ෂා කරන, සමාජයේ වෙනසකට ලක්විය යුතු දේවල් මොනවාද?
අධ්‍යාපනය පිළිබඳ ගැටලුව බැරෑරුම් ලෙස වටහා ගැනීමට සමාජය පෙළඹවීම තමයි අපේ මූලිකම අපේක්ෂාව. සමාජ විරෝධී කටයුතු ප්‍රචලිතව තිබෙනව නම් එමඟින් අදහස් කරන්නේ අපේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක්. මේ පුරවැසිභාවය යන කාරණාව සෘජුවම සම්බන්ධයි අධ්‍යාපනයට. එම නිසා මෙම ප්‍රශ්නය පසුවට කල්දැමිය නොහැකියි. අධ්‍යාපනයට ආයෝජනයක් අවශ්‍යය යි. එහිදී මුදල් පමණක් නොවේ ප්‍රමුඛතාවය, උනන්දුව සහ ශ්‍රමය ආයෝජනය කිරීම අවශ්‍යය යි. ලංකාවේ අධ්‍යාපනය පදනම් වෙලා තියෙන්නේ විභාග තුනක් කේන්ද්‍ර කරගෙන. නමුත්, මේ විභාග සඳහා පුහුණු වන්නේ ටියුෂන් පන්තිවලින්. එහිදී අද වන විට පාසලට හිමිවී ඇති තත්ත්වය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපි බලාපොරොත්තු වන වෙනස වන්නේ, මේ මාතෘකාව කල්පනා කරන මාතෘකාවක් බවට පත් කිරීම. එහි ආරම්භක නියෝජනයක් ලෙස අපි කටයුතු කරනවා.
රන්දි ලියනගේ
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය