සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින මහමඟදී පුද්ගලයකුට පිරිසක් අතින් පයින් පහරදීමේ වීඩියෝවට අදාළ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (26 දා) අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
දෙනෝදාහක් බලා සිටියදී මහමඟදී පුද්ගලයකුට පිරිසක් විසින් අතින් පයින් හා ආරක්ෂක හිස් වැසුමකින් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. දැනට සිදුවන විමර්ශනය අනුව සිද්ධිය මෙසේය.
පසුගිය 26 වැනිදා කිරිබත්ගොඩ පොලිස් වසමේ නුවර පාරේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී මෙම සිද්ධිය සිදුවී තිබේ. පහරකෑමට ලක්වූ පුද්ගලයා පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකි. එම ආයතනයේ සේවය කරන තරුණියක සමග ආයතනයේ කටයුත්තක් සඳහා හෙතෙම කඩවත ප්‍රදේශයට මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී තරුණියගේ පෙම්වතා බව කියන පුද්ගලයකු ආයතන හිමිකරු සමග බහින්බස්වීමක් ඇතිකරගෙන තිබේ.
එය දුරදිග යෑමෙන් පසු තරුණියගේ පෙම්වතා ඔහුගේ මිතුරකු සමග පැමිණ කිරිබත්ගොඩදී පෞද්ගලික ආයතනයේ හිමිකරුට මෙසේ පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිදුකරන ලද විමර්ශනයෙන් පසුව තරුණියගේ පෙම්වතා බව කියන පහරදීමට සම්බන්ධ සැකකරු හා ඔහුගේ මිතුරා කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවෝ අවුරුදු 22 හා 24 වියේ පසුවන මාකොළ හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, නෝමන් පලිහවඩන සහ ධම්මික සල්වතුර