මෙන්න බෙහෙත්; බීලම බලන්න!

615

උපරිම සිල්ලර මිලක් සඳහන් නොකළ ඖෂධ වර්ග 765 ක් විවෘත වෙළෙඳපොළේ ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවල සඳහන් වේ. මේ ආකාරයෙන් මිල නියම නොකරන ලද කල්හි පැරසිටමෝල් පෙත්තක් රුපියලකට විකිණීමටත් පුළුවන; රුපියල් 1000 ට විකිණීමටත් පුළුවන. කැස්ස සහ සෙම තත්ත්වය සඳහා දෙන එක්ස්පෙක්ට්ටරන්ට් සිරප් එකක් රුපියල් 200 ට විකිණීමටත් පුළුවන. රුපියල් 2000 ට විකිණීමටත් පුළුවන. ඇස්ප්‍රීන් ඛාණ්ඩයේ පෙත්තක් රුපියල් 2 ට විකිණීමටත් පුළුවන. රුපියල් 2000 ට විකිණීමටත් පුළුවන. සාමාන්‍යයෙන් මිල සඳහන් නොකළ ඖෂධ වර්ග වලින් වැඩි ලාභයක් ගන්නේ ෆාමසිකාරයන් නොව ඇතැම් පුද්ගලික රෝහල් ය. ලංකාවේ පුද්ගලික රෝහල් යනු අසීමාන්තික මිලක් අය කරන තැනකි. මේවාට ගොස් බිල දකින රෝගීහු දෙගුණයක් රෝගී වෙති. පුද්ගලික රෝහලකට යන මිනිහා මොන තරම් පීඩනයක ඉන්නවා දැයි ඒවායේ අයිතිකාරයෝ හෝ චැනල් වෛද්‍යවරු නොදනිති. පුද්ගලික රෝහල් කාමරයේ සිටින ලෙඩා දොස්තර එන හැම විටකම ප්‍රාර්ථනා කරන්නේ ඒ මොහොතේම ටිකට් කපන්නේ නම් මැනවැයි යන කාරණය ය. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ පිළිකාව වැනි Terminal Illness තත්ත්වයේ රෝගවලට දෙන බෙහෙත් වර්ගවල මිල සඳහන් නොකළ විටය. අදටත් ඇතැම් පිළිකා එන්නත් එක cycle එකක් හෙවත් පැයකින් පමණ සමන්විත එන්නත් පන්තියක් රුපියල් දෙලක්ෂය ඉක්මවන අවස්ථා තිබේ. මෙවැනි ඖෂධයක උපරිම මිල සඳහන් නොවන කල්හි එවැනි ඖෂධ ඕනෑම මිලකට විකිණිය හැකිය. පිළිකා රෝගියකුගේ භාරකරුවන් ෆාමසියට දුවන්නේ ගෙවල් දොරවල් පමණක් නොව ඇඳිවත ද විකුණා සිය ඥාතියාට ප්‍රතිකාර කිරීමේ අදහසිනි. මේ ආකාරයෙන් ඖෂධවල උපරිම මිල සඳහන් කිරීම මගහැරී ඇත්තේ ඖෂධ අධිකාරියේ වරද නිසා බව දැනගැනීමට තිබේ.

බෙහෙත් බිස්නස් එක යනු ලෝකයේ ලොකුම බිස්නස් දෙකෙන් එකකි. බෙහෙත් බිස්නස් එක හා සමාන ඊළඟ බිස්නස් එක වන්නේ ආයුධ බිස්නස් එකයි. ආයුධවලින් වෙඩි තබන විට බෙහෙත් දැමීමට අවශ්‍ය නිසා මේ බිස්නස් දෙක එකිනෙක බැඳී පවතින බවක් පෙනේ. ඒ බැම්මෙහි කිසිදු චර්යාත්මක බවක් නැත. ලංකවේ බෙහෙත් බිස්නස් එක පසුගිය අවුරුදු 15 ක කාලයක පටන් මහත් සේ දූෂණය විය. කල් ඉකුත් වූ බෙහෙත්වලට අලුත් දින මුද්‍රණය කර වෙළෙඳපොළට දැමීම එන්නත් ඩස්කවලට වතුර පුරවා විකිණීම වැනි කාරණා නිසා මේ රටේ සෞඛ්‍ය අංශය හැසිරවූ ප්‍රමුඛ දේශපාලනඥයෙක් මේ දිනවල වැලිකඩ හිරගෙදර කූරු ගණන් කරමින් සිටී. කල් ඉකුත් වූ බෙහෙත් තොග පිටින් අත්අඩංගුවට ගත් අවස්ථා ඕනෑ තරම් පසුගිය කාලයේ තිබිණ. මේවා කරන්නේ සාමාන්‍ය හම්පඩ වෙළෙඳුන් නොව ඉතා කීර්තිමත් ඖෂධ ව්‍යාපාරිකයෝය. මේ බිස්නස් එකට හම්පඩ වෙළෙඳුන් සහභාග වන අවස්ථා ද තිබේ. එනම් ප්‍රධාන ඖෂධ වෙළෙන්දා තමා සන්තකයෙහි පවතින කල්ඉකුත්වූ ඖෂධ හම්පඩ වෙළෙන්දාට ලාභෙට විකුණයි. හම්පඩ වෙළෙන්දා ඒවාට අලුත් කල් ඉකුත්වීමේ දින යොදා ෆාමසිවලට දමයි.

ඔබ නොදන්නවාට අප බොන ඇතැම් බෙහෙත්වල තත්ත්වය ඉතාම බාලය. Fish oil කැප්සියුල්වලට ඔමේගා 3 ෆිෂ් ඔයිල් වෙනුවට එළවළු තෙල් පුරවන ව්‍යාපාරිකයෝ පිට රට සිටිති. බංගලාදේශය, පකිස්ථානය සහ ඉන්දියාව යන රටවල ගෙවල්වල සාලය මැද ඇන්ටි බයොටික් කැප්සියුල් සාදනු ලැබේ. කැප්සියුල්වලට බෙහෙත් කුඩු පුරවන ස්වයංක්‍රීය යන්ත්‍ර මිලෙන් ඉතා ඉහළය. පෙරකී රටවල ඖෂධ නිෂ්පාදකයෝ එවැනි යන්ත්‍රවලට මුදල් ආයෝජනය කරනු වෙනුවට හිස් කැප්සියුල සහ ඇන්ටිබයෝටික් කුඩු ගෙවල්වලට බෙදා දෙයි. ගෙදර මිනිස්සු කන් හැඳිවලින් කැප්සියුලයට ඇන්ටිබයොටික් කුඩු පුරවයි. මේ අන්දමින් ඩොලර් ලක්ෂ ගණනක් වටිනා බෙහෙත් පුරවන යන්ත්‍රයක වැඩ ඉතා ලාභෙට මිනිසුන්ගෙන් ගැනීමට ඒ රටවල මුදලාලිලාට පුළුවන. මෙසේ බෙහෙත් පිරවීම හඳුන්වනු ලබන්නේ cottage industry යන නාමයෙනි. මෙය පෙරකී රටවල ප්‍රසිද්ධියේම කරන වැඩකි. සමහරවිට ඔබත් මේ බෙහෙත් බීලා ඇති. එයින් ලෙඩේ සුවපත් වුණාද නැද්ද යන්න ඔබට මතක නැත.

advertistmentadvertistment
advertistmentadvertistment