සනත් නිශාන්තගේ කටහඬ රස පරීක්‍ෂකට යවන්න

168
  • නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා එම අපහසාත්මක ප්‍රකාශය කළේ දැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට ඔහුගේ කටහඬ සාම්පල් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ලබාදෙන ලෙසට ඔහුට නියෝගයක් කරන්නැයි නීතිපතිවරයා ඊයේ (23 දා) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ හසිනි ඕපාත මහත්මිය කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆායිස් මුස්තාපා සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරු දැඩි විරුද්ධත්වය දැක්වූහ.

සිය සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇති නඩු තුනෙන් දෙකකටම මේ වනවිටත් චෝදනා පත්‍ර සකස් කොට නීතිපතිවරයා විසින් අධිකරණයට භාරදී ඇති බවත් එසේ තිබියදී එම චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්‍ෂි සිය සේවාදාකයා ලවා තහවුරු කර ගැනීම යුක්ති සහගත නොවන බවත් වගඋත්තරකරුගේ නීතිඥවරු අධිකරණයට පැවසූහ.

නීතිපතිවරයා කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය විසින් කිසිදු නියෝගයක් සිදු නොකළ අතර එම නඩු කටයුතු ලබන මාර්තු 28 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරු නියෝග කළහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment