මේක නීති විරෝධී පත්වීමක් අපි නඩු මඟට යනවා – ශ්‍රීලනිපයෙන් නිවේදනයක්

301

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා ඇති රැස්වීම නීති විරෝධී බවත්, ඒ අනුව ගත් තීරණවලට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දක්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩලය නීති විරෝධී රැස්වීමක් පවත්වා තිබේ. මෙම රැස්වීම කැඳවා ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා විසිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව දේශපාලන මණ්ඩලය කැඳවීමේ පූර්ණ බලය ඇත්තේ පක්ෂයේ සභාපතිවරයාටයි. දිසා අධිකරණයෙන් ලබාදී ඇති වාරණ නියෝගයට අනුව දැනට පක්ෂයේ සභාපතිවරයකු නොමැත. මේ තත්ත්වය යටතේ පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කරන ඕනෑම පත්වීමක් අධිකරණ තීන්දුවකට අනුව සිදුකිරීමට සිදුවේ.

දේශපාලන මණ්ඩලයේ නීත්‍යනුකූලව සහ ව්‍යවස්ථාපිතව පත්කළ සාමාජිකයන් පහත පරිදි වේ.

මෛත්‍රිපාල සිරිසේන, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, නිමල් සිරිපාල ද සිල්වා, නීතිඥ කීර්ති උඩවත්ත, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය චමිල ලියනගේ, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, කේ. පී. ගුණවර්ධන, හෙක්ටර් බෙත්මගේ, වීරකුමාර දිසානායක, සජින් ද වාස් ගුණවර්ධන, සරත් ඒකනායක, මෙත්සිරි ද සිල්වා, ඉන්දික රාජපක්ෂ, නීතිඥ ලක්මාල් වික්‍රමආරච්චි

දේශපාලන මණ්ඩලයේ අවසන් රැස්විම 2024 මාර්තු 31 වැනි දින පවත්වන ලදී. නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම රැස්වීමට සහභාගි විය. නිමල් සිරිපාල ද සිල්වා මහතා 2024 මාර්තු 31 වැනි දින නීත්‍යනුකූලව පිහිටුවන ලද රැස්වීමට සහභාගි වී තිබියදීත් නීති විරෝධී දේශපාලන මණ්ඩල රැස්වීම අද කැඳවා ඇත.

ඊයේ පැවැති නීති විරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු බොහෝ දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නොවේ.

එහිදී සිදුකර ඇති නීති විරෝධී ක්‍රියාවලියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීතිමය රාමුව තුළ ලබාදී ඇති අදාළ අධිකරණ නියෝග අනුව කටයුතු කරනු ඇත.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment