මොනරාගල ශුද්ධවූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ස්වර්ණ ජයන්තිය

16

මොනරාගල ශුද්ධවූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල මෙම මස 22 සහ 23 යන දිනයන්හිදී පැවැත්වේ.

දැනට ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශාන්ත අන්තෝනි ප්‍රථම මීසම් සේවක ලීනස් මෙන්ඩිස් පියතුමන් විසින් ජුනි 22 වෙනිදා සන්ධ්‍යා දේව මෙහෙය පවත්වන අතර ජුනි 23 වෙනි දින ඉරිදා මහා මංගල්‍යය දේව මෙහෙය බදුල්ල පදවියේ රදගුරු ජූඩ් නිශාන්ත සිල්වා හිමිපාණන් විසින් පැවැත්වීමට නියමිතය.

එදින සවස ප්‍රදේශයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික පූජ්‍ය පක්ෂයේ සහභාගීත්වයෙන් දේවස්ථාන මොනර මල් සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සව සභාවක්ද පැවැත්වේ.

මීට වසර පනහකට පමණ ඉහතදී 1974 ජුනි මස 20 වෙනි දින මොනරාගල වැල්ලවාය පාර දුටුගැමුණු පාර හංදිය අසල කුඩා ගොඩනැඟිල්ලක ශුද්ධවූ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආරම්භ කෙරිණි.

එහි ප්‍රථම මීසම් සේවක ලෙස කටයුතු කළේ ලීනස් මෙන්ඩිස් පියනමයි. අතලොස්සක්වූ කිතුණු බැතිමතුන් ජීවත්වෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රථම කතෝලික දෙවස්ථානයද එයයි.

කිතුණුවන්ට පමණක් නොව බෞද්ධ සහ හින්දු බැතිමතුන් වෙනුවෙන් සිය සේවාවන් දියත් කළ ශාන්ත අන්තෝනි දේවස්ථානය මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පූජනීය ස්ථානයක් බවට පත්ව තිබේ.

1977 සහ 1983 වර්ෂවලදී ඇතිවූ ජාතිවාදී කලබලවලදී විපතට පත්වූ පවුල්වලට රැකවරණය දුන් මෙම දේවස්ථානය සෑම ව්‍යසනයකදීම ජනතාවට උදව් උපකාර කළේය.

1977 සිට 1994 දක්වා ගෙවී ගිය කාලය තුළදී පාලකයන්ගෙන් සිදුවූ අසාධාරණවලට එරෙහිව රැස්වීමක් පැවැත්වීමටවත් ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව තිබියදී ඊට ඉඩකඩ සැලකුවේ මෙම දේවස්ථානයයි.

දේවස්ථානයේ පිහිටි ලියෝ නානායක්කාර සමරු ශාලාවේ දොර එවැනි අසාධාරණකම් සඳහා නිරන්තරයෙන් විවර විය.

දේවස්ථානයේ ස්වර්ණමය යුගය වූයේ ප්‍රථම මීසම් සේවක ලෙස 1974 සිට 1985 දක්වා සේවය කළ ලීනස් මෙන්ඩිස් පියනම සමයයි. ගීත රචකයෙකු වූ එතුමා ප්‍රදේශයේ කලාකරුවන් සමඟ එක්වී වෙසක් පොසොන් උත්සවවලදී බැති ගී කණ්ඩායම් පුහුණු කොට ප්‍රසංග පැවැත්වීය.

හින්දු බැතිමතුන්ගේ සංස්කෘතික උත්සවවලදී විවිධ වැඩසටහන් දියත් කරන ලදී. ප්‍රදේශයේ ඉපැරැණිම පෙර පාසල වන්නේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පෙර පාසලයි. බොදු, හින්දු සහ කිතුණු සියලු දූ දරුවන්ට එය විවෘත විය. මේ වන විට ශුද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානය අංගසම්පූර්ණ පුදබිමක් බවට පත්ව ඇත.

දේවස්ථානයට අංගසම්පූර්ණ ජාත්‍යන්තර පාසලක් දේවස්ථානය ආසන්නයේ පවත්වාගෙන යයි. පුදබිමේ දෙමහල් සම්මන්ත්‍රණ ශාලාවක් ඉඳිකර තිබේ.

එදා සිට අද දක්වා මීසම සේවකයන් ලෙස කටයුතු කළ පියතුමන්ලා මෙසේය,

1974-1985 ලීනස් මෙන්ඩිස්, 1985-1992 ඒ. කේ. රාජපක්ෂ, 1992-1999 පියලාල් කුරේ, 1999-2004 ටයිටස් ෆොන්සේකා, 2004-2008 ලසන්ත කහඳවෙල, 2008-2009 ප්‍රසන්න ස්වර්ණාධිපති, 2009-2014 බර්නාඩ් කොස්තා, 2014-2017 රවීන් පෙරේරා, 2017-2023 සුනිල් විජේරත්න, 2023 සිට මේ දක්වා මාලන් ඇන්තනී.

ප්‍රදේශයේ සමස්ත ජනතාව වෙනුවෙන් ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉටුකරන සේවාවන් පවත්වාගෙන යෑමට මීසම සේවක පියතුමන්ලාට ශක්තිය හා ධෛර්යය ලැබේවා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment