පශ්චාත් මරණ පරීක්‍ෂණය නොපැවැත්වූවැයි ආගමික වතාවත් සිදුකරද්දී දේහය පොලිසිය නැවතත් රැගෙන ගිහිල්ලා

118

රිය අනතුරකින් මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් හදිසි මරණ පරීක්‍ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් නොපවත්වා නිවසට රැගෙන ගොස් පවුලේ ඥාතීන් විසින් අවසන් කටයුතු සිදු කිරීමට සූදානම් වෙද්දී අධිකරණ නියෝග මත අදාළ පරීක්‍ෂණ සඳහා පොලිසිය එම මෘතදේහය ආපසු රෝහලට රැගෙන ඒමේ සිද්ධියක් මැදිරිගිරිය මහතලාකොලවැව යාය 07 ගම්මානයෙන් වාර්තා වේ.

තමන් විසින් පදවාගෙන ගිය යතුරුපැදිය පෙරළීයෑමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් බරපතළ ලෙස තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ අංක 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි මැදිරිගිරිය, මහතලාකොලවැව, යාය 07, අංක 1470 ලිපිනයේ පදිංචි පුස්සේ වත්තේගෙදර වීරසිංහ (80) යන අය ඉකුත් 15 දා මියයෑමෙන් පසු එම මෘතදේහය හදිසි මරණ පරීක්‍ෂණයක් නොපවත්වා රැගෙන යෑමට වාට්ටු භාර නවක වෛද්‍යවරියක විසින් මරණකරුගේ ඥාතීන්ට අවසරදී තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෘත දේහය පොලොන්නරුව මහ රෝහලේ මෘත

ශරීරාගාරය වෙත රැගෙන ගොස් හදිසි මරණ පරීක්‍ෂණයක් සඳහා යොමුකරන ලෙස මීගස්වැව පොලිසියට නියෝග කර ඇත.

ඒ අනුව පොලිසිය මෘත දේහය රැගෙන ඒම සඳහා
මැදිරිගිය මහතලාකොලවැව ප්‍රදේශයේ පිහිටි එම නිවසට යන අවස්ථාවේ එම දේහය මිහිදන් කිරීම සඳහා මහා සංඝරත්නය වැඩමවා ආගමික වතාවත් කිරීමට සූදානමින් සිටි බව කියති.

පසුව පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත දේහය රැගෙන ඒමෙන් පසුව එම මරණය සම්බන්‍ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය පොලොන්නරුව නාගරික හදිසි මරණ පරීක්‍ෂක, සාම විනිසුරු එල්. එම්. චමින්ද ලක්මාල් මහතා විසින් ඉකුත් 16 දා පස්වරුවේ පොලොන්නරුව මහ රෝහලේදී පවත්වනු ලැබීය. මියගිය අයගේ මරණය සම්බන්‍ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය යූ.එල්.එම්. පෙරේරා මහතා විසින් සිදු කරනු ලැබීය. මීගස්වැව පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් (38193) එම්. එල්. කේ. බණ්ඩාර මහතා මෙහි සාක්කි මෙහෙයවීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment