තට්ටු ගොඩනැගිල්ලකින් වැටුණට පසුව රෝහලට ගෙනිහින් දැම්මා: මුදල් ඉවරවූ පසු ටිකට් කැපුවා – සෞදියේ සිට අසරණ වී පැමිණි රසින්ත ලියනගේ කියයි

515

මගේ ඉණෙන් පහළ කොටස පණ නැතිව ගියා

මට බෙහෙත් ටිකක්වත් දෙන්න කවුරුත් නැතිව ගියා

මාව ඉස්පිරිතාලෙන් ගෙනත් ගැරේජ් එකකට දැම්මා. මගේ ඉනෙන් පහළ පණ නැති වෙලා හිටියෙ. මට එතනම මළ මුත්‍රා පහ වුණා. මාව එහෙදි බලා ගත්තෙ ලංකාවෙන් සෞදි අරාබියට වැඩට ගිහිල්ලා හිටිය අයියලා, අක්කලා පිරිසක්. පස්සෙ ඔවුන් මං ගැන සමාජ මාධ්‍යයට සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍ය ආයතන වලට කිව්වා. එහෙම නොවෙන්න මට එන්න වෙන්නෙ පෙට්ටියෙන්, යැයි සෞදි අරාබියේ සේවයට ගොස් උස ගොඩනැගිල්ලකින් ඇද වැටී ඉනෙන් පහළ කොටස පණ නැතිව ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ රසින්ත ලියනගේ මහතා පැවසීය.

38 හැවිරිදි රසින්ත ලියනගේ නිට්ටඹුව, පස්යාල ප්‍රදේශයේ පදිංචි කාර්මික වෘත්තීයේ නියැලි දෙදරු පියෙකි. ඔහු ඉකුත් 2023 වසරේ මාර්තු මස 12 දින සෞදි අරාබියේ කාර්මික රැකියාවක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගොස් තිබේ.

එහිදී 09/28 දින ඔහු සේවය කළ ආයතනය පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ වහලය මත වතුර ටැංකියක් තැබීමට යෑමේදී, එයින් ඇද වැටී මෙසේ අනතුරට පත් වී තිබුණි.

මාව වැටුණට පස්සෙ දමාම් නුවර ‘කින් පහත් ’ රෝහලට ගෙනෙහින් දැම්මා. ඊට පස්සෙ මං වෙනුවෙන් මම සේවය කළ සමාගමේ මුදල් අවසන් වූ පසු මගේ ටිකට් කැපුවා. මාව එම ආයතනයේ ‘ගැරේජ්’ එකකට ගෙනැවිත් දැම්මා.

මගේ ඉනෙන් පහළ කොටස පණ නැහැ. ඒ ගැරේජ් එකේදී මට එතනම මළ පහ පිට වුණා. ඊට පස්සෙ මගේ ‘පස්ස පැත්ත’ කුණු වුණා. මාව බලා ගන්න, මට බෙහෙත් ටිකක් දෙන්න කවුරුත් හිටියෙ නැහැ.

ඒ වෙලාවෙදි තමයි සෞදි අරාබියේ සේවය කරන අපේ ශ්‍රී ලාංකික අයියල, අක්කල පිරිසක් ඇවිත් මට උදව් කළේ.

තට්ටු ගොඩනැගිල්ලකින් වැටුණට පසුව රෝහලට ගෙනිහින් දැම්මා: මුදල් ඉවරවූ පසු ටිකට් කැපුවා - සෞදියේ සිට අසරණ වී පැමිණි රසින්ත ලියනගේ කියයි

ඒ අතරෙ ඔවුන් මං ගැන සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලංකාවෙ ජනමාධ්‍යවල පුවත් පළ කරල තිබුණා.

ඒ නිසා අද මේ විදිහට ශ්‍රී ලංකාවට එන්න ලැබුණා යැයි රසින්ත ලියනගේ ගිලන් රථයේ දිගා වී සිටින අතරතුර පැවසීය.

එහිදී ඔහු මම අවසාන වශයෙන් කියන්නෙ විදේශ රැකියාවකට යනව නම් නීත්‍යානුකූලව, වගකීමෙන් යන්න. මම එහෙම ගිහිල්ලත් මං වෙනුවෙන් කටයුතු කරන්න සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අපොහොසත් වුණා යැයි ද පැවසීය.

අනතුරට පත් රසින්ත ලියනගේ 16දා අලුයම 06.00 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහුගේ බිරිඳ බිසෝ මල්ලිකා සහ ඔවුන්ගේ බාල දියණිය ඇතුළු තවත් සමීපතම ඥාතීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

රසින්ත ලියනගේ මහතා විශේෂ ගිලන් රථයකින් මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබූ අතර, ඔහු සේවය කළ සමාගමෙන් වන්දි මුදලක් ලබා ගැනීම සඳහා ඔහුට සහාය දක්වන ලෙස ඉල්ලීමක් ද කළේය.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment