ඩිජිටල් යටත් විජිතකරණයෙන් මිදීමට තාක්‍ෂණ විවිධත්වය

97

මෙම ලිපියේ කතුවරයා වන Domenico Fiormonte ඉතාලියේ University of Roma Treහි දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ සන්නිවේදන හා සංස්කෘතික සමාජ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන අතර ඔහු ඩිජිටල් භාෂා විද්‍යාව, දැනුමේ භූ දේශපාලනය සහ සංස්කෘතික විචාරවේදය සම්බන්ධ පර්යේෂණ, ඉගැන්වීම් හා ප්‍රකාශන කටයුතුවල නියැළී සිටී. ඔහු විසින් UNESCO COURIER සඟරාවට ලියන ලද Technodiversity as the key to digital decolonization ලිපිය ඇසුරෙන් මෙම ලිපිය සැකසී ඇත.

ඩිජිටල් දැනුම පාලනය කිරීමේ අරගලය හැරුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. ආර්ථික, භූ දේශපාලනික හා සංස්කෘතික මානයන් සියල්ල ක්‍රියාත්මක වෙමින් පවතී. වර්තමාන අසමතුලිතතාව පැරද වීමට සහ ඩිජිටල් බහුත්වවාදය (digital pluralism) ප්‍රවර්ධනය කිරීමට ආමන්ත්‍රණය කළ යුතු එකම කාරණය තාක්ෂණ දැවැන්තයින්ගේ ආධිපත්‍යය නොවන්නේය. භාෂාමය, සංස්කෘතිකමය හා ජෛව විද්‍යාත්මක විවිධත්වයට ගරු කරන විකල්ප, තිරසාර තාක්ෂණ සංවර්ධනය දිරිමත් කිරීම ද අත්‍යවශ්‍ය වේ.

තනිකර ම සුපිරි තාක්ෂණය හෝ මිලිටරි බලය පිළිගැනීම හා ප්‍රදර්ශනය කිරීම හරහා පමණක් කවදාවත් ආධිපත්‍යය අත්කරගෙන නැත. දැනුම යනු බලය වන සේම, එය ඉතාලි දාර්ශනිකයකු වන අන්තෝනියෝ ග්‍රාම්ස්චි පවසන ආකාරයට සංස්කෘතික ආධිපත්‍ය (cultural hegemony) ක්ෂේත්‍රයෙහි දැනුම යනු කුමක් ද යන්නෙහි සීමා ස්ථාපිත කරමින් එහි බලපෑම පවත්වාගෙන යයි. තොරතුරු, අධ්‍යාපනය සහ සංස්කෘතික හා විද්‍යාත්මක නිෂ්පාදන ආකෘති යනු භූ දේශපාලන අන්තර් ක්‍රියාකාරීත්වයේ ගැඹුරු මට්ටමකි.

දැන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මතවාදයන්ගේ – භාවිතයන්ගේ – අන්තර් හුවමාරුවේ මෙම සංකීර්ණ සැකැස්ම නිෂ්පාදනයේ ප්‍රවේශයේ හා ව්‍යාප්තියේ ඒකාබද්ධ මාධ්‍යයක් බවට සංකේන්ද්‍රණය වී තිබේ. ඒ වෙබ් සහ එහි මෙවලම් ය. දේශපාලනය හා සෞඛ්‍යය පාලනය කිරීමට නව පරම්පරා පුහුණු කිරීමට විද්‍යාත්මක ප්‍රතිඵල ව්‍යාප්ත කිරීමට ආර්ථික තෝරාගැනීම් සඳහා බලපෑම් කිරීමට සහ සමාජ සම්මතයන්ට අභියෝග කිරීමට වෙබ් හා ඊට අයත් තාක්ෂණයන් පදනම බවට පත් වී ඇත. 21 වන සියවසේ මුල් අවුරුදු දක්වා මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය විදහා දැක්වූ සංස්කෘතික, සෞන්දර්යාත්මක, සමාජයීය, නෛතික, ආර්ථික හා අනෙකුත් ව්‍යුහයන් නව විෂය වස්තුවක් මගින් ඉවතට අතුගා දමා තිබේ. ඒ අල්ගොරිදමයේ අධිරාජ්‍යයයි. (the empire of the algorithm)

ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක්

භූ දේශපාලනය ඩිජිටල් භූ දේශපාලනය බවට පත් වී ඇත්තේ ඩිජිටල් දැනුම සඳහා තරගයක් හා අරගලයක් සඳහා එහි පාලනය පිණිස පමණක් නොව එහි යටිතල පහසුකම් සහ එය ගොඩනැඟීමට හා නඩත්තු කිරීමට භාවිත කරන භෞතික අමුද්‍රව්‍ය ද සඳහා ය. රැහැන්, යෙදුම්, මෘදුකාංග, දත්ත මධ්‍යස්ථාන, ලෝහ, දුර්ලභ ඛනිජ සහ අනෙකුත් මූලද්‍රව්‍ය, ඩිජිටල් දැනුම් භූ දේශපාලනයේ සංකීර්ණ විචිත්‍රත්වය හැඩගන්වයි. තමන්ගේ ම මිසයිල සහ හමුදා ගෑස් සහ තෙල් ආර්ථික බලය පර්යේෂණ මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල සහ මාධ්‍ය හෝ ආගමික බලයෙන් ආයෝජනය කිරීම පමණක් ප්‍රමාණවත් නො වන්නේ කාර්යක්ෂම සන්නිවේදනයක් සඳහා වන යටිතල පහසුකම් හා මෙවලම් පාලනයෙන් තොර ව මෙම සම්පත් අඳ ගොලු හා බිහිරි බැවිනි.

ග්‍රාම්ස්චි විසින් පෙන්වා දෙන ලද ක්‍රියාවලියේ අවසාන අදියර නියෝජනය කරන්නේ මෙම ඩිජිටල්කරණයයි. එය අපට පෙන්වා දෙන්නේ ඩිජිටල් දැනුම පාලනය කිරීමේ අරගලය සමාජ ජාලවල මහජන මතය පාලනය කිරීම පිළිබඳ සංග්‍රාමවල සිට කෘත්‍රිම බුද්ධියේ භාවිතය පිළිබඳ විවාද දක්වා වර්තමාන ඓතිහාසික අවධියේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක සිටින ආකාරයයි.

කැනේඩියානු ආර්ථික විද්‍යාඥ Harold Innis 1950 ගණන්වල දී සෑම තාක්ෂණයකට ම ආවේණික වූ දේශපාලනික සංස්කෘතික හා මතවාදීමය පක්ෂග්‍රාහීත්වය පිළිබඳ තම න්‍යාය දියුණු කළේ ය. මේ එකම බැඳුම් හරහා ඒවා පාලනය කෙරුණු එවක ඔවුන්ගේ පාලක පන්තියේ සැලසුම්කරුවන් බොහෝ විට කතිපයාධිකාරීන් මගින් තාක්ෂණයන්හි භෞතික ආධාරකවලට සීමා හා බන්ධන කා වද්දා ඇති බව ඔහුගේ න්‍යායෙන් පෙන්වා දෙයි. 1930 – 1940 ගණන්වල විශ්වාසදායක කඩදාසි පල්ප් සැපයුමක් නො මැති ව නවීන මුද්‍රණ කර්මාන්තයක් දියුණු කිරීම සිතාගත නො හැකි වූවා සේ ම වර්තමානයේ ප්‍රමාණවත් ජාල යටිතල පහසුකම් ව්‍යුහයක් නො මැති ව කිසිදු ආකාරයක සන්නිවේදනයක් ගැන සිතාගත නො හැකි වනු ඇත.

සංස්කෘතික ප්‍රශ්නයක්

දැවැන්ත තාක්ෂණ ඒකාධිකාරයන් මගින් පාලනය කරනු ලබන ලෝකයක් තුළ ඇත්තෙන් ම ඔවුන්ගේ ආර්ථිකමය වශයෙන් ප්‍රමුඛ ස්ථානවලට පහර දීම අවශ්‍ය ය. නමුත් සැබෑ ප්‍රශ්නය සංස්කෘතිකය. Harold Innis පැහැදිලි කළ ලෙස ඔවුන්ගේ ආධිපත්‍යය හා පවත්වාගැනීමට හා ව්‍යාප්ත කිරීමට බලයේ සිටින්නන් හැකිතාක් දුරට සන්නිවේදන මෙවලම් හා විධික්‍රම “ප්‍රමිතිගත” (“standardize”) කළ යුතුය. අනිවාර්යයෙන් ම මෙයින් අදහස් කරන්නේ විවිධත්වය අඩුවීමයි. ප්‍රොටොකෝල අල්ගොරිදම හා මෘදුකාංගවලට ලෝකයේ එක් කොනක සිට අනෙක් කොණ දක්වා බාධාවකින් තොර ව ගලා යෑමට හැකි විය යුතුය.

මෙසේ හෙයින් විවිධත්වය හා පාලනය අත්‍යන්තයෙන් ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. විශාල තාක්ෂණික දැවැන්තයින්ට ඔවුන්ගේ බලය සදාකාලික කර ගැනීම සඳහා තරගය පරාජය කළ යුතු වන අතර විභව තරගකරුවන් මිල දී ගතයුතු වේ. ඇමරිකානු පරිගණක විද්‍යාඥ Jaron Lanier පවසන පරිදි නවෝත්පාදනය මන්දගාමී කර ඔවුන්ගේ තාක්ෂණය ආරක්ෂා කරගැනීමයි. (“lock-in effect”) සියල්ලට ම පසු පෞද්ගලික ලාභ ලබන විශාල තාක්ෂණ සමාගමක් තමන්ට පැහැදිලි වෙළෙඳ පොළ වටිනාකමක් නො මැති භාෂා හා සංස්කෘතීන් තුළ ආයෝජනය කිරීමට බලාපොරොත්තු නො වනු ඇත. උදාහරණයක් ලෙස Google හි සෙවුම් පිටුව භාෂා 149කින් ද Google Maps
ි භාෂා 70කට වඩා වැඩි ගණනකින් ද සමන්විත වන අතර වෙනත් මූලාශ්‍ර පවසන්නේ Googleහි සෙවුම් යන්ත්‍රයට භාෂා 348ක් දක්වා සහාය දැක්විය හැකි බවයි.

කෙසේ වෙතත් 2020 නොවැම්බරයේ දී Google නිවේදනය කළේ අන්තර්ජාලයෙහි ව්‍යාපාර කිරීමට කැමති ඕනෑ ම කෙනෙකුට අත්‍යවශ්‍ය අංගයක් වන Google Ads භාෂා 49කට පමණක් සහාය දක්වන බවයි. ඒ භාෂාවලින් අඩකටත් වඩා යුරෝපීය භාෂා වේ. නමුත් ලෝකයේ භාෂා වර්ගීකරණය කරන Ethnologue නමැති විශ්වකෝෂ විමර්ශන කෘතියට අනුව ලෝකයේ සජීවී භාෂා 7,000කට වඩා තිබෙන බව හඳුනාගෙන ඇති අතර ලෝකයේ බලවත් ම ඩිජිටල් සමාගමට පවා නියෝජනය කළ හැක්කේ අපගේ ග්‍රහලෝකයේ භාෂා විවිධත්වයෙන් කුඩා ප්‍රතිශතයක් පමණි.

අධිපති ආඛ්‍යාන විසුරුවා හැරීම

නමුත් සම්මතයන් හා විවිධත්වය අතර හෝ ප්‍රභූ දෘෂ්ටිය (elitism) හා ඩිජිටල් බහුත්වවාදය අතර හෝ වන මෙම ස්වභාවික ගැටුම තුළ හරියට ම ගැටලුවට විසඳුමක් තිබේ. බලය ඒකරාශි කර ගැනීමේ හා පාලනය කිරීමේ අවශ්‍යතාවක් ඇති බව සත්‍ය නම් ජෛව – සංස්කෘතික විවිධත්වය ද :(biocultural diversity) පෘථිවියේ ජීවය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද ඒ හා සමාන සත්‍යයකි. එය අපගේ ජීවිත රක්ෂණය වන අතර එහි ආරක්ෂාව සඳහා පෙළ ගැසීමට තාක්ෂණ විවිධත්වය (technodiversity) වඩ වඩාත් අවශ්‍ය වනු ඇත.

තව ද මෙහිදී ම චීන දාර්ශනික Yuk Hui ගේ චින්තාවන් පුළුල් කිරීමට කැමති අතර තාක්ෂණ විවිධත්වය ‘තෝරාගැනීමේ නිදහස’ (freedom of choice) ලෙස නිරීක්ෂණය කරමි. ඇතැම් සංස්කෘතික සංදර්භ තුළ ආක්‍රමණශීලී හෝ හානිකර ලෙස සැලකෙන තාක්ෂණයන්ගේ “ප්‍රතික්ෂේපණය” :(“rejection” of a technology) අදහස් කිරීමට පිළිවන. වෙනත් වචනවලින් කිවහොත් කෙනෙකුට තමන්ගේ ම “ඩිජිටල් දේහය” : (“digital corpus”) පාලනය කිරීමට ඩිජිටල් යටත් විජිතවාදයට එරෙහිව සටන් කිරීමට සහ චින්තන ප්‍රදේශයන්ගේ සංස්කෘතීන්ගේ සහ භාෂාවල පරිසර විද්‍යාවට ගරු කරන විසඳුම් වගා කිරීමට ඇති අයිතියයි.

ග්‍රහලෝකයේ ඊනියා “මායිම්වලට් කේන්ද්‍රීය භූමිකාව සම්බන්ධ ව පරෙස්සම් සහගත නැවත ඇගයීමකින් තොර ව ඥානාන්විතභාවයක් තිබිය නො හැකි අතර එබැවින් තාක්ෂණ විවිධත්වයක් ද නැත. ලෝකයේ දකුණු ප්‍රදේශයේ ඩිජිටල්කරණය කළ හැකි ද්‍රව්‍යමය සම්පත් සංකේන්ද්‍රණය වී තිබීම නිසා පමණක් නො ව “දැනුමේ ප්‍රතිපක්ෂ විධි ක්‍රමානුකූලව සංහාරය කිරීමේ” ‘ඥාන ඝාතනය ද’ (epistemicide) සැම විට ම ඌන සංවර්ධිතභාවයට හේතුවක් වී ඇත.

දාර්ශනිකයකු හා මනෝචිකිත්සකයකු වූ Frantz Fanon සිය මතවාදය බිහිකළ The Wretched of the Earth කෘතියෙහි ස්වදේශීය සංස්කෘතීන් අහෝසිකරමින් හුදෙක් අමුද්‍රව්‍ය උකහා ගැනීම හා ශ්‍රමය සූරාකෑම මත පදනම් වූ දුෂ්ට යටත්විජිත මතවාදය කෙරෙහි අවධානය යොමු කරයි.

යටත් විජිතවාදීන්ගේ ලොකු ම ජයග්‍රහණය යටත් විජිත කොල්ලකෑම නොව ඔවුන්ගේ සංස්කෘතිය පහත් බව ඔවුන්ට ඒත්තු ගැන්වීම Frantz Fanon ලියා තිබේ. ස්වදේශීය දැනුම එහි අයිතිකරුවන්ට අදාළ නො වන බවට පත් කළ පසු යටත් විජිතවාදියා ඊළඟට ඉදිරිපත් කරන්නේ යටත්විජිත වැසියාට අනුගතවීමෙන් වැළකී සිටීමට අසමත් වන ජයග්‍රාහී මාදිලියකි ‘සම්මතයකි’ මේ හේතුවෙන් ග්‍රහලෝකයේ උතුර හා දකුණ අතර වර්තමානයේ පවතින තාක්ෂණ අසමතුලිතතාව ආමන්ත්‍රණය කිරීම ලෙස පෙර ඇසුරුම් කළ විසඳුම් ඉදිරිපත් කිරීම දත්ත සොරකම් කිරීම සඳහා ප්‍රතිචාර පුඩුව සවිබලගැන්වීමට උතුරේ සිට තාක්ෂණය මාරු කිරීම සහ ඉන්පසු දකුණ තාක්ෂණික කුණු කසළ ගොඩක් බවට පරිවර්තනය කිරීම අදහස් කළ නො හැකිය. පාරිසරික වශයෙන් තිරසාර හා ඒ ඒ භූමියේ භාෂාමය සංස්කෘතිකමය හා ජෛව විද්‍යාත්මක විවිධත්වයට අනුකූල වන ස්වදේශික තාක්ෂණ සංවර්ධනය දිරිමත් කිරීම අත්‍යවශ්‍ය වේ.

ඩිජිටල් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති

නවෝත්පාදනය පිළිබඳ බොහෝ උදාහරණ පෙන්නුම් කරන්නේ දකුණු ගෝලයේ නව ප්‍රවේශ මතුවෙමින් පවතින බවයි. ස්වදේශීය දත්ත ස්වෛරීභාවයට සම්බන්ධ ව්‍යාපෘතිවල සිට නො බැඳි තාක්ෂණ ව්‍යාපාරය දක්වා ද ඉක්වදෝරයේ පුරෝගාමී FLOK Society බඳු පොදුජන ව්‍යාපාරය මගින් පිබිදුණු Big Data Sur දක්වා ද මෙම උදාහරණ පවතී. ආසියාවේ අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ ප්‍රජා ජාල ව්‍යාපාරය (The community networks movement) සාර්ථක ව දියුණු වෙමින් පවතී.

ලෝකයේ විශාලත ම විවෘත ප්‍රවේශ විද්‍යාත්මක ප්‍රකාශන මුලපිරීම්වල මහගෙදර වන්නේ ද ලතින් ඇමරිකාවයි. Redalyc, Scielo, Amelica යනාදිය බටහිරට අයත් ගෙවීම් පවුරු සහිත ප්‍රකාශන පද්ධතියට පමණක් නොව සමස්තයක් ලෙස ඉංග්‍රීසි වහරන සංස්කෘතික ආධිපත්‍යයට ද :(Anglophone cultural hegemony) අභියෝග කරයි.

දකුණු ගෝලය තුළ ‘ඩිජිටල් සවිබලගැන්වීම’ ඇති කිරීමට මෙම ව්‍යාපෘති ප්‍රමාණවත්

නො වන බව ඇතැමුන් පැවසීමට පිළිවන. මගේ පිළිතුර වන්නේ පරිවර්තනය :(transformation) යනු දැවැන්ත ලෙස ණය වැඩිවන විදේශ ආයෝජන සහ තාක්ෂණික පරාධීනතාව නොව කෙන්යානු ලේඛක Ngugi wa Thiongo ගේ වචනවලින් කියන්නේ නම් “මානසික යටත්විජිත බවින් මිදීම” :(decolonization of the mind) යන්නයි.

ලෝකය වෙනස් වෙමින් පවතින අතර පෙර පරිධියේ සිටි රටවල් ඩිජිටල් ආකෘති තුළ දැනුම සංරක්ෂණය ප්‍රවේශය හා සම්ප්‍රේෂණය සඳහා බහු සහ තිරසාර ආකෘති යොදාගන්නා ප්‍රමුඛ කේන්ද්‍ර බවට පත් වෙමින් තිබේ. තාක්ෂණ විවිධත්වයේ සජීව බහු සංස්කෘතික සහ සාධාරණ ආකෘතියක් දැනටමත් මෙහි තිබේ.

ප්‍රභාත් චින්තක මීගොඩගේ
සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment