මොන්ටෙනේග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමකින් 12ක් මරුට

114

ගිනිකොණ දිග යුරෝපයේ පිහිටි මොන්ටෙනේග්‍රෝ රාජ්‍යයේ හෝටලයක් තුළ පුද්ගලයකු විසින් පෙරේදා (01දා) සිදු කළ වෙඩි ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුඩා ළමුන් දෙදෙනකු ඇතුළු 12 දෙනකු මිය ගොස් ඇති අතර තවත් සිවු දෙනකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කර තිබේ. මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ඝාතකයා ද ඔහු විසින්ම වෙඩි තබාගෙන මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

දකුණු දිග මොන්ටෙනේග්‍රෝ රාජ්‍යයේ පිහිටි ‘සෙටින්ජේ’ ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුව ඇති මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් ඝාතකයා වන 45 හැවිරිදි ඇලෙක්සැන්ඩර් මාටිනොවික් විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්ම හෝටලයේ අයිතිකරු හා ඔහුගේ ළමුන් දෙදෙනා ද වෙඩි තබා මරා දමා තිබේ. ඝාතකයා මෙම වෙඩි තැබීමෙන් අනතුරුව වෙනත් ස්ථානවල සිටි පිරිස්වලට ද වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වී ඇති අතර ඔහු වෙඩි තබන අවස්ථාවේ අධික ලෙස බීමත්ව සිට ඇති බව මොන්ටෙනේග්‍රෝ පොලිසිය පවසා තිබේ. ඝාතකයා විසින් ඔහුටම වෙඩි තබාගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව පොලිසිය විසින් ඔහුව රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහල්ගත කිරීමට පෙර ඔහු මියගොස් තිබේ. මෙම වෙඩි තැබීමේ සිද්ධියට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර මොන්ටෙනේග්‍රෝ රාජ්‍යයේ රජය විසින් එරට තෙදින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.


advertistmentadvertistment