මෝඩයා ගංවතුරට බිය නැත

627

පාතාලයක් දුටුවිට එතැනට ගොස් පහතට එබී බැලීම මෝඩයාගේ සිරිතය. එබී බලද්දී යම් හෙයකින් පය ලිස්සුවොත් මෝඩයා පාතාලයට වැටී කැබලි වී මියයයි. පත්තුවෙන ගින්දරට ඇඟිල්ල දමා කොතරම් රස්නෙ දැයි බැලීම ද මෝඩයාගේ සිරිතමය. එසේම ගංවතුර ගලන විට එහි ඔරු පැදීම, පිහිනීම වැනි දේ විනෝදය පතා සිදුකිරීම ද මෝඩයාගේ සිරිතය.

සුනාමි කාලක් තරම් විශාල හානියක් රටට සිදු කළ මහා ගංවතුර තවමත් බැස ගොස් නැත. එබැවින් මීට සති එකහමාරකට පමණ පෙර පැවැති අනතුර අදටත් එසේම පවතී. මේ අතර බුලත්සිංහල පළාතේ දිවලකඩ ගමේ පදිංචි විසිදෙනකුගෙන් සමන්විත තරුණ පිරිසක් ගංවතුරෙන් විනෝද වීම සඳහා බෝට්ටුවක නැඟී ඔරු පදින්නට ගියහ. බෝට්ටුව ගමන් කළේ පාරු පදවන්නාක් මෙන් ආධාරක ලීයක් පොළොවට ගැසීමෙනි. මේ ආධාරක ලීය එසවීමේදී එය අධිබලැති විදුලි කම්බියක ගැටුණු අතර ලීය අත තිබුණු තරුණයා ගංවතුරට වැටී මළේය. බෝට්ටුව තුළ සිටි පිරිසට ද විදුලිසර වැදුණ ද ඔවුන්ට අනතුරක් සිදු වූයේ නැත.

ආතල් ගත යුත්තේ කොතැනින් ද ආතල් නොගත යුත්තේ කොතැනින් ද යන්න ගැන හැඟීමක් අපේ රටේ ජනයාට නොවේ. ඔවුන් බලන්නේ සෑම විපතකින්ම චූන් එකක් ගැනීමටය. මේ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ කලකට පෙර මෙහි කඩාවැදුණු සුනාමියයි. පළමු සුනාමි රැල්ල හෙණ ගෙඩියක් සේ වෙරළට විත් මහ මුහුදට ඇදී යයි. ඒ ඇදී යන වේගයට මුහුද පිට්ටනියක් තරම් පළල් තීරයක් සේ වතුර නැති ප්‍රදේශයක් බවට පත්වෙයි. ඊළඟ සුනාමි රැල්ල එන්නේ තවත් විනාඩි 10කට පමණ පසුවය. ඒ අතර, හටගත් මේ අපූරු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට කල්පනා කරන අපේ මැටි හරක් වතුරෙන් හිස් වූ සාගර ප්‍රදේශයට ගොස් එහි සිටින කකුළුවන්, බෙල්ලන්, කොරල් සහ මත්ස්‍යයන් අහුලන්නට පටන් ගනී. මේ අතර දෙවැනි උදම් රළ එන්නට පටන්ගනී. මෙය එන්නේ කලින් පැමිණි රළ මෙන් දහදොළොස් ගුණයක් උසට සහ විශාලටය. මේ රැල්ලට හසුවුණු රේල් පාරවල් ඇදවෙයි. තඩි රේල් පීල්ලක් ඇද කිරීමට ජල පහරකට හැකි නම් ඒ කෙතරම් දරුණු එකක් විය යුතුද. වෙරළ තීරයේ ෆන් ගනිමින් සිටින මෝඩ රැළ ද මේ යෝධ උදම් රළට හසුවෙති. ඊළඟට ඔවුන්ගේ මළ මිනි මතුවෙන්නේ ඉන්දියාවේ වෙරළාසන්න ප්‍රදේශවලිනි. මෝඩකමට නිර්භීත ක්‍රියා සිදුකර පස්ස බිම ඇන ගැනීමේ පුරුද්දක් මනුෂ්‍ය වර්ගයාට තිබේ. තිරිසනුන්ට අයිසැක් නිව්ටන්ට මෙන් බුද්ධියක් නැතත් පෙර කී මෝඩකම් ද නැත. එබැවින් මනුෂ්‍යයා ගොදුරුවන උපද්‍රව වැඩි හරියකින් බේරීමට සතුන්ට පුළුවන. මෝටර් සයිකලයේ හෝ බයිසිකලයේ පස්ස රෝදයෙන් ගමන් කරමින් ඉස්සරහ රෝදය උඩට ඔසවාගෙන සිටීම ද මෙවැනි ම මෝඩ චූනයකි. යම් විධියකින් මෝටර් සයිකලය හෝ බයිසිකලය පෙරළුණහොත් එය පදවපු එකාගේ කොන්ද කැඩී යෑම ස්ථිරය. බයිසිකලය පැත්තකට පෙරළුණහොත් ඔළුව කුඩුවෙයි. නැතිනම් අතපය කැඩෙයි. මෙවැනි මෝඩයෝ රටට බරක් වෙති. මේ ජාතියේ අනතුරක් සිදු වූ විට ඒ මෝඩයාට බෙහෙත් දමා සුවපත් කිරීමට ආණ්ඩුවට විශාල මුදලක් වැයවේ. මෝඩයාගේ මෝඩ චූන් එකට වන්දි ගෙවන්න සිදුවන්නේ ජනතාවගේ බදු සල්ලිවලට හා පිටරටින් ණයට ගන්නා සල්ලිවලට ය. අපේ මිනිස්සුන්ට නොදන්නාකමට වඩා ඇත්තේ බකපණ්ඩිතකමය. කොපමණ එපා කිව්වත් ඔවුන් රේල් පාර දිගේ පයින් යති. ඒ යන ගමන් සෙල්ෆෝන් එක කනේ ගසාගෙන පෙම්වතිය සමග හෝ මිතුරකු සමග සල්ලාපයෙහි යෙදෙති. මෙවිට පිටුපසින් පැමිණෙන කෝච්චිය ඔවුන් යටකරගෙන යයි. මෙවැනි මරණ බොහොමයක් ලංකාවේ සිදු වී තිබේ. මීට අවුරුදු කිහිපයකට පෙර මේ රටේ සිටි ප්‍රසිද්ධ නළුවකු ද මේ ආකාරයෙන් ජංගම දුරකථනයක් කනේ ගසාගෙන යද්දී කෝච්චියට යටවිය. එහෙත් කිසියම් වාසනා මහිමයක් නිසා බරපතළ තුවාල ලැබුව ද උන්දෑ මළේ නැත. මෙබඳු කාරණා ගැන අවවාද කිරීමට යෑම නිෂ්ඵල වැඩකි. සමහර විට අවවාදය දුන් එකාට ගුටි කෑමට සිදුවෙයි. මෙයට කලකට පෙර තරුණයන් දෙදෙනෙක් මෝටර් බයිසිකලයක නැඟී ඉස්සරහ රෝදය ඔසවාගෙන පස්ස රෝදයෙන් ගමන් කරමින් මහ පාරේ සංදර්ශනයක් පැවැත්වූහ. එසේ නොකරන ලෙස වැඩිහිටියකු විසින් ඔවුන්ට අවවාද දෙන ලදි. ඉන් කෝපයට පත් තරුණ ඩබල හෙල්මට්වලින් පහරදී අර මනුස්සයා මරා දැමූහ. අපේ මතකය නිවැරැදි නම් ඔවුන් තවමත් රිමාන්ඩ් එකේය.

මේ දුෂ්කර සමයේදී ඔබට කීම සඳහා වැදගත් කාරණයක් තිබේ. අවදානමෙන් චූන් ගන්නා අය ඔබ අතරත් සිටී නම් ඔවුන්ට අවවාද කරන්න. බැරි නම් කට්ටිය එකතු වී තලා ඔවුන් පොලිසියට භාර දෙන්න.

advertistmentadvertistment
advertistmentadvertistment