මෝදිගේ ගැහුවොත් ගහනවා ප්‍රකාශය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හෙළා දකී

16

හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.

කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා ජාත්‍යන්තර උත්සාහයන් දරන මොහොතක, මෙම ප්‍රකාශයන් වැරදි තොරතුරු, දේශපාලන අවස්ථාවාදය සහ ජාත්‍යන්තර නීතිය නොසලකා හැරීම මත පදනම් වූ ඉතා නරක පියවරකි. තවද මෙම ප්‍රකාශයන් ව්‍යාජ කතා නිර්මාණය කරමින් වාඩිලා ගැනීම සාධාරණීකරණය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

මෑත කාලීන සටන් විරාම අවබෝධතා ගිවිසුම හරහා උණුසුම් තත්ත්වය අවම කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාකිස්තානය කැපවී සිටී. උණුසුම් තත්ත්වය අවම කිරීමේ පණිවුඩයක් සමග අප හා සම්බන්ධ වූ මිතුරු රාජ්‍යයන්ගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සටන්විරාමය අත්කර ගත හැකි විය. බලාපොරොත්තු සුන්වීම මධ්‍යයේ පාකිස්තානයට සටන් විරාමයක් අවශ්‍ය බව පැවසීම අමූලික බොරුවකි.

ඉදිරි දිනවලදී ඉන්දියාවේ ක්‍රියාමාර්ග සහ හැසිරීම අපි හොඳින් නිරීක්ෂණය කරන්නෙමු. ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද එසේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතියට අනුකූලව, ඉන්දියාවේ ප්‍රහාරයට පාකිස්තානයේ ප්‍රතිචාරය හොඳින් සැලසුම් කරන ලද අතර මෙම ප්‍රහාර ඉලක්ක කළේ හමුදා ඉලක්ක පමණි. ඉන්දීය හමුදා බලයට එරෙහිව පාකිස්තානය තම බලය ඔප්පු කර තිබේ. මෙය දැන් කවුරුත් දන්නා කරුණක් බවට පත්ව ඇත. බොරු ප්‍රචාර හරහා මෙය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

වසර ගණනාවක් තිස්සේ ජලය බෙදා ගැනීමට මඟපෙන්වූ ඉන්දු ජල ගිවිසුම නොසලකා හැරීමෙන් ද ඉන්දියාවේ ඒකපාර්ශ්වික නීති විරෝධී තීරණ පැහැදිලි වේ. මෙම

ගිවිසුම යටතේ පාකිස්තානයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම අපි කරන්නෙමු.

පකිස්තානය ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් රටක් වන අතර ඉන්දියාව එයට සෘජුවම සහාය දක්වයි. මේ ව්‍යසනය නිසා අපි බොහෝ දුක් විඳ තිබෙමු. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේදී පාකිස්තානයේ දායකත්වය සහ කැපකිරීම් ප්‍රසිද්ධය. මේ යුගයේ සැබෑ ශක්තිය සාමයයි. ලෝකයට බොරු හමුදා උජාරුවක් හෝ ආඩම්බරයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ හොඳ නායකත්වයක්, කලාපීය සහයෝගීතාවයක් සහ ජාත්‍යන්තර සම්මතයන්ට ගරු කිරීමයි.

පාකිස්තානය යනු ලෝකයේ සාමය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති ශක්තිමත් සංවිධාන සහ කැපවූ පුද්ගලයින් සිටින ස්වාධීන රටකි. සාමය සඳහා අපගේ කැපවීම කිසි විටෙකත් දුර්වලකමක් ලෙස වරදවා වටහා නොගත යුතුය. අනාගතයේදී ඕනෑම ආක්‍රමණයකට අපි නිසැකවම ප්‍රතිචාර දක්වන්නෙමු. ඉන්දියාව දේශපාලන උන්මාදයට වඩා කලාපීය ස්ථාවරත්වය සහ එහි පුරවැසියන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


advertistmentadvertistment