මෝදිට බලය ලැබුණත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වන ලකුණු

1277

රාහුල්ගේ කොංග්‍රසයට කිසිවකු නොසිතූ ජයක්

උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, මහාරාෂ්ට්‍රා සහ තමිල්නාඩුවෙනුත් ඉදිරියට

කොටස් වෙළෙඳ පොළත් සෙලවෙයි

අදියර හතකින් පැවති ඉන්දීය මහ මැතිවරණයේ ඊයේ (04දා) සවස වන විට නිකුත් වී තිබූ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය තෙවැනි වරටත් බලයට පත් වන ලකුණු පහළ වී ඇතත් වසර 10ක කාලයක් මුළුල්ලේ එම පක්ෂය විසින් රඳවාගෙන සිටි පාර්ලිමේන්තුවේ බහුතර බලය මෙවර අහිමි වන ලකුණු පහළ වී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

ඊයේ සවස වන විට නිකුත් වී තිබූ ඡන්ද ප්‍රතිපලවලට අනුව අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය(එන්ඩීඒ) ගණනය කර තිබූ ඡන්දවලින් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවේ ආසන 543 න් 295ක ඉදිරියෙන් සිටින බවත් ප්‍රධාන විපක්ෂය වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය ආසන 229ක ඉදිරියෙන් සිටින බවත් වාර්තා වී තිබේ.

අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට (එන්ඩීඒ) බහුතර බලයක් සහිතව රජයක් පිහිටුවීම සඳහා ලෝක් සභාවේ මුළු ආසන 543 න් ආසන 272ක් ලබා ගත යුතුව තිබේ.

ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය බොහෝ දෙනා අපේක්ෂා නොකළ පරිදි බොහෝ ප්‍රාන්තවලින් ඉදිරියට පැමිණ ඇත. එම සන්ධානය විසින් උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, පන්ජාබ්, මහාරාෂ්ට්‍රා යන ප්‍රාන්ත මෙන්ම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ද බොහෝ ආසනවල ඉදිරියෙන් සිටීමට සමත් වී තිබේ.

අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මෙවර මහා මැතිවරණයේදී ආසන 400ක් දිනාගැනීමට ඉලක්ක කර තිබූ අතර අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය 2019 මහ මැතිවරණයේදී ලෝක් සභාවේ ආසන 353 ක් දිනාගෙන තිබිණි. මේ අතර අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොලැබෙන බව සැලවීමෙන් පසු ඉන්දීය කොටස් වෙළෙඳපොළේ කොටස්වල අගය පහළ වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය කොටස් වෙළෙඳපළේ කොටස්වල අගය ඊයේ දිනය නිම වන විට සියයට 5.7 කින් පමණ අඩු වී තිබූ බව වාර්තා වේ.

මෙවර ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඉකුත් අප්‍රේල් 10 දා ඇරඹුණු අතර පසුගිය සෙනසුරාදා (01දා) නිමාවට පත් විය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment