ඡන්දය: උසාවි මැදිහත්වීම් අවශ්‍ය නැහැ

150

පළාත් පාලන මැතිවරණ නීති අණ පනත් අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට ඇති බැවින් ඒ සඳහා තම අධිකරණය මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10 දා) පෙන්වා දුන්නේය. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති ප්‍රතිඥාව අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දැක්වූ කරුණු සැලකිල්ලට ගත් එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල එලෙස පෙන්වා දුන්හ.

රටේ ජනතාව සතු සර්ව ජන ඡන්ද බලය භාවිත කිරීමේ අයිතිය සුරැකීමේ වගකීම පැවරී ඇති මැතිවරණ කොම්ෂන් සභාවට පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි ඡන්දය පවත්වන ලෙසට අධිකරණ නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය. මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිටත් ඉදිරි පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට තම අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී ඇති බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ පැවැත්වීමට නියෝග ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි පෙත්සම්කාර පාර්ශ්වයෙන් විමසීය.

අධිකරණයට මැතිවරණ කොමිෂන් සභාව ලබා දී ඇති ප්‍රතිඥාව අනුව ඉදිරියටත් කටයුතු කරනනේ නම් සිය පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොගොස් ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් පැවසූහ. ඒ අනුව එම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වයට විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්හ. ඉදිරි පළාත් පාලන මැතිවරණය සැලසුම් කළ පරිදි පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන්ට නියෝග කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් එක් පෙත්සමක් ගොනුකර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්‍ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා හා එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් තවත් පෙත්සමක් ගොනුකර තිබිණි. නීතිඥ මංජුල බාලසූරිය, නීතිඥ සඳුන් ගමගේ සහ නීතිඥ දිනේෂ් විදානපතිරණ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment