භූමිකම්පාවේ සුන්බුන්වලින් ගොඩගත් දැරිය හදා ගැනීමට දහස් ගණනක් ඉල්ලයි

339

ඉකුත් සඳුදා දිනයේ තුර්කියේ හා සිරියාවේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් ගොඩනැඟිලි සුන්බුන්වලට යටව සිටියදී මෙලොව උපත ලබා සුන්බුන් අතරින් ගොඩගත් ළදැරියක හදා වඩා ගැනීම සඳහා දහස් ගණනක් වන පිරිසක් ඉදිරිපත්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

වයඹ දිග සිරියාවේ ජින්ඩයිරිස් නගරයේ භූමි කම්පාවෙන් කඩා වැටුණු තෙමහල් ගොඩනැඟිල්ලක සුන්බුන් අතර සිර වී සිට ඇති ‘අයා’ (අරාබි බසින් ආශ්චර්ය යන්න අදහස් වේ) යනුවෙන් නම් කර ඇති මෙම ළදැරිය සුන්බුන් අතුරින් ගොඩ ගන්නා විට මවගේ පෙකණි වැළට සම්බන්ධ වී සිට ඇති අතර ඇයගේ මව, පියා, මෙන්ම පවුලේ සෙසු සාමාජිකයන් සිවුදෙනාම ව්‍යසනයෙන් මියගොස් තිබේ. ඉකුත් සඳුදා භූමිකම්පාව සිදු වී පැය ගණනකට පසුව සුන්බුන් අතරින් ගොඩ ගෙන ඇති මෙම දැරිය රෝහලට ගෙන එන විට සිරුරේ ගැටිති හා තැලීම් තිබී ඇති අතර ඇයගේ සිරුර ශීතල වී යම්තම් හුස්ම ගැනීම නිසා අසාධ්‍ය තත්ත්වයේ සිට ඇති බව රෝහලේ වෛද්‍යවරු පවසා තිබේ. මේ වන විට ඇයගේ තත්ත්වය යහපත් අතට හැරී තිබේ. එක්තරා පුද්ගලයකු ‘අයා’ ළදැරිය සිරුරේ තැවරී තිබූ දූවිලි සමග සුන්බුන් අතරින් ගොඩගෙන ප්‍රදර්ශනය කරන අයුරු විදහා දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවල වෛරසයක් මෙන් පළ වීම නිසා මේ වන විට ඇයගේ තොරතුරු විමසමින් ළදැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉදිරිපත්ව සිටින බව වාර්තා වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment