මෝදී මීළඟට හදන ආණ්ඩුව කොහොම වෙයිද?

527

ඉකුත්දා පැවති මහා මැතිවරණයේදී ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ බහුතර බලය අහිමි කරගත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට තෙවැනි වරටත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහය පළ කිරීමට අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අයත් සෙසු පක්ෂ මෙන්ම මෙවර මැතිවරණයේදී ලෝක් සභාවේ ආසන 28ක් දිනාගෙන සිටින චන්ද්‍රබාබු නායිදු ගේ නායකත්වයෙන් යුත් තෙළිඟු දේසම් පක්ෂය හා නිතිෂ් කුමාර්ගේ නායකත්වයෙන් යුත් ජනතා ඩාල් පක්ෂය එකඟතාවය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් ඊයේ (06දා) වාර්තා කර තිබිණි. ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගන්නා පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ලෝක් සභාවේ ආසන 543න් 272ක් දිනාගෙන අනිවාර්යය වන අතර මේ අනුව මෝදී අගමැතිවරයාගේ භාරතීය ජනතා පක්ෂය විසින් මෙවර මැතිවරණයේදී දිනාගත් ආසන 240ට අමතරව ඔහුගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අයත් සෙසු පක්ෂ විසින් දිනා ඇති ආසන 53ත් සමග අගමැතිවරයාට ආසන 293ක් ලෝක් සභාවේ හිමිව තිබේ.

මේ අතර මීළඟ ආණ්ඩුව පිහිටුවීම සඳහා සිය පක්ෂවල සහයද අගමැති මෝදිට ලබා දෙන බව තෙලිඟු දේසම් පක්ෂයේ නායක නායිදු මෙන්ම ජනතා ඩාල් පක්ෂයේ නායක නිතිෂ් කුමාර් ඊයේ වන විට ලිඛිතව අගමැතිවරයා වෙත දැනුම් දී තිබිණි. මෙවර මැතිවරණයේදී දිනාගෙන ඇති ආසන සංඛ්‍යාවට අනුව අගමැති මෝදිට ඔහුගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සෙසු පක්ෂවල සහයෙන් ආණ්ඩුවක් පිහිටුවිය හැකි වුවද ප්‍රධාන විපක්ෂය වන රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානයේ සියලු පක්ෂ විසින් ලෝක් සභාවේ ආසන 232ක් දිනාගනිමින් ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීමට අඩිතාලමක් දමා ඇති බැවින් රජය පවත්වාගෙන යෑමේදී අනවශ්‍ය ලෙස කරදරයට හෝ අපහසුතාවයකට පත් වීම වැළක්වීම සඳහා තෙළිඟු දේසම් හා ජනතා ඩාල් පක්ෂවල සහය නව රජයට වැදගත් බව දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.

පෙරේදා (05දා) වන විට රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානයද මීළඟ ඉන්දීය ආණ්ඩුව පිහිටුවීම සඳහා තෙළිඟු දේසම් හා ජනතා ඩාල් යන පක්ෂවල සහය ලබා ගැනීමට යන බවට රාවයක් පැතිර ගොස් තිබූ අතර අදාළ පක්ෂ දෙකේ නායකයන් විසින් ඊයේ (06දා) දිනයේ අගමැති මෝදිට මීළඟ ආණ්ඩුව පිහිටුවීමට සහය ලබා දෙන බව ලිඛිතව දැනුම් දීමත් සමගම ඇතිවීමට ගිය අවිනිශ්චිත තත්ත්වයක් වැළකී ගිය බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. තෙළිඟු දේසම් පක්ෂය මෙන්ම ජනතා ඩාල් පක්ෂයද අගමැති මෝදිට නව ආණ්ඩුව පිහිටුවීම සඳහා සහය ලබා දීමට එම පක්ෂ ක්‍රියාත්මක වන ප්‍රාන්තවලට විශේෂ සැළකිල්ලක් ලබා දීම, නව ආණ්ඩුවේ ඇමැති ධුරයන් සිය පක්ෂවලටද ලබා දීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

කෙසේ වුවද අගමැති මෝදි විසින් තෙළිඟු දේසම් හා ජනතා ඩාල් යන පක්ෂ දෙකේ සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවුවහොත් ඔහුට එම පක්ෂවල මතවලට අනුව ආණ්ඩුවේ කටයුතු පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවත් පසුගිය ආණ්ඩු දෙකේදී සිදු කළාක් මෙන් තනි මතයට ක්‍රියා කළ නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කර තිබේ. ඒ අනුව අගමැතිවරයාට අවශ්‍ය පරිදි ව්‍යවස්ථා සංශෝධනයන් සිදු කිරීමටද එවැනි ආණ්ඩුවක් යටතේ නොහැකි වනු ඇතැයි ඔවුහු සඳහන් කර සිටිති.

මෙවර අදියර හතකින් පැවති ඉන්දීය මහා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල ලේඛනය ඉන්දීය මැතවරණ බලධාරීන් විසින් ඉකුත් අඟහරුවාදා (04දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමෙන් අනතුරුව අගමැති මෝදිගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායකයන්ගේ හදිසි රැස්වීමක් ඊයේ (06දා) මෝදි අගමැතිවරයාගේ නිවසේදී පවත්වා තිබිණි. එහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අයත් සෙසු පක්ෂ විසින් අගමැති මෝදී සිය සන්ධානයේ නායකයා වශයෙන් නැවත වරක් ඒකමතිකව තෝරා පත් කරගෙන ඇති අතර ඔහුගේ නායකත්වය මෙන්ම ඔහුගේ මඟපෙන්වීම යටතේ ඉන්දියාව විසින් මේ වන විට ලබා ඇති දියුණුව සන්ධානයට අයත් පක්ෂ නායකයන්ගේ ප්‍රශංසාවට ලක්ව තිබේ. රට ගොඩනැගීමේ කාර්යයේදී මෝදි අගමැතිවරයාගේ උත්සාහය හා අසීමිත කැපවීම සන්ධානයේ නායකයන්ගේ ඇගයීමට ලක්ව ඇති අතර අගමැති මෝදිට භාරතය හෙවත් ඉන්දියාව පුබුදුවාලීමේ ඉලක්කයක් ඇති බවත් එම ඉලක්කය කරා ළඟා වීම් සඳහා සන්ධානයේ සහය ලබා දෙන බවද සන්ධාන පක්ෂ නායකයන් විසින් අදාළ රැස්වීමේදී අවධාරණය කර තිබේ.

මේ අතර අදාළ රැස්වීමෙන් පසු මීළඟ ඉන්දීය ආණ්ඩුව පිහිටුවීම සඳහා තමන්ට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටීම සඳහා අගමැති මෝදිගේ නායකත්වයෙන් යුතු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඊයේ (06 දා) ඉන්දීය ජනාධිපති නිල නිවස වන “රාෂ්ට්‍රපති භවන් වෙත ගොස් ජනාධිපතිනි ද්‍රවූපදි මුර්මු හමුවීමට නියමිතව තිබිණි. මේ අතර ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමාට පැවරී ඇති බලතල අනුව කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත 17 වැනි ලෝක් සභාව (පහළ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) විසුරුවාහැරීමට ඉන්දීය ජනාධිපතිනි මුර්මු පෙරේදා (05දා) පියවර ගෙන තිබේ. මේ අනුව අගමැති නරේන්ද්‍ර සිං මෝදි ද පැරණි ලෝක් සභාවේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිනිය වෙත ප්‍රදානය කර ඇති අතර එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගෙන ඇති ජනාධිපතිනි මුර්මු නව ආණ්ඩුව පත්වන තෙක් අගමැති ධුරයේ වැඩ බලන ලෙස, මෝදි වෙත දැනුම් දී තිබේ. ඉකුත්දා පැවති ඉන්දීය මහා මැතිවරණයේ අවසන් ප්‍රතිපලයට අනුව වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගෙන සිටින ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නායක අගමැති මෝදි හෙට (08දා) අගමැති ධුරයේ දිවුරුම් දෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී ඇතත් එය මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති බව ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය විසින් ඊයේ වාර්තා කර තිබිණි. වසර 10ක් මුළුල්ලේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගෙන සිටි අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට මෙවර තනි පක්ෂයක් ලෙස බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි වී ඇත්තේ එම පක්ෂය විසින් හින්දු ආගම ප්‍රවර්ධනය කරමින් සෙසු ආගමික ජන කොටස්වලට තැනක් ලබා නොදීම, මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම, විරැකියාව හා උද්ධමනය ඉහළ යෑම ඇතුළු සාධක ගණනාවක් හේතුවෙන් බව දේශපාලන විචාරකයෝ පවසා තිබේ.

මේ අතර මෙවර මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ තේරීපත් වී ඇති මන්ත්‍රීවරුන්ද අද (07දා) විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වී තිබේ. අගමැති මෝදි විසින් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා සිය කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ඇමැතිවරයා වන රාජ්නාත් සිං, ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා හා භාරතීය ජනතා පක්ෂයේ ජේ. පී. නද්දු පත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මහා මැතිවරණය වූ ඉන්දීය මැතිවරණය අදියර හතක් යටතේ ඉකුත් අප්‍රේල් 19 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා කාලය තුළ පැවති අතර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉන්දියාවේ බිලියන 1.4ක් වන ජනගහණයෙන් මිලියන 968කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබිණි. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ඉන්දීය ජාතිකයන්ගේ සංඛ්‍යාව මිලියන 642ක් වන අතර ඉන් මිලියන 312ක් කාන්තාවන් බව අනාවරණය වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment