යතුරුපැදි දෙකක් සොරාගෙන පුංචි අම්මා බැලීමට ගිය තරුණයා රිමාන්ඩ්

90

නාවලපිටිය ප්‍රදේශයේ සිටින පුංචි අම්මා බැලීමට දඹුල්ලෙන් හා ගම්පොළින් යතුරුපැදි දෙකක් සොරාගෙන ගිය 20 හැවිරිදි තරුණයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දනී කාන්තිලතා මහත්මිය නියම කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශය පදිංචි මොහොමඩ් හසාන් අහමඩ් යන අයයි.

මොහු මේ වනවිට මුහුදු රස්සාව කරන අයකු වන අතර ළමා කාලය ගතකර ඇත්තේ නාවලපිටිය පුංචි අම්මාගේ නිවසේය.

ගම්පොළ පාසලක ඉගෙන ගෙන ඇති මොහු 10 වසර දක්වා ඉගෙන ගැනීමෙන් පසු පාසල් ගමන නිමා කර ඔට්ටමාවඩි ප්‍රදේශයේ දෙමාපියන් සමග ජීවත් ව ඇත.

පෙරේදා දින මෙම තරුණයා පුංචි අම්මා බැලීමට යැයි නිවසින් පැමිණ ඇති අතර දඹුල්ලට පැමිණීමෙන් පසු ඉන් එහාට යෑමට මුදල් නොතිබූ බව පවසයි.

දඹුල්ල විහාරය ළඟට පැමිණ ඇති ඔහු එහි තිබූ ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් සොරාගෙන ගම්පොළට පැමිණ ඇති අතර එහිදී යතුරුපැදියේ ඉන්ධන අවසන්ව ඇත.

ඒ වනවිට රාත්‍රිය පසු වෙමින් තිබීම නිසා මොහු ගම්පොළ නගරයේ ව්‍යාපාරික ස්ථානයකට පැමිණ එහි නවතා තිබූ යතුරු පැදියකින් ඉන්ධන සොරාගෙන එය රැගෙන ආ යතුරු පැදියට දමන අයුරු එහි තිබූ රහස් කැමරාවක සටහන්ව ඇත.

ඉන් පසු එතැනින් පිට වන ඔහු විනාඩි කීපයකින් යළි පැමිණ ස්කූටි වර්ගයේ යතුරුපැදිය සඟවා ව්‍යාපාරික ස්ථානයේ තිබූ යතුරු පැදිය රැගෙන පිටව ගොස් තිබේ.

ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු පසුදා පැමිණ තමාගේ යතුරුපැදිය නොමැති බව දැක වෙළෙඳ සැලේ සීසීටීවී කැමරා ද පරීක්ෂා කොට මේ බව ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

යතුරු පැදිය නැතිවී එතරම් වේලාවක් ගත වී නොතිබූ නිසා පොලිසිය යුද හමුදා වේ ද සහාය ගෙන මාර්ග බාධක කීපයක් යොදා පරීක්ෂාවට ලක් කරමින් සිට ඇත.

මේ අතර මෙම තරුණයා නාවලපිටිය පුංචි අම්මාගේ නිවසට ගොස් යළි වාලච්චේන යෑම සඳහා ගම්පොළ දොළුව මාර්ගයේ යමින් සිටිය දී එහි යොදා තිබූ මාර්ග බාධක යෙදී පරීක්ෂාවට ලක්ව ඇත.

මොහුට වලංගුව රියැදුරු බලපත් ද නොතිබූ අතර වැඩිදුර පරීක්ෂාවේ දී මෙය සොරකම් කර ඇති යතුරුපැදිය බව හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

මොහු බස් රථයක යෑමට මුදල් නොමැති නිසා මෙලෙස යතුරුපැදිය සොරාගත් බව පවසා තිබුණ ද මොහු මීට පෙර යතුරුපැදි අටක් මේ අයුරින් සොරාගෙන ඇතැයි යන තොරතුරකට ඒ පිළිබඳව පරීක්ෂණ අරඹා ඇත.

ගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක තිස්ස බණ්ඩාර, පොලිස් සැරයන් (21580) අමිත, පොලිස් කොස්තාපල් (85839) ශේවියර් හා ගම්පොළ කවුඩුපිටිය හමුදා කඳවුරේ මේජර් නාමල් චින්තක, කැප්ටන් ඉසංක පතිරණ ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ගිය ගම්පොළ – සුරංග දිල්හාන්


advertistmentadvertistment