අද අනූහතර වියට පා තබන පුවත්පත් කලාවේ දැවැන්තයා – එඩ්මන්ඩ් රණසිංහ

725

එඩ්මන්ඩ් රණසිංහ කතුවරයා සියලු ලේඛකයිනට ස්වකීය අදහස් උදහස් ඉතා විවෘතව පළ කරන්නට ඉඩකඩ වෙන් කළේ ය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ විශාල පිරිසක් නිර්මාණකරුවන් ලෙස ද පුවත්පත් කලාවේදීන් ලෙස ද සමාජයට පිවිසියේ ඒ හැම දෙනා දිරිමත් කරන්නට ඇවැසි පියවර ඔහු ගත් බැවිනි. සමාජයේ හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්නට ඔහු දෙපාරක් හිතුවේ නැත.

සිංහල භාෂාව හෙළ බොදු මහා සංස්කෘතිය, රටේ බුර බුරා ඇවිළුණු ඊනියා ජාතික ප්‍රශ්නය කෙරෙහි ඔහු බොහෝ සංවේදී විය. උතුරේ හඬ ද දකුණේ හඬ ද එක සේ තකමින් ඒ සියල්ල දිවයින ඔස්සේ බෙදා හදා දෙන්නට සිය සන්නිවේදන බලමුළු යොමු කළේ ය.

සිරිලක් වැසි පොදු මහජනයාට අතිසුවිශේෂී දවසක් සේ සඳහන් කළ හැකි තවත් එක් දිනයක් සේ 1981 වප් මහේ හෙවත් ඔක්තෝම්බර් මහේ හතර වැනිදා (04) සඳහන් කළොත් ඒ අතිශයෝක්තියක් නොවේ. එවක පැවති ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ අති මහත් විප්ලවයක්, පෙරළියක් සිද්ධ කෙරුණු දිනය සේ ඉතිහාසයට එක් වී හමාර නිසා ය. ලාංකේය පුවත්පත් පාඨකයනට ඉතා උසස් ගණයේ විශ්වවිද්‍යාලයක් බඳුව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පාඨකයන් අතට පත් කෙරුණේ 1981 ඔක්තෝම්බර් මස 04 වැනි දා යි. මෙරට හුන් අති බුද්ධිමත් ම ව්‍යාපාරිකායා සේ එකල නමක් දිනා හුන් උපාලි විජයවර්ධනයෝ දිවයින පුවත්පත ඇරඹීමට පෙරට ආහ. ඒ ඔහු විසින් ඊට ටික කලෙකට පෙර බිහිකළ සීමාසහිත උපාලි පුවත්පත් සමාගමෙන් දිවයින නම් ඒ කීර්තිමත් පත්තරේ පොදු ජනයා අතට වැඩම්ම වීම ලාංකේය පුවත්පත් කර්මාන්තයේ දැවැන්තම පෙරළිය යි. ශ්‍රී ලාංකේය පුවත් පත් කලාවේ නිම්වළලු පුළුල් කරමින් හෙළ මුද්‍රණ කර්මාන්තයේ, විප්ලවයක් ඇති වූයේ එදින යි. ඒ දිවයින ඉරිදා සංග්‍රහය මංගල කලාපය එළිදැක්වීමෙනි, ජාතික පුවත් පතක් සේ ජනදෝතට පිරිනැමීමට උපාලි පුවත්පත් සමාගමේ, එඩ්මන්ඩ් රණසිංහ ප්‍රමුඛ කර්තෘ මණ්ඩලයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකිනි.

ඒ සඳහා එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ යෝජනාව මත ඔහු දක්ෂ පුවත්පත් කලාවේදීන් දහදෙනකු එක් කර ගන්නට තරම් බුද්ධියෙන් පොහොනා ව්‍යාපාරිකයකු විය. දිවයින ඉරිදා සංග්‍රහය නිර්මාණය කිරීමේ අභියෝගය මේ ප්‍රබුද්ධ මිනිසාට මුල් පුටුව පවරණ ලද්දේ ඒ වන විට ලේක් හවුස් පුවත්පතේ සිළුමිණ කතුවරයා සේ සේවය කළ එඩ්මන්ඩ් රණසිංහ මහතාට ය. විජයවර්ධයන් තම හිතේ රැඳී ඇති සිහිනය සාක්ෂාත් කර ගන්නට මුලින් ම කතා බහේ නිරත වූයේ පුවත්පත් කලාවේදී නන්දසේන සූරියාරච්චි මහතා සමඟ යි. අනතුරුව එඩ්මන්ඩ් රණසිංහයෝ මුල් පුටුවට යෝජනා වූහ.

එඩ්මන්ඩ් රණසිංහ උපාලි විජයවර්ධනයාණන් විසින් පවරණ ලද භාරදූර කාර්යය උදෙසා ලේක්හවුසියේ ඔහු සමඟ වැඩ කළ නන්දසේන සූරියආරච්චි, උපාලි තෙන්නකෝන්, දයාරත්න රණසිංහ, ගාමිණි සුමනසේකර, ධර්මරත්න විජේසුන්දර, සුනිල් මාධව ප්‍රේමතිලක, විමල් වීරසේකර ඇතුළු තවත් ලෙක් හවුසියේ ප්‍රවීණ පුවත්පත් කලාවේදීන්, හා දවස පත්තරේ මෙරිල් පෙරේරා ද එක්ක නවදෙනකු, අලුත් පත්තරේ සාර්ථක කරන්නට අංක 223 බ්ලූමැන්ඩල් පාරේ පිහිටි, චුට්ටයි චුට්ටියි බෝඩ්එක සවිකරැති ගොඩනැගිල්ලේ, එක් කොටසක වැඩ ඇරඹූහ. ඊට එක් වූ නවක චිත්‍ර ශිල්පියා සේ බඳවා ගැනුණු ශාන්ත කේ හේරත් නම් යෞවනයා පමණි.

රණසිංහගේ හිස මත විජයවර්ධනයාණන් විසින් එදා පැවරූ කාර්ය භාරය සුළුපටු නොවී ය. මහා බරෙකිත නවතම ආරේ පත්තරයක්. ඉතින් ඒ පත්තරේ මුල් කතුවරයා සේ රණසිංහ එදා මෙදා දක්වා කළ මහා කාර්යභාරය කෙසේ මිනිය හැකි ද? ඒ එඩ්මන්ඩ් රණසිංහ අද සිය අනූහතර වැනි සැතපුම් කණුවට පිවිස සිටින වග ලාංකේය සුවහසක් දනන් වෙත අපි ඉතා තුටු පහටුව පවසා සිටින්නෙමු.

රණසිංහයෝ එවක පැවති ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත්ව මාස පහ හයකින් ගුරුවරයකු සේ සමාජයට පිවිසි අයුරු බොහෝ දෙනකු නොදන්නාහ. හේ ඉංග්‍රීසි ගුරුවරයකු සේ තුම්මෝදර ආණ්ඩුවේ පාඨශාලාවට පත්වීම් ලැබ අවුරුද්දකින් දෙකකින් විතර පත්තරකාරයකු සේ බෞතීස්ම නොවන්නට අපට රට දැය සමය කෙරෙහි ආදරයක් කරුණාවක් දයාවක් ඇති මිනිහෙක් හමුවේ ද යන ප්‍රශ්නය ප්‍රශ්නයක් ම වනු ඇත.

ඔහු මේ බිමට ජන්මදායාදය ලබන්නේ 1930 වසරේ නිකිණි මහේ 14 වැනි දා පෙරවැරු දහයයි දාහතරේ (10. 14) කණිසමේ දී ය. ඒ අවිස්සාවේල්ල, පුවක්පිටිය, තුම්මෝදර මාර්ගය අසල පිහිටි නෝනගෙ වත්තේ (Bellair state – බ්ලෙයාර් වත්තේ) පිහිටි ප්‍රධාන ලිපිකරුගේ නිල නිවහනේ දී ය. ඔහුගේ පියා දොන් අර්නෝලිස් රණසිංහ ය. මව මේරියන් වික්‍රමරත්න ය.

පියාණන් විසින් උප්පැන්නයට නම් තබන ලද්දේ දොන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ යනුවෙනි. ඒ මවගේ වාසගම ද සිහිපත් කරමිනි. එදා මෙසේ උපන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ කුමරා හෝඩි පොතේ අයනු ආයනු නමෝවිත්තියෙන් කියවන ලද්දේ පුවක්පිටිය ආණ්ඩුවේ මිශ්‍ර පාසලෙනි. අනතුරුව රත්නපුරේ ෆර්ගසන් බාලිකා විදුහලේ ද ඔහු අකුරු කොට අවුරුදු දොළහ පිරුණු පසු අවිස්සාවේල්ල සාන්ත මේරී විද්‍යාලයට ඇතුළු කෙරුණේ ෆර්ගසන් විදුහලේ දී තව දුරටත් ඉගෙනුම ලබන්නට එහි පැවති නීතියෙන් ඉඩක් කඩක් නැති වූ හෙයිනි.

තුම්මෝදර විදුහලේ ගුරුවරයකු සේ සේවය කරද්දී ඔහු ඩේලි නිවුස් පත්තරේ පුවත්පත් කලාවේදීන් බඳවා ගැනීමේ තොරතුරක් දැක්ක හේ ඊට අයදුම්පතක් යොමු කරන ලදුව ලද කැඳවීම මත සම්මුඛ පරීක්ෂයකට හා විභාගයකට පෙනී සිට ඉන් සමත්වීමෙන් ලේක් හවුසියේ යොවුන් පුවත්පත් කලාවේදියකු සේ බඳවා

ගන්නා ලද්දේ 1952 දී ය. තුන්වන පන්තියේ වාර්තාකරුවකු සේ ඔහු සේවයට බඳවා ගන්නා වග ලේක් හවුස් ආයතනයේ අබේගුණසේකර විසින් 1952 මාර්තු මහේ 21 වැනිදා දන්වන ලද්දේ මාසික වැටුප රුපියල් හැත්තෑ පහක් බව ද සඳහන් කරමිනි.

ඔහු පත්තරකාරයකු සේ ලේක් හවුසියට පිවිසෙද්දී රටේ පැවතියේ ලංකාවේ දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණ සමය යි. ඔහුට දිනපතා ඔබ්සර්වර් පත්තරේ ප්‍රධාන කතුවරයා හමුවන සේ මුල් ම දවසේ පාලනාධිකාරිය විසින් දැන්වූ වහා හේ ඔහු සොයා ගියත් කතුවරයා වෙනුවට ඔහුට හමුවුණේ, ප්‍රවෘත්ති කතුවරිය යි. ඇය අයිරා අමරසේකර මහත්මිය හේ එකල පැවති දෙවන මැතිවරණ හටනේ තොරතුරු හොයන්නට ‘ඉලෙක්ෂන් ඩෙස්ක්’ එකට යොමු කළා ය. එදා පටන් හේ ලේක් හවුසියෙන් 1970 දී ඉල්ලා අස්වන තුරු එහි පුවත්පත් ගොන්නෙහි ම නේක තනතුරු දරමින් සේවයේ නිරත වෙමින් ජනතාවට තොරතුරු කියවීමට ඉඩ හසර සලසා දුන්නේ ය.

ඔහු දෙවැනි වරට ලේක් හවුසියට එක්වන්නේ 1977 න් පස්සේ ය. ඔය අතරේ රණසිංහ සිය රට පත්තරේ කතුකම ද කළේ ය. දෙවැනි වරට ලේක් හවුසියේ පුණරාගමනයෙන් පසු විවිධ හැළහැප්පීම් වලට හේ මුහුණ පෑවේ ය. පත්තරකාරයකු සේ ඔහු හා දකුණේ මෙන්ම වම් ඉවුරේ දේශපාලනඥයන් පෑවේ දැඩි හිතවත් බවෙකි.

මෙසේ රණසිංහ සිළුමිණ කතුවරයා සේ පත්වීම් ලැබීමෙන් පසු එහි පැවති ඒකාකාරී අකුරු කිරිල්ල වෙනුවට හේ අලුත් අලුත් නිර්මාණ ඊට එක්කර පත්තරේ රසවත් ලෙස පාඨකයින් අතරට ගෙන යන්නට දිරිය ගත්තේ ය.

ඔය අතරයි ඔහුට උපාලි විජයවර්ධනයන් ගෙන් ඇරයුමක් ලැබෙන්නේ අලුත් පුවත්පතක් එළිදක්වන්නට ඔහු හා එක්වන සේ. විජයවර්ධනයන්ගේ ඇරයුම ලද වහා හේ ලේක්හවුසියේ පඩිපෙළ නැඟ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාලනාධිකාරියට භාර දුන්නේ අනාගත අපේක්ෂාවන් මල්ඵල ගන්වන්නට හොඳ තෝතැන්නක් ලද්දේ ය යන කිසියම් විශ්වාසයකිනි. තමන් අරඹන පුවත්පතෙහි සියලු කටයුතු කතුවරයා සේ රණසිංහගේ අභිමතය පරිදි කරන්නට පූර්ණ නිදහසක් ඇති වග විජයවර්ධනයාණන් විසින් ප්‍රකාශ කිරීම ඔහුගේ හිතට ලොකු දිරියක් වඩා ගන්නට හේතු විය.

රණසිංහ මේ පිළිබඳ සිය නියෝජ්‍ය කතුවර දයාසේන ගුණසිංහයන් මෙන් ම ඔහුට දැඩි හිතවත්කම් පෑ පුවත්පත් කලාවේදීන් කිහිප දෙනකු හා කතා බහේ නිරත වී ඔවුන් ද ඊට දායක කර ගන්නට තරම් දක්ෂ විය.

දිවයින ඉරිදා සංග්‍රහයේ මංගල කලාපයේ පළවූ ලිපි එකින් එක පාහේ මේ මොහොතේ පවා ලියුම්කරුගේ මනැසේ ඇඳෙන්නේ රණසිංහ මහතාට මෙන් ම එදා ඒ පත්තරේ පිටුවක් පිටුවක් පාසා ඉතා වටිනා හරබර වැදගත් ලිපි ගොන්නකින් එය සරසන්නට ඔවුන් කළ කැප කිරීම කෙබඳු දැයි යන උදාර හැඟීමෙනි.

ඒ වන විට රටේ පැවතියේ දරදඬු ඒකාධිපති ස්වරූපයේ පාලනයකි. දවසක වැටුප රුපියල් දහයකින් පඩිපත වැඩි කරන්නා සේ 1980 ජූලි 18 වැනිදා ලාංකේය සංවිධානාත්මක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් ඇරඹූ වැඩ වර්ජනය මර්දනය කරමින් පාලකයන් ඔවුන් හැඳින්වූයේ සේවය හැරදා

ගියවුන් ලෙස යි. රටේ පැවති ඊනියා ජාතික පුවත්පත් සියල්ල මේ වර්ජකයන් සේවය හැර ගියවුන් සේ සලකද්දී දිවයින ඉරිදා සංග්‍රහය කලඑළි බැස්සේ “හතළිස් දහසකගේ ඛේදවාචකය” දැවැන්ත හිසකින් උපාලි තෙන්නකෝන් ලිපියක් ලියමින් 1980 ජූලි මහා වැඩ වර්ජනයට එක්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ශෝචනීය කතන්දරය රටට කියමින් පාලකයන්ගේ කුරිරුකම, සැහැසිකම නිර්භයව කතා කරන්නට ඉදිරිපත් වීම නිසා දිවයින පුවත් පත කලඑළි බැස්සේ ජනතා ප්‍රසාදයක් මහත් සේ ලබා ගනිමිනි.

එඩ්මන්ඩ් රණසිංහ කතුවරයා සියලු ලේඛකයිනට ස්වකීය අදහස් උදහස් ඉතා විවෘතව පළ කරන්නට ඉඩකඩ වෙන් කළේ ය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ විශාල පිරිසක් නිර්මාණකරුවන් ලෙස ද පුවත්පත් කලාවේදීන් ලෙස ද සමාජයට පිවිසියේ ඒ හැම දෙනා දිරිමත් කරන්නට ඇවැසි පියවර ඔහු ගත් බැවිනි.

සමාජයේ හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්නට ඔහු දෙපාරක් හිතුවේ නැත.

සිංහල භාෂාව හෙළ බොදු මහා සංස්කෘතිය, රටේ බුර බුරා ඇවිළුණු ඊනියා ජාතික ප්‍රශ්නය කෙරෙහි ඔහු බොහෝ සංවේදී විය. උතුරේ හඬ ද දකුණේ හඬ ද එක සේ තකමින් ඒ සියල්ල දිවයින ඔස්සේ බෙදා හදා දෙන්නට සිය සන්නිවේදන බලමුළු යොමු කළේ ය.

සමාජයේ පවතින සෝදාපාළුවට පිළියම් සොයන්නට ඔහු සිය නායකත්වය යොමු කළේ ය. මෙවන් උදාර ගුණැති පුවත්පත් කලාවේදියකු නොවන්නට අද අළු ගසා දමා සමාජයේ සිවිල් බලයක් උරුම කර ගත්තු දේශපාලන නායකයන් ද කලඑළියට නො එනු ඇත.

රණසිංහයෝ දැවැන්තයෙකි. හේ උසට කැපෙන මහතින් යුත් උත්තුංග දේහධාරියෙකි. ප්‍රතාපවත් පෙනුමැත්තෙකි. නිසි තැන නිසි සේ නායකත්වයට සුදුසුකම් ඇත්තන් ඉදිරියට යවන්නට ඇවැසි පියවර හේ නිබඳව ම ගත්තේ ය. මෙවන් දැවැන්ත මිනිසකු යටතේ පුවත්පත් කලාවේදියකු සේ දෙපා නඟන්නට අපට ද අපේ දැනුම වඩා ගන්නට හැකියාව ලැබීම මොන තරම් භාග්‍යයක් ද

ඔහු ගැන මෙවන් කෙටි ලිපියකින් කෙසේ නම් කතා කරන්න ද? කෙසේ හෝ වේවා පුවත්පත් අතර ඔහුගේ මඟ පෙන්වීම යටතේ බිහි වූ දිවයින ඉරිදා සංග්‍රහය, දිනපතා දිවයින මෙන් ම විදුසර විද්‍යා පුවත්පතත්, නවලිය කාන්තා පුවත්පතත් කලඑළියේ ජනතාව ඥානනය කරන්නට ගන්නා වෙහෙස ඔහු විසින් රටට දැයට සමාජයට ලබා දුන් මාහැඟි දායාදයන් නොවේ ද?

එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහයාණෙනි !

චිරං ජයතු !

● සුගතපාල මැන්දිස්

advertistmentadvertistment
advertistmentadvertistment