යශෝ මාර ගැහැනියක් – කැලුම් ගම්ලත්

228

මහත්තයා නාද බෑන්ඩ් එකේ
අවුරුදු දෙකක බබෙක් ඉන්නවා

ඩබ්. ජයසිරි අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ‘මුරුගසං’ ටෙලි නාට්‍ය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනියේ විකාශනය වෙනවා. මුරුගසං ඩබ්ලිව් ජයසිරිගේ පළමු අධ්‍යක්‍ෂණය. මෙහි යශෝගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා කැලුම් ගම්ලත්. යශෝ කියන්නේ ටිකක් අභියෝගාත්මක චරිතයක්. ඉතින් මේ යශෝ ගැන කැලුම් සමඟ පුංචි සංවාදයක යෙදුණා. මේ එහි පෙළගැස්මයි.

කැලුම්ට යශෝගේ චරිතයට ආරාධනාව ලැබුණේ කොහොමද?

මේ ටෙලි නාට්‍යයට රංගනයෙක් දායක වෙන ආලෝක සම්පත් තමයි මගේ නම ඩබ්ලිව්. ජයසිරි අයියට යෝජනා කරලා තිබුණේ. ඒ අනුව තමයි මට යශෝගේ චරිතයට ආරාධනා ලැබුණේ.

යශෝ මාර ගැහැනියක් - කැලුම් ගම්ලත්

පිටපත අතට ලැබුණට පස්සේ මොකද හිතුනේ

එක හුස්මට කියවාගෙන ගියාට පස්සේ මේක කරන්න බැහැ කියන වගේ හැඟීමක් ආවා. පිටපතේ තිබුණ සමහර දර්ශන මගේ සීමාවෙන් පිටත දර්ශන. අන්තිමට මම සැමියත් සමඟත් කතා කරලා මම කැමැති නම් එයාගේ විරුද්ධත්වයක් නැති තැන එයා ඉන්නේ. කොහොම හරි මගෙ සීමාවත් කිව්වහම ඒකට ජයසිරි අයියා එකඟ වුණා.

යශෝ වගේ චරිත ඔබට හමුවෙලා තිබෙනවද?

ටෙලි නාට්‍ය වලදී නම් මට මේවාගේ චරිතයක් හමුවෙලා නැහැ. පළමු වතාවට තමයි පුංචි තිරයේදී යශෝව මුණගැහුනේ. හැබැයි වේදිකා නාට්‍යවලදී නම් මට යශෝ වගේ චරිත හමුවෙලා තිබෙනවා. අසංක සායක්කාරගේ මං කෙලින් මින්හෙක්. ඒ වගේ වේදිකා නාට්‍යයක්. මම කොහොමත් අභියෝග භාර ගැනීමේ කැමැත්තක් තියෙනවා.

ඩබ්ලිව්. ජයසිරි සමඟ වැඩ කරන්න ලැබීම ගැන මොකද කියන්නේ.

ඒක මට හරිම විශේෂ දෙයක්. ජයසිරි අයියව මට මීට කලිනුත් මනෝරත්න සර්ගේ නාට්‍යවල මුණගැසිලා තිබෙනවා. ඔහුගෙන් මේ ලැබුණු ආරාධනාව ගැන ඇත්තටම සතුටුයි.

යශෝ ඔයාගේ හිතට දැනුනේ කොහොමද?

යශෝ කියන්නේ මාර ගැහැනියක්. පොඩි වයසක ඉඳලා එයා ලොකු සැළසුමක ඉන්නේ. එයාට පුළුවන් ඕනෑම කෙනෙක් පාලනය කරන්න. සමහර අවස්ථාවලදී තමන්ගේ වචනයෙන් ඕනැම පිරිමියකු ගන්න තීරණ වෙනස් කරන්න පුළුවන් ශක්තිමත් ගැහැණියක්. හැමෝටම මම කියන්නේ යශෝව කියවන්න කියලා. අඩු වැඩි වශයෙන් අපිට ඕනෑ තරම් යශෝ වගේ චරිත මේ සමාජයේදී මුණගැසෙනවා.

කැලුම් වැඩිපුර සම්බන්ධ වේදිකාවට?

ඔව්. මගේ පාසල කුරුණෑගල මලියදේව බාලිකාව. ඉස්කෝලෙ යන කාලේ ඉඳලා නර්තනය, නාට්‍ය කියන ඔක්කොම කළා. කැටවල මිස් හින්දයි ඩ්‍රාමා කරන්න පටන් ගත්තේ. මම ගියෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට. ඒ කාලෙත් වේදිකාවට සම්බන්ධයි. ඊට පසුවත් වේදිකාවේ වැඩ කරනවා.

යශෝ මාර ගැහැනියක් - කැලුම් ගම්ලත්

මේ ඔබේ පළමු ටෙලි නාට්‍ය රංගනයද?

නැහැ. මීට කලිනුත් මම ටෙලි නාට්‍යය හතරක විතර රඟපාලා තිබෙනවා. පළමු එක සොඳුරු දඩයක්කාරයා. ඊට පසුව මංසලා.

කැලුම් මේ ආපු ගමන ගැන ආපසු හැරී බැලුවොත්?

හරිම සතුටුයි. සාමාන්‍යයෙන් මම කරපු දේවල් ගැන පසුතැවෙන චරිතයක් නෙමෙයි. මට වේදිකාවේදී විවිධ චරිත ලැබිලා තිබෙනවා. පසුගිය කාලයේ මම වැඩ කළේ නැහැ. අවුරුදු තුනහමාරක් විතර මම එහෙම ලොකුවට වැඩක් කරලා තිබුණේ නැහැ. විරාමයෙන් පසුව පළමුවෙන්ම රඟපෑවෙ ජයසිරි අයියගේ මුතුවරුෂා වේදිකා නාට්‍යයේ.

මිනි සීරියස් කන්සෙප්ට් එක ගැන කතා කළොත්?

මම ඒකට එකඟයි. අවුරුදු ගාණක් යන මෙගා ටෙලි නාට්‍යවලට වැඩිය මේක හොඳයි කියලා. මට හිතනවා මොකද බලන මිනිසුන්ටත් ලේසියි වැඩ කරන අයටත් පොඩි පහසුවක් තිබෙනවා. ඒක ප්‍රේක්ෂකයාටත් සාධාරණයක්.

මේ වෙනකොට කැලුම්ගේ වෘත්තිය?

මගේ වෘත්තිය රංගනය නෙමෙයි. මම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන්නේ.

රස්සාවයි රඟපෑමයි පටලවා ගන්නෙ නැතිව කරන්න පුළුවන්ද?

මට එහෙම අත්දැකීමක් නැති හින්ද ඒ ගැන උත්තරයක් දෙන්න බැහැ. නමුත් මේ නාට්‍යයේ රඟපාද්දි නම් මට කිසිම හානියක් වුණේ නැහැ.

ඔබ වැඩිපුර කැමැති වේදිකාවටද? ටෙලි නාට්‍යවලටද?

වේදිකාවට.

වේදිකාව නිදහස් කියලා හිතනවද?

නිදහසක් නැහැ. ඒක මීට වැඩිය හරි රිස්ක්. එක පාරක් වැරදුනොත් ආපහු ඒක කරන්න බැහැනේ. හැබැයි ටෙලි නාට්‍ය කලාවෙ එහෙම නෑ. වේදිකාවට වෙනම හැකියාවක් තියෙන්න ඕනෑ. වේදිකාවේ වැඩක් කළහම එතැන ජීවත්වෙනවා කියලා දැනෙනවා.

රංගනයේදී සැමියාගෙන් ලැබෙන සහයෝගය

ඒක විශාල සහයෝගයක්. දැන් මට අවුරුදු දෙකක බබෙක් ඉන්නවා. මහත්තයා නාද බෑන්ඩ් එකේ ප්ලුට් සෙක්සෆෝන් ප්ලේයර්. එයත් මේ ක්‍ෂේත්‍රයේම නිසා මම රඟපානවට එයා කැමැතියි. අපි දෙන්නා හම්බවෙන්නේ සරසවියේ නිසා එහෙම බාධා තහනම් නැහැ.

නාද කියන්නේ ලංකාවේ ජනප්‍රිය බෑන්ඩ් එකක්?

ඔව්. සතුටුයි ඒ ගැන. එයා කැම්පස් එකේ මියුසික් ෆැකල්ටියේ. මම ඩ්‍රාමා. අපි හම්බවෙන්නේම ඒ ටික දැනගෙනනේ. එතකොට මට එයාවත් එයාට මාවත් වෙනස් කරන්න වුවමනා වුණේ නැහැ. එයා යන ගමන ගැන මට මාර සතුටුයි.

දිනේෂ් විතාන
ඡායාරූපය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment