ශෂිට දුන් දඩුවම

5597

ඇප ඉල්ලන අභියාචනය සලකා බැලීම 30 වැනිදා

විධිමත් ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිත්‍යානුකූල බලයක් නොමැතිව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය කරනු ලැබූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන උදයන්තී රණසිංහ හෙවත් ශෂී වීරවංශ මහත්මියට පූර්වගාමී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (27 දා) බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කළේය.මෙම අනිවාර්ය සිර දඬුවමට අමතරව චූදිතට රුපියල් ලක්‍ෂයක දඩයක් ගෙවීමටද නියම කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක අමතර සිරදඬුවම් ලබා දීමටද නියෝග කළේය.සැකකාරියට එරෙහිව ගොනු කර ඇති එම චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට අධිකරණය නිගමනය කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමැතූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙය චේතනාන්විතව සිදු කළ වංචනික ක්‍රියාවක් වන බැවින් එවැනි වැරදි සිදු කරන සෙසු පිරිසට ද පාඩමක් ඉගෙනගත හැකි අයුරින් උපරීම දඬුවම් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.සිය සැමියා දැරූ ඇමැති පදවියේ නිල බලය හා දේශපාලන බලය යොදාගනිමින් එම වංචනික ක්‍රියාව සිදු කර ඇති බවත් ඒ සඳහා එවකට අදාළ අංශවල ප්‍රධානීන් ලෙස කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එබැවින් අධිකරණයේ එම තීන්දු ප්‍රකාශය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසූ පරිදිම එම ක්‍රියාවලියේ දී රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලයට නතුව අයුතු ලෙස කටයුතු කර ඇති බව තම අධිකරණයට ද පෙනීයන්නේ යැයි සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වාදුන් මහෙස්ත්‍රාත්වරයා සුදුසු කටයුතු සඳහා තීන්දුවේ සහතික පිටපතක් රාජ්‍ය පරිපාලන අමා්‍යාංශයේ ලේකම්වරයා වෙත යවන ලෙසටද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.එම ගමන් බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී එල්ල වී ඇති දේශපාලන බලය කොතෙක්ද යත් පැවසුවහොත් එක් දින සේවය යටතේ ඉල්ලුම් කළ එම ඉල්ලුම්පත්‍රය සඳහා අවශ්‍ය මුද්දර පවා ලබා දී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් බවත් විනාඩි කිහිපයක් හෝ පෝලිමක නොසිටි සැකකාරියට පැය කිහිපයක් ඇතුළතදී බල පත්‍රය ලබාදී ඇති බවත් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය.එම සැකකාරිය අවිවාහක දරුවන් දෙදෙනකුගේ මවක් වන බැවින් හා පසුගිය 09 දා රටේ ඇතිවූ කලහකාරී සිදුවීම්වලදී ඇගේ නිවස ගිනිතබා විනාශ කොට ඇති බැවින් සිර දඬුවම් නියම නොකර ලිහිල් දඬුවමක් නියම කරන්නැයි සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලාසිටි නමුත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

කූඨ ලේඛන ඉදිරිපත් කර නීති විරෝධී අන්දමින් ජාතික හැඳුනුම්පත් තබා ගැනීම ඇතුළු චෝදනා යටතේ එම සැකකාරියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තවත් නඩුවක් මෙම අධිකරණය හමුවේ පවරා තිබු අතර වැඩිදුර විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.දේශපාලන බලය ගිලිහී යෑමෙන් අනතුරුව දේශපාලන පළිගැනීමක් ලෙස සිය සේවාදායිකාවට එරෙහිව නඩු පවරා ඇති බවට විත්ති පාර්ශ්වය පෙන්වා දී ඇතත් එවැනි කරුණක් තම අධිකරණයට පෙනී නොයන්නේ යැයිද මහෙස්ත්‍රාත්වරයා එමගින් වැඩදුරටත් පැවසීය.2010.09.13 දා සහ 2015.02.26 වැනිදා අතර කාලයේදී එම වරද සිදුකිරීමෙන් ආගමන සහ විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදු කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත වික්‍රමසිංහ මහතා අධිකරණයට කළ පැමිණිල්ලක් අනුව මෙම නඩු විභාගය පැවැත්විණි.මේ අතර පූර්වගාමි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ශෂී වීරවංශ මහත්මියට නියම කළ සිර දඬුවම් ඇතුළු දණ්ඩනයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බැවින් එම කොන්දේසියට යටත්ව ඇය ඇප මත මුදා හරින ලෙස ඉල්ලා නීතිඥ ආර්. ඒ. වී. රණවක මහතා ගොනු කළ ඇප ඉල්ලීමේ අභියාචනාව සලකා බැලීම සඳහා ලබන 30 වැනිදා කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා ඊයේ පස්වරුවේ නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment