කුමන බාධා ආවත් “සැමට පානීය ජලය” වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අඛණ්ඩව කැප වෙනවා

29

ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන්

සැමට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ සාක්ෂාත් කරගැනීම සඳහා රජය අඛණ්ඩව කැපව කටයුතු කරන බවත් කුමන ආකාරයේ බාධක පැමිණියද එම වැඩපිළිවෙළ නොනැවතී ඉදිරියට ක්‍රියාත්මක කෙරෙන බවත් ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා සඳහන් කළේය.

වැටී තිබූ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදක්නා නුවණ සහ පරිණත බව ඉවහල් වූ බව කියා සිටි හෙතෙම වත්මන් රජය ජනප්‍රිය තීන්දු වෙනුවට රට හරි මගට ගැනෙන තීන්දු ගෙන ඇති බවද කීවේය.

ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා

පසුගියදා එම අදහස් පළ කළේ ලෝක ජල දින ජාතික උත්සවය රත්මලානේ පිහිටි ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශේෂ මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදීය.

මෙවර ලෝක ජල දින තේමාව “සාමය සඳහා ජලය” යන්න වේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත දෙසුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්. ටී. ධර්මරත්න මහතා සිදු කරනු ලැබීය.

ලෝක ජල දිනය නිමිත්තෙන් පාසල් සිසුන් සඳහා සංවිධානය කළ චිත්‍ර, රචනා, වේදිකා නාට්‍ය වැනි තරගවලින් ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදාදීම ද මෙහිදී සිදු විය. එමෙන්ම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වසර 25කට වැඩි කාලයක් සේවය කළ සේවකයන් අගයමින් සමරු තිළිණයක් ලෙස රන් කාසියක් ප්‍රදානය කිරීමත්,

පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ (්3) ලබාගත් සේවකයන්ගේ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමත් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද කීවේය.

අපි ජලය අතින් පොහොසත් රටක්. නමුත් අප සතු ජලය අපි කෘෂිකර්මාන්තය, වාරි කටයුතු, විදුලිය නිපදවීම ඇතුළු අවශ්‍යතා ගණනාවකට භාවිතා කරනවා. අපිට ජලය සම්බන්ධයෙන් වූ කාරණයේදී මූලික ගැටලු ගණනාවක් තිබෙනවා. නිදසුනක් ලෙස ජලය අධි පරිභෝජනය, අඩු තක්සේරුව වගේම ජල දූෂණය පෙන්වා දෙන්න පුළුවන්. ඉදිරි පරම්පරාව වෙත ජලය

රැක ගන්න නම් අපි සියලු දෙනා අප හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දෙන්න ඕනා.

අරගලය සමයේදී ඇතිවූ තත්ත්වයන් ඇතුළු කරුණු කාරණා ගණනාවක් නිසා රට අද ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. එවන් තත්ත්වයක් හමුවේ වුවද ජල සම්පත රැකගනිමින් එය ජනතාව වෙත ලබාදීමටත් ඉදිරි පරම්පරාව වෙත සුරක්ෂිත කිරීමටත් රජයක් ලෙස අප උපරිමයෙන් කටයුතු කරමින් තිබෙනවා.

2009 වසරේ යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී ඇති තැන අපි දේශපාලන සහ ආර්ථික අර්බුදයක සිටින්නේ.

රට පවතින අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුර දක්නා නුවණින් යුක්තව කටයුතු කරමින් සිටිනවා. පසුගිය දෙවසර තුළ රට වැටී තිබූ අගාධයෙන් අප මේ වන විට යම්තාක් දුරට එතෙර වී ඇති බව කියන්න ඕනා. ඒ වත්මන් ජනාධිපතිවරයාගේ පරිණත බව හා දුරදක්නා නුවණ නිසයි. ජනප්‍රිය තීන්දු ගන්නවා වෙනුවට රට හරි මගට ගැනීමට අවශ්‍ය තීන්දු රජය ගෙන තිබෙනවා. එහිදී රටේ සාමාන්‍ය ජනතාව විඳින ගැහැට සම්බන්ධයෙන් අපට අදහසක් තිබෙනවා. මේ සියලු තත්ත්වයන්ටම ඉදිරියේදී නිසි විසඳුම් ලබාදීමට රජයට හැකිවන බව ස්ථීරයි.

රටේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් නිසියාකාරව කරගෙන යාමට අප කටයුතු කරනවා. මෙවන විට සියයට 60 ක් පමණ පවතින නළ ජල සබඳතා ඉදිරියේදී සියයට අනූපහක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය සැලසුම් අප ක්‍රියාත්මක කර තිබෙනවා. ජලයේ ගුණාත්මකභාවය රැකගනිමින් වැඩි

පාරිභෝගික පිරිසක් වෙත ජලය ලබාදීම අපගේ ඒකායන අරමුණයි. ඒ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ප්‍රජා ජල සම්පත් දෙපාර්තමේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය ඉතා හොඳ කාර්යභාරයක් සිදු කරනවා.

මෙහිදී වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ. සී. එම්. නෆිල්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී රුවන් ලියනගේ යන මහත්තුරු ද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – තනුජ ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment