රග්බි අවසන් වටයට මහනුවර, සී.ආර් ඇන්ඩ් එෆ්.සී සහ හැව්ලොක්ස් – නාවික හමුදාව ද ආසන්නයේ

185

මෙරට ප්‍රමුඛතම ලීග් රග්බි තරගාවලියේ තීරණාත්මක අවසාන වටයට අවතීර්ණ වීමට මහනුවර සමාජය, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. සමාජය සහ හැව්ලොක්ස් සමාජය හැකියාව ලැබිණි.

සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල සහ යුද හමුදාව අතර ඊයේ (29දා) පැවති තරගයේ ප්‍රතිඵලයට වඩා ඉකුත් සිකුරාදා (27දා) සවස ගුවන් හමුදාව පරාජයට පත් කරමින් ලත් ජයග්‍රහණයේ පිහිට මත නාවික හමුදාවට “කුසලාන” වටයට පිවිසීමේ අවස්ථාව බොහෝ දුරට හිමිවීමට නියමිතය.

සුපුරුදු පරිදි මෙවර තරඟාවලියේ දෙවන හා අවසන් වටය ද කණ්ඩායම් 04 ක් අතරේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ. ඒ ලබන සති අන්තයේ සිටය.

එහිදී හිමිකර ගන්නා ලකුණු සහ මූලික වටයේදී රැස් කර ගන්නා ලද ලකුණුවල එකතුව මත මෙවර ලීග් ශූරයින් තීරණය කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා සමාජ 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මූලික වටයේ එකම අපරාජිත පිල බවට පත් වෙමින් තම 07 වැනි ජයග්‍රහණය සටහන් කර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය ඉකුත් සෙනසුරාදා (28දා) සමත් විය.

එමෙන්ම, පොලිසිය සහ නාවික හමුදාව ද අපේක්ෂිත දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණ අත් කර ගැනීමට සමත් විය.

මහනුවර පිල පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සමත් වන අතරවාරයේ අතිශය සටන්කාමිත්වයක් ප්‍රදර්ශනය කරමින් පොලිසිය සහ නාවික හමුදාව ජය සටහන් කර ගැනීම මෙම සති අන්තයේ කැපී පෙනුණේය. මෙහිදී හැව්ලොක්ස් සමාජය ලකුණු 35 – 15 කින් පරාජය කරන්නට මහනුවරට හැකි විය. පළමු අර්ධය නිමා වන විට ලකුණු තත්ත්වය 22 – 03 කි. ගෝල් දිනුම් 03 උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 03 මගින් ලකුණු පුවරුව ඉහළ නංවන්නට මහනුවර සමත් වූ අතර හැව්ලොක්ස් සමාජයේ ලකුණු එකතුව ගෝල් 01, උත්සාහක 01 සහ දඬුවම් පහර 01 ආශ්‍රිතව සටහන් විය.

සී. එච්. ඇන්ඩ් එෆ්.සී. සමාජයෙන් එල්ල වූ පීඩනකාරී අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ලකුණු 27 – 22 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට පොලිසිය සමත් විය.

පළමු භාගය නිමා වන විට ලකුණු 17 – 09 ක් ලෙස පොලිසිය පෙරමුණ ගත්තේය.

අතිශය තියුණු තරගයකින් ඉක්බිතිව නාවික හමුදාව හමුවේ ගුවන් හමුදාව ලකුණු 32 – 31 කින් පරාජය ලැබීම කැපී පෙණුනු කාරණවකි.

ප්‍රථම භාගය අවසාන වන විට ලකුණු 17 – 10 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නට ගුවන් හමුදාවට හැකි වුවත් දෙවන භාගයේ අවසන් මිනිත්තුවේදී නාවික හමුදාව සටහන් කළ උත්සාහක දිනුම හමුවේ පරාජය ලැබීමට සිදු විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment