මහරගම නගර සභාපතිගේ වාහනයේ ටයර් කැපූ සුළු පරිපාලක රිමාන්ඩ්

82

මහරගම නගර සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ නිල රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතළ අලාභහානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නගර සභාවේම සුළු පරිපාලකවරයකු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු බව මහරගම පොලිසිය පවසයි.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ 46 හැවිරිදි නුගේගොඩ පදිංචි පුද්ගලයෙකි. සැකකාර සුළු පරිපාලකවරයා සහ සභාපතිවරයා අතර පැවැති මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙය සිදුකර ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

නගර සභාපතිවරයාගේ කැබ් රථය මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට නවතා තිබියදී සැකකරු රථයේ වම්පස පිහිටි පසුපස රෝදයට හා ඉදිරිපස රෝදයට තියුණු ආයුධයකින් අනින ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්වී තිබේ.

මෙම සිද්ධිය වන අවස්ථාවේ කැබ්රථ රියැදුරු ද ඒ තුළ සිට ඇති අතර ඔහුට නින්ද ගොස් තිබූ බව පැවසේ. තමාට කුමක් වූවාදැයි මතක නැති බවත් ඒ අවස්ථාවේ තමා බීමත්ව සිටි බවත් සැකකරු පැවසූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී. සී. රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. අසංක පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන්වන අස්මි (46934), කමල්සිරි (50007), පොලිස් කොස්තාපල්වරුන් වන සමරසිංහ (92521), රත්නායක (71021), මධුසංඛ (94530) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එස්. ඩී. අබේසිංහ -මහරගම සහ තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment