රෑට හයර් දුවලා උදේට රඟපෑවා – ආලෝක සම්පත්

162

අදටත් ගමන බස් එකේ

මාලි සහ අමරපාල කියන චරිත දෙක ටෙලි නාට්‍ය ප්‍රේක්‍ෂකයන්ට දැන් අලුත් නැහැ. මේ චරිත දෙකටම පණ දෙන්නෙ එක්කෙනෙක්. ඒ ආලෝක සම්පත්. ත්‍රිකුණාමලයේ ඉඳන් කොළඹ ඇවිත් නළුවෙක් වෙන්න කාපු කට්ට ගැන ආලෝක මතකය අවදි කළේ මේ විදිහට.

● සර්කස්කාරයෝ හි ‘මාලි. සහ මුරුගසං හි ‘අමරපාල. චරිත දෙක ගැන ඔබේ අදහස මොන වගේද?

සාමාන්‍යයෙන් මම චරිතයක් ගැන පිටපතෙන්” රඟපෑමෙන් පසු නැවත නැරඹීමෙන් වගේම ප්‍රේක්‍ෂක ප්‍රතිචාරවලින් තමයි මට දැනෙන දේ විග්‍රහකරගන්නෙ. සර්කස්කාරයෝ සහ මුරුගසං යන දෙකම බලන ඕඩියන්ස් එකක් හම්බ වුණාම ඔවුන් සමග කතාකරද්දි කියන දෙයක් තමයි” ඔයාගෙ අපි දැක්ක හාත්පසින්ම වෙනස් චරිත දෙකක් තමයි මේ නාට්‍ය දෙකේ තියෙන්නෙ කියල. එකම කාලයක විකාශය වන නිසා ඒ චරිතාංග බව ඔවුන්ට දකින්න පුළුවන් වෙලා තියෙනව.

රෑට හයර් දුවලා උදේට රඟපෑවා - ආලෝක සම්පත්

● අමරපාල ගැන විශේෂ ප්‍රතිචාරයක් තියෙනවද?

මං හිතන්නෙ ඉතාමත් ඉක්මණින් මිනිස්සු අමරපාලව අල්ලා ගත්තා. එහෙම වුණේ මම ඒකාකාරී චරිතවලින් මිදුන නිසා. නළුවෙක් හැටියට මම කැමති චරිතාංග නළුවෙක් වෙන්න. එහෙම වෙන්න නම් විවිධ චරිත ලැබෙන්න ඕන. ඒ ලැබෙන චරිත තුළ මට පුළුවන් ඇත්තටම මම චරිතාංග නළුවෙක් වෙන්න සුදුසුද” තවදුරටත් හදාරන්න ඕනෑද කියන ස්වයං විවේචනය මා තුළ ඇතිකරගන්න. ඒ වගේම ප්‍රේක්‍ෂකයන් තුළට ගියාම ඔවුන් කොහොමද ඒක වැළඳ ගන්නෙ කියන දේ තුළිනුත් මට යම් අදහසක් ගන්න පුළුවන්. එහෙම බලනකොට මගේ ජීවිතයේ මෙතෙක් රඟපෑ චරිතවලින් මට ලැබුණ වෙනස්ම චරිතයක් තමයි අමරපාල කියන්නෙ. ඒ වෙනුවෙන් ඩබ්ලිව්. ජයසිරි සහ නිමල් කැටපේආරච්චි යන මහත්වරුන්ට ස්තූතිවන්ත වෙන්න ඕන.

● වේදිකාවේ වැඩකටයුතු කොහොමද?

මේ කාලවකවානුවේ වේදිකා නාට්‍ය ගමට යනවා සහ ඒ වෙනුවෙන් ලොකු ප්‍රේක්‍ෂකාගාරයක් හැදිල තියෙනව. නමුත් අවාසනාවකට මම රඟපෑමෙන් එකතු වුණ කිසිම වේදිකා නාට්‍යයක් මේ වන විට වේදිකාගත වෙන්නේ නැහැ. ඒකට වෙන වෙන හේතුත් තියෙනව. ලංකාවේ වේදිකා නාට්‍ය කොළඹින් පිටට යන්නෙ රැල්ලක් එක්ක. ඒ කියන්නෙ මේ මොහොතේ වැඩිම දර්ශන වාර ගණනක් වේදිකාගත කරන නාට්‍යයට තමයි ඉල්ලුම තියෙන්නෙ. ඒකට සාධක ගොඩක් තියෙනව. නාට්‍යයේ චරිත” ඒවාට පණ පොවන නළු නිළියන්ගේ ජනප්‍රිය බව වැනි කරුණු වැදගත් වෙනව.

රෑට හයර් දුවලා උදේට රඟපෑවා - ආලෝක සම්පත්

● මේ වන විට ඔබේ වෘත්තිය රංගනයද?

ඔව්” මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. ඊට අමතරව ත්‍රිකුණාමලයේ ‘ආස ඇක්ටින් ස්කූල්. නමින් රංගන පාසලක් පවත්වාගෙන යනව.

● මේ රංගන පාසල ආරම්භ කරන්න විශේෂ හේතුවක් තියෙනවාද?

ඔව් තියෙනව. මෙහෙමයි” මම ත්‍රිකුණාමලයෙන් කොළඹ ආවා. නමුත් ඒ ගමනට කවුරුවත් උදව් කළේ නැහැ. මගේ පාසලේ ගුරුවරයා වුණේ උපනන්ද වැලිකල. එතුමා එක්ක පාසලේ නාට්‍ය කළත් එතැනින් පස්සෙ මේ ගැන වැඩිදුර හදාරන්න කොළඹ ජාතික තරුණසේවා සභාවට එන්න සිද්ධ වුණා. නමුත් මගෙන් පස්සෙ කන්තලෙන් වත්” ත්‍රිකුණාමලයෙන්වත් කවුරුවත් කොළඹට ආවේ නැහැ. මං වගේම ඉදිරියට යන්න තව කෙනෙකුට අත දෙන්න තමයි මම මේ පාසල ආරම්භ කළේ.

● කොළඹ ජීවිතේ පහසු නොවෙන්න ඇති?

ඇත්තටම මගේ ඥාතීන්” සහෝදරයන් කවුරුවත් කොළඹ හිටියෙ නැහැ. යාළුවෙක් හිටියෙ නැහැ. ඒ නිසා මට ඉන්න හිටින්න තැනක්වත් තිබුණෙ නැහැ. කොළඹ ඇවිත් ජීවත් වෙන්න විදියක් නැතිවෙනකොට මට රැකියාවක් කරන්න සිද්ධ වුණා. එතනදි මම ත්‍රීවීලර් එකක් හයර් කරන්න පටන්ගත්තා. රෑට හයර් දුවලා උදේට නාට්‍යවලට සහභාගී වෙනව. ඉන් පස්සෙ කාලයත් එක්ක ජාතික තරුණසේවා සභා නාට්‍ය පාසලේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා.

● නැවත ගමේ යන්න හිතුන අවස්ථා නැද්ද?

කන්තලේ ගිහින් වගා කරන්න බිම් අඟලක්වත් මට නැහැ. ඉතිං ගමේ යන්න හිතුනත් ගිහින් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මම ම උත්සාහයෙන් දියුණු වෙන්න ඕනා කියන දේ පොඩි කාලෙ ඉඳන් මට දැනුණා. ඒ වෙනුවෙන් මම තෝරාගත්තෙ රංගනය.

● හයර් දුවපු කාලේ මොන වගේ අත්දැකීම්ද ඔබ ලබන්නෙ?

ටෙලි නාට්‍ය විකාශය වන කාලෙත් මට හයර් යන්න සිද්ද වුණා. මං එක්ක හයර් යන අය මාව හඳුනාගන්නව. එවැනි සමහර අවස්ථා හරි වේදනාකාරීයි. නමුත් මම අතහැරියෙ නැහැ.

පාසල් කාලය ගැන මතක් කළොත්?

පාසල් යන කාලයේ මම වේදිකා නාට්‍ය කළා. සමස්ත ලංකා හොඳම නළුවා වුණ දවසෙ ලංකාවේ අපි දන්නෙවත් නැති ලොකු ලොකු පාසල්වල ළමයි ලොකු පිරිසක් එක්ක එයාලගෙ බස්වලින් ඇවිත් බැහැල නාට්‍ය තරඟයට හෝල් එකට එනව. අපි අපේ ගුරුවරයාත් එක්ක කන්තලේ ඉඳන් රෑ කෝච්චියෙන් ඇවිත් උදේ පාන්දර පහට ස්ටේෂන් එකෙන් බැහැල ඒ තියෙන ටැප් වලින් මූණ හෝදගෙන නාට්‍ය තරඟයට යනව. එතනදි ඒ නාට්‍ය රඟපානව” හම්බවෙන දෙයක් කනව. එහෙම කරල එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා අතින් හොඳම නළුවා සම්මානය ගනිද්දි මට හිතුණා මේක දිනන්න පුළුවන් වැඩක් කියල.

● ළඟදි ගමේ ගියාද?

මගේ තාත්තා ගිය මාසයේ මිය ගියා. අවසන් වරට මම ගමේ ගියේ මළගෙදරට. ඊට අමතරව ගමේ විශේෂ දෙයක් තිබුණොත් මට ආරාධනයක් එනව.

● මොනවද ඉදිරියට එන්න තියෙන නිර්මාණ?

අසංක සායක්කාර ලියන ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගෙ ‘ඇතුල්වීම තහනම්. ටෙලි නාට්‍යයේ චරිතයකට ආරාධනයක් ලැබිල තියෙනව.

● ලැබෙන ජනප්‍රියත්වය ගැන අදහස මොන වගේද?

මට අදටත් වාහනයක් නැහැ. ගමන් බිමන් යන්නෙ බස් එකේ. නැත්නම් කෝච්චියේ. එතනදි මට මිනිස්සුන්ගෙ ප්‍රතිචාර සජීවීව විඳගන්න පුළුවන්. බොහෝ දෙනෙක් අහන්නෙ ඇයි බස් එකේ යන්නෙ” වාහනේ ගරාජ් එකේද කියල. ඒ නළුවන් ගැන එයාලගෙ තියෙන ප්‍රතිරූපයත් එක්ක අහන දේවල්. සමහර වෙලාවට අතින් අල්ලගෙන තේ බොන්න යන්න කතා කරනව. ඒ ප්‍රතිචාරත් එක්ක ඇත්තටම මිනිස්සුන්ගෙන් මේ තරම් ආදරයක් ලබන්න වාසනාවන්ත වෙලා කියල ලොකු සතුටක් දැනෙනවා.

● ආලෝක සම්පත් තුට්ටු දෙකට වැඩ භාර ගන්නෙ නැහැ?

යාළුවෙක් මුදලට කතා නොකර මචන් මට මේක නිකං කරල දියං කිව්වොත් මම එහෙම කරල තියෙනව. නමුත් තුට්ටු දෙකට කතා කළොත් මගේ මුදලට හැරෙන්න මම යන්නෙ නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment