යළි පණ ලබන ආසියාවේ විශාලම සහල් මෝල

27114

වී ගබඩා කරන්න ටැංකි 23ක්
යන්ත්‍රයට දමන වී, තැම්බී වියළී පසුව
සහල් උරවලට එකතු වීමත් යන්ත්‍රානුසාරයෙන්ම සිදුවෙලා
සිමෙන්තිවලින් ඉදිකර ඇති ඉදිකිරීම් හැර සියල්ලම ගලවා විකුණලා
ගල්ගමුව හිටපු ප්‍රා. සභා මන්ත්‍රී විජේරත්න බණ්ඩාර

දශක හතරකට පෙර ඉදිකළ දකුණු ආසියාවේ විශාලතම සහල් මෝල, සහල් ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානයට නැවත පණ ලැබෙන ලකුණු පහළ වෙමින් පවතී. මෙය කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ ඉදිකර දැනට අතහැර දමා ඇත.

යළි පණ ලබන ආසියාවේ විශාලම සහල් මෝල

වර්තමාන රජයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතාගේ ඉල්ලීමකට අනුව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පසුගිය දා එහි තත්ත්වය සොයා බැලීමට එක් වූවේය. හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් විධායක සභික විජයරත්න බණ්ඩාර මහතාද ඊට එක්විය.

මෙම ආයතනය අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් වැසී ගොස් ඇත. වී මෙටි්‍රක් ටොන් දහහතරදහසක් එකවර ගබඩා කළ හැකි වන සේ නිර්මාණය කර ඇති ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානය චීන රජයේ ආධාර මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ඉදිකිරීම් සිදුකොට ඇත. මෙම මධ්‍යස්ථානයේ යන්ත්‍රයට ඇතුළත් කරන වී, තැම්බී වියළී අවසානයේ සහල් උරවලට එකතු වීම සිදුව තිබේ.

අක්කර පහක පරිශ්‍රය තුළ මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත. එහි අඩි අසූවක් උස, විෂ්කම්භය අඩි 30 ක් වන සිලින්ඩරාකාර ටැංකි 14 ක් දැකගත හැකිය. අඩි 30ක් පමණ උසකින් විෂ්කම්භය අඩි 10ක් පමණ වූ කුඩා සිලින්ඩරාකාර ටැංකි නවයක් වී ගබඩා කිරීම සඳහා ඉදි කර ඇත. තැම්බීමේ සහ වී කෙටීමේ යන්ත්‍ර, සහල් ගබඩා කිරීම සඳහා ගොඩනැගිලි, කාර්ය මණ්ඩලය සඳහා නේවාසිකාගාර හා කාර්යාල පහසුකම්වලින්ද යුක්තය. 1970 – 1977 රාජ්‍ය සමයේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මෙය විවෘත කර තිබේ. ගල්ගමුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිස්ත්‍රික් විධායක සභික විජේරත්න බණ්ඩාර මහතා පැවසුවේ,

“1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමඟ සියල්ල උඩු යටිකුරු වුණා. අද වනවිට සිමෙන්තිවලින් ඉදිකර ඇති ඉදිකිරීම් හැර සියල්ලම ගලවලා විකුණලා. හොරකම් කරලා. හසලක, පොළොන්නරුව හා ගල්ගමුවේ තමයි මේ වගේ ගබඩා තිබිලා තියෙන්නේ. එයිනුත් ලොකුම එක තමයි ගල්ගමුව. රාජාංගනය, සියඹලන්ගමුව, මහවැලි එච් කලාපයේ අතරගල්ල, පාළුකඩවල, අබකොළවැව, මැඬියාව හා නාන්නේරිය වගේ විශාල ගොවි ව්‍යාපාරවල වී ගෙනැල්ලා සහල් කරලා ජනතාවට අඩු මිලට හොඳ සහල් ලබාදීම තමයි මෙහි අරමුණ වෙලා තිබ්බේ.

අන්ධ දේශපාලකයෝ මේ වස්තු විනාශ වෙන්න ඉඩ ඇරියා. මේකෙ තිබ්බ ලොරි කිරණ තරාදිය රුපියල් පනස් දාහක් වගේ අඩු මුදලකට විකුණලා. මේකට නැවත පණ දුන්නොත් වී ගොවියාට වී ටික වැඩි මුදලකට අලෙවි කර ගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. එවිට ගොවියා බයෙන් සැකෙන් තොරව වී වගාවේ යෙදෙයි. ලැබුණ මේ ජනවරම තුළින් අපි මේ සම්පත්වලට නැවත පණ ලබා දී ජනතා සහන ලබා දෙනවා.”

කුරුණෑගල දිස්ත්‍රික් පාරලිමේන්තු මන්ත්‍රී චන්දන තෙන්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙම පරිශ්‍රය පරීක්ෂාවට ලක් කළේය.

චන්දන තෙන්නකෝන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ,

“යළිත් මෙරට සහල් ආනයනය නොකරන තැනට පත්වීමට නම් ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ගල්ගමුවේ වී ගබඩාව සහ සහල් සැකසුම් මධ්‍යස්ථානය වැනි රට පුරා ඇති එවැනි ආයතන කෙරෙහි නොපමාව අවධානය යොමුකළ යුතුයි. එම කටයුත්තේ ආරම්භයක් තමයි ගල්ගමුවෙන් මේ කරන්නේ. ලැබුණ ජනවරමට සාධාරණයක් ඉටු කරමින් දේශීය සම්පත් සුරකිමින් ජනතාවට උපරිම සහන ලබා දෙන්න කටයුතු කරනවා. අලුතින් මේ වගේ දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කරනවාට වඩා තිබෙන ව්‍යාපෘති පණ ගන්වා ක්‍රියාත්මක කිරීම වඩා වාසි සහගත විය හැකියි”

යාපහුව – විජේරත්න


advertistmentadvertistment