යුද මරණ හා විනාශවලට මුදල් දෙන්න කැමැති වුවත් – ගෝලීය උතුරෙන් දේශගුණික විපර්යාසවලින් ඇති වන මරණ හා විනාශ වළක්වා ගැනීමට මුදල් දෙන්න කැමැත්තක් නැහැ

91

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දුනීසියාවේ
ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමින් පෙන්වා දෙයි

යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය අමතමිනි.

“සාමුහික සෞභාග්‍ය සඳහා ජලය”‍ යන තේමාව යටතේ ලෝක ජල සමුළුව පසුගිය මැයි 18 වැනිදා ඉන්දුනීසියාවේ බාලි නගරයේදී ආරම්භ වූ අතර ලෝක රාජ්‍ය නායකයන්, විශේෂඥවරුන්, විද්වතුන්, ව්‍යවසායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදයකයන් මීට එක්ව සිටිති. සැමට ජලය සැපයීම සහතික කිරීමේ කාර්යක්ෂම හා ඒකාබද්ධ උපායමාර්ග වෙනුවෙන් ලොව පුරා විවිධ ජාතීන් පෙළගැස්වීම මෙම සමුළුවේ අරමුණයි. 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර ලොව රටවල් රැසක රාජ්‍ය නායකයන්, අමාත්‍යවරුන් සහ විශේෂ නියෝජිතයන් ඊට එක්ව සිටියහ.

සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කියා සිටියේය.

දේශගුණික විපර්යාස සහ ජල ගැටළුව එකම කාසියක දෙපැත්තක්. අද පවතින ජල සම්පත් අර්බුදය ඇතිවීමට ප්‍රධාන හේතුවද දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන බලපෑම් බව සඳහන් කළ යුතුයි. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) විසින් 2090 දක්වා පුරෝකතනය කර ඇති දේශගුණික තත්ත්වයන්ට අනුව, ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වැඩි වියළි ස්වභාවයකට පත්වන අතර තෙත් කලාපය පෙර නොවූ විරූ ආකාරයෙන් තෙත් තත්ත්වයට පත් වනු ඇත. මුහුදු මට්ටම ඉහළ යෑම, වෙරළබඩ ප්‍රදේශවලට ලවණ ජලය කාන්දු වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගොඩබිම ලවණීකරණයට ලක් වෙනවා. මා ශ්‍රී ලංකාව උදාහරණයට ගෙන මේ පිළිබඳ සඳහන් කළේ ලෝකය පුරාම සිදුවන්නේ ද මෙය බව සඳහන් කිරීමටයි.

ගෝලීය වශයෙන් ගත් විට, ජල අර්බුදයට විසඳුම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒ සඳහා අනුවර්තනය වීම මත රඳා පවතිනවා. ජලය ඉලක්ක කරගත් නිශ්චිත ක්‍රියාමාර්ග සමඟ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුදයට එරෙහිව සටන් කළ යුතුයි. ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්වය තුළ ජලය අනුවර්තන අංශ යටතේ වර්ගීකරණය කර තිබෙනවා. අනෙක් අතට, විමෝචනය මූලික හේතුව වන බැවින් දේශගුණික විපර්යාස අවම කිරීම සමානව වැදගත් වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ජල සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දැවැන්ත මූල්‍ය සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාස සඳහා මූල්‍ය සම්පත් ලබාදීමේ වැඩසටහන්වලට අනුගත වීමේදී ගෝලීය උතුර අවාසනාවන්ත ලෙස අසමත් වී තිබෙනවා. ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව අවසන් වීමෙන් පසුව මේ සඳහා පවතින දේශපාලන කැමැත්තෙහි සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙනවා. දේශගුණික විපර්යාස ප්‍රතික්ෂේප කිරීම බටහිර රටවල ප්‍රචලිත වෙමින් පවතිනවා. දිගු කලක් තිස්සේ ප්‍රමාද වී පවතින හානි හා පාඩු අරමුදල ස්ථාපිත කිරීම ඵලදායී ලෙස ක්‍රියාත්මක කළහොත්, මෙම පරතරය පියවා ගැනීමට එය උපකාරී වෙනවා වගේම එය විශාල පියවරක් වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර වැඩසටහනෙහි 2023 වසරේ (UNEP) “අඩු මුල්‍ය – අඩු සුදානම්” වාර්තාව අනුව දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සඳහා අවම මූල්‍ය පරතරය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 194 සිට 366 දක්වා වන බව තක්සේරු කර තිබෙනවා. යුක්‍රේනයේ මරණ සහ විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටිනවා. නමුත් දේශගුණික විපර්යාස නිසා සිදුවන මරණ සහ විනාශය වළක්වා ගැනීම සඳහා අරමුදල් සැපයීමට අකැමැත්තක් දක්වනවා. අපේක්ෂිත ප්‍රමාණවලින් සහ අපේක්ෂිත වේගයකින් අප වෙත අරමුදල් නොපැමිණෙන නිසා සම්පත් පරතරය මඟහරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව COP 28 සමුළුව වෙත නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative) ඉදිරිපත් කළා.

advertistmentadvertistment
advertistmentadvertistment