රග්බී අවසන් මහා තරගයට ඉසිපතනයට වරම්

135

මෙවර ලීග් ශූරතාව දිනා ගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ලීග් අනුශූරතාව තහවුරු කරගත් කොළඹ ඉසිපතන විදුහල එළැඹෙන ඉරිදා (15දා) සවස ක්‍රියාත්මක කෙරෙන ‘ජනාධිපති අභියෝග කුසලාන’ පාසල් අවුරුදු 19න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බී පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගයට වරම් ලබාගත්හ.

මෙවර අවසන් පූර්ව තරග ද්විත්වයම තියුණු හා උණුසුම් මුහුණුවරක් ඉසිලීම කැපී පෙනුණි. පරාජිත ශාන්ත තෝමස් විදුහල මෙන්ම වෙස්ලි විදුහල වෙතින් ප්‍රදර්ශනය වූ සටන්කාමීත්වය ඒ අතරේ ඉහළ අගයක් ගත්තේය. පළමු අවසන් පූර්ව තරගයේ දී කොළඹ වෙස්ලි විදුහල ලකුණු 23 – 20ක් ලෙස පරාජයට පත් කරමින් ශාන්ත පීතර විදුහල ද දෙවන අවසන් පූර්ව තරගයේ දී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 25 – 20ක් ලෙස පරාජය කරමින් ඉසිපතන විදුහල ද අවසාන තරගයට සුදුසුකම් ලැබීය.

ඉසිපතන සහ ශාන්ත තෝමස් යන දෙපිල අතර පැවැති තරගය ලකුණු 20 – 20ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම හේතුවෙන් ජයග්‍රාහී පිල තෝරාගැනීම උදෙසා අතිරේක කාලයක් දක්වා තරගය දීර්ඝ කිරීමට සංවිධායක මණ්ඩලය සිදු විය. එම අතිරේක කාලයේ දී සහීඩ් සුම්රී උත්සාහක දිනුමක් සම්පූර්ණ කිරීමත් සමගින් ලකුණු 25 – 20ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි. ජයග්‍රාහී ඉසිපතන විදුහල ගෝල් දිනුම් 01ක් උත්සාහක දිනුම් 03ක් සහ දඬුවම් පහර 01ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර ශාන්ත තෝමස් විදුහල තම ලකුණු එකතුව ගෝල් දිනුම් 02ක් සහ දඬුවම් පහර 02ක් ආශ්‍රිතව සටහන් කර ගැනීමට සමත් විය.

ප්‍රබල ශාන්ත පීතර විදුහලට එරෙහිව වෙස්ලි විදුහල ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වය ද ඉහළ අගයක් ගත්තේය. ශාන්ත පීතර විදුහල ගෝල් දිනුම් 02ක් සහ දඬුවම් පහර 03 ක් මගින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගන්නා අතර වාරයේ දී වෙස්ලි විදුහල ගෝල් දිනුම් 01ක්, උත්සාහක දිනුම් 02ක් සහ දඬුවම් පහර 01ක් ආශ්‍රිතව සටහන් කර ගත්තේය.

‘ජනාධිපති කුසලාන’ට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ‘අගමැති කුසලාන’ අවසාන තරගයට වරම් ලබාගැනීමට කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ මහානාම විදුහල සමත් විය.

අවසන් පූර්ව තරග ආශ්‍රිතව ආනන්ද විදුහල හමුවේ මොරටුව වේල්ස් කුමාර විදුහල ලකුණු 36 – 23කින් ද මහානාම විදුහල හමුවේ පිළියන්දල මධ්‍ය මහා විදුහල ලකුණු 37 – 00කින් ද පරාජය ලැබීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර


advertistmentadvertistment