රටට අහිතකර ගිවිසුම් හොරෙන් අත්සන් කරපු රජයට බලයේ ඉන්න කිසිදු අයිතියක් නෑ – සමසමාජ පක්ෂ මැයි රැලිය අමතමින් මහාචාර්ය තිස්ස විතාරණ කියයි

28

රටටත්, ශ්‍රී ලාංකිකයන්ටත් අහිතකර ගිවිසුම් හොර රහසේ අත්සන් කළ රජයට තවදුරටත් බලයේ සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැතැයි ලංකා සමසමාජ පක්ෂයේ මැයි දින රැලිය අමතමින් එම පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඊයේ (01දා) කීවේය.

විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ පැවැති එම පක්ෂයේ මැයි දින රැලියට පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ තිස්ස විතාරණ මහතා මෙසේද කීවේය.

1933 දී ලංකා සමසමාජ පක්ෂය ආරම්භ කළදා සිටම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ යටත් විජිත පාලනයෙන් පූර්ණ නිදහස ලබා ගැනීමේ සටනට නායකත්වය දුන්නා. සමසමාජ පක්ෂය පමණක් තහනම් කර එහි නායකයන් වන ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වැනි නායකයන් අත්අඩංගුවට ගත්තා.

1977දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහල් මිල තුන් ගුණයකින් ඉහළ දමා දිළිඳු ජනතාව මත ආහාර අර්බුදයේ බර පටවන විට ඊට එරෙහිව ලංකා සමසමාජ පක්ෂය රට පුරා විරෝධතා සංවිධාන කළා. එම විරෝධතාවලදී අපගේ සහෝදරවරුන් 9 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. අපේ පක්ෂයේ නායකයන් ජීවිත පරිත්‍යාගයෙන් මේ රට වෙනුවෙන් පෙනී සිටියේ ඒ ආකාරයටයි.

1935දී ලංකා සමසමාජ පක්ෂය ඉල්ලීම් 22ක් රජයට ඉදිරිපත් කළා. නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සියලුම සේවකයන්ගේ සම්පූර්ණ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළත් එම ඉල්ලීම් දිනාගැනීමට වැඩවර්ජන හා අනෙකුත් අරගල දියත් කිරීමට අපට සිදුවුණා. ලංකා සමසමාජ පක්ෂය මගින් රජයේ කම්කරු වෘත්තීය සමිති සම්මේලනය නමින් රාජ්‍ය අංශයේද, ලංකා කම්කරු සම්මේලනය නමින් පුද්ගලික අංශයේද ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැඟුවා. වැටුප් හා අනෙකුත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඔවුන්ට නායකත්වය දුන්නා. එදා සමසමාජ නායකයන් රජයට බලපෑම් කිරීම තුළින් එම යෝජනා සේවා යෝජකයන් විසින් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු කම්කරු නීතිරීතිවලට ඇතුළත් කරගැනීමට හැකිවුණා.

කිසිම අවස්ථාවක රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකළ යුතු බව සමසමාජ පක්ෂයේ ස්ථාවරයයි. කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව දැනුවත් නොකර අත්සන් කරනු ලබන ගිවිසුම් පිළිබඳ සියලු තොරතුරු වහාම රජය විසින් රටට හෙළිකළ යුතුයි.

ලංකා සමසමාජ පක්ෂයේ මැයි දින රැලිය සඳහා එම පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු නායකයන් පාක්ෂිකයින් ඇතුළු පිරිස් පෙළපාළියකින් විහාරමහාදේවි එළිමහන් ක්‍රීඩාංගණය වෙත පැමිණියහ.

කමල් බෝගොඩ


advertistmentadvertistment