කනවට වඩා කෑම අහක දානවා!
සමස්ත අස්වැන්නෙන් 40%ක් කුණු ගොඩට…
දිනපතා එකතු වන කුණුවලින් 60%ක් කෑම…
කෑදරකමට බෙදාගන්නා බත් පිඟානෙන් භාගයක් ඌරු කොටුවලට…
කරවල නිෂ්පාදනය නිසා මාළු නාස්තිය අඩුයි…
අවිධිමත් ප්‍රවාහනය නිසා තේවල ගුණාත්මක තත්ත්වය අඩු වෙනවා…
එළවළු – පලතුරුත් වැඩිපුර අපතේ යන්නෙ අවිධිමත් ප්‍රවාහනය නිසයි…
මෙරට, පසු අස්වනු හානිය අතිශය ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. සමස්ත අස්වැන්නෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් නාස්ති වන බව ද සැබෑ ය. වාර්ෂිකව එළවළු මෙටි්‍රක් ටොන් 221,955ක් පලතුරු මෙටි්‍රක් ටොන් 290,151ක් ප්‍රවාහනයේදී පමණක් අපතේ යන බව වාර්තා වී බොහෝ කාලයකි. එහෙත් එම නාස්තිය අවම කිරීමට අදටත් විසඳුමක් නොමැතිවීම බරපතළ තත්ත්වයකි.
එක තැන පල් වන ගැටලුව සම්බන්ධයෙන් අදාළ ක්‍ෂේත්‍රවල මහ පොළොවේ වැඩ කරන ප්‍රවීණයන් තට්ටු මාරුවට පත් වූ ආණ්ඩුවල වෙළෙඳ ඇමැතිවරු හා නිලධාරීන්ව කොතරම් දැනුවත් කළ ද බීරි අලින්ට වයනා වීණා වාදනයක්ම විය. වර්තමාන ආණ්ඩුවේ වෙළෙඳ ඇමැතිවරයා සහ නිලධාරීන් ද අදාළ ගැටලුව සම්බන්ධයෙන් වචනයක් හෝ කතා නොකිරීම අපට ගැටලුවකි. මේ සටහන තැබීමේ මුඛ්‍ය පරමාර්ථය, අදාළ නාස්තිය සම්බන්ධයෙන් සීතල කාමරවල සැපට හිඳින බලධාරීන් සහ නිලධාරීන් දැනුවත් කිරීම ය.
ගෝලීය වශයෙන් ආහාර නාස්තිය හා පසු අස්වනු හානිය අවම කරගැනීම සම්බන්ධයෙන් ගාල්ල ආරාධනා හෝටලයේදී පැවැති ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පෙන්වා දුන් ආකාරයට එළවළු, පලතුරු, මාළු, පිසින ලද ආහාර පමණක් නොව නොවිධිමත් ප්‍රවාහනය හේතුවෙන් තේ දලු ද විශාල වශයෙන් අපතේ යන බව අනාවරණය කළේ ය. මෙරට තේ පනතට අනුව දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට දලු ප්‍රවාහනය තහනම් ය. එමෙන්ම රාත්‍රි 8න් පසුව තේ දලු ප්‍රවාහනය කිරීමට නීතියෙන් අවසර නැත. එහෙත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නිසියාකාරව දිස්ත්‍රික්ක තුළ තේ වගාව ප්‍රවර්ධනය නොකිරීම නිසා අදාළ නිතී ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතු වී තිබෙන බව ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස ය. දලු එකතු කරන්නන් තේ කිලෝ විස්සක් බහාලිය හැකි දැල් බෑගයට හෝ ප්ලාස්ටික් කූඩවලට කිලෝ 30, 40ක් ඔබමින් සවස 2 සිට එකතු කරන දලු රාත්‍රියට කර්මාන්තශාලාවට රැගෙන එන විට තේ දලු මලානික වී තිබේ. එවැනි දලුවලින් නිෂ්පාදනය කරන තේවල ගුණාත්මකභාවය අඩු වන බව තේ නිෂ්පාදකයෝ ද පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිසියාකාරව නීති ක්‍රියාත්මක කර රටේ තේ නිෂ්පාදනය වැඩි කරනවා නම් සිලෝන් ටී නාමය එදා මෙන්ම අදට ද ලොව බැබළෙන බව ඔවුහු පැහැදිලි කළහ. එහෙත් තේ අරමුදල ශක්තිමත් කරන තේ මණ්ඩලය මෙරට තේ වගාව ව්‍යාප්ත කිරීමට වඩා තේ ප්‍රවර්ධන වැඩසටහන්වලට පිටරට සවාරි යෑමට ප්‍රමුඛත්වය ලබාදීම මෙරට තේ කර්මාන්තයේ පරිහානියට ප්‍රධාන හේතුවක් බව ද ඔවුහු පැහැදිලි කළහ.
කරවල නිෂ්පාදනය කිරීම නිසා මාළු නාස්තියෙන් බරපතළ හානියක් නොවන බව සමස්ත ලංකා බහුදීන ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් ප්‍රනාන්දු අප සමග පැවසුවේය. කෙළවල්ලා ඇතුළු ලොකු මාළු කොහෙත්ම අපතේ නොයෙන බවත් කුඩා මාළු යම් නාස්තියක් සිදු වන බව ද හේ පෙන්වා දුන්නේ ය. එළවළු, පලතුරු ගොවිපොළේ සිට පාරිභෝගිකයා අතට පත් වන විට විශාල නාස්තියක් වන බව ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස ය. වගා බිම්වලට කඩා වදින රිළව්, වඳුරො, මොනරු සහ අලි ඇතුළු විවිධ සතුන්ගෙන් අස්වැන්නට විශාල හානි සිදුවීම යල් පැන ගිය, අදට ද සාර්ථක විසඳුමක් නැති ගැටලුවකි. ඇතැම් වගා බිම්වලට පන්සීය – හයසීය රිළව් – වඳුරො රංචුපිටින් පැමිණ විනාඩි දහයෙන් – පහළොවෙන් එළවළු හා පලතුරු වතු පිටින් විනාශ කරන බව ද ගොවීහු අප සමග පැවසූහ. එමෙන්ම එළවළු – පලතුරු අස්වැන්න නෙළන අවස්ථාවේ සිට සැලකිය යුතු මට්ටමේ නාස්තියක් සිදු වන බව ද වාර්තා වේ. ගොවිබිමේ විනාශ කළ යුතු පරිභෝජනයට නොසුදුසු එළවළු හා පලතුරු වෙළෙඳපොළට නිකුත් කිරීමට ඇතැම් ගොවීන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ. උදාහරණයක් ලෙස, බටු අස්වැන්නෙ යම් හේතුවකින් 70%කට පමණ පණුවො විද ඇති නම් එම අස්වැන්න වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි ය. අලාභය දරාගෙන පණුවො විදපු බටු තොගය විනාශ කළ යුතුය. එහෙත් පාඩුව අවම කරගැනීමට ඇතැම් ගොවීහු හොඳ බටු සමග පණුවො ගැසූ බටු ද වෙළෙඳපොළට නිකුත් කරති. අඩු මුදලට විකිණීමට පණුවො ගැසූ බටු වෙනම රැගෙන එති. කිසිදු වෙළෙන්දෙක් පණුවො ගැසූ බටු මිලට නොගෙන්නේය. අවසානයේදී තැළී, පොඩි වී ගිය බටු ලෙස ‘පණු බටු’ අපතේ යන එළවළු ගොඩට එකතු වේ. ‘පණු බටු’ කතාව බොහෝ එළවළුවලට පොදු ය.
ප්‍රවාහනයට භාවිතා කරන ඇසුරුම් ක්‍රම තුළින් ද එළවළු – පලතුරු විශාල ප්‍රමාණයක් අපතේ යන බව සැබෑ ය. විශේෂයෙන්ම එළවළු – පලතුරු දැල් ගෝණිවල ඇසුරුම් කිරීමේදී වාතාස්‍රය වැඩි වී බෝංචි, බණ්ඩක්කා වැනි එළවළුවල නැවුම් ගතිය නැති වී පරණ ස්වභාවයක් ඉස්මතු වේ. වැටකොළු, පාතෝල කරල් තුනට හතරට කැඩී පොඩි වී යන ප්‍රවණතාවය වැඩි ය. විවිධ බහාලුම් හය – හත්පළක බාමින්, ලොරිවලට පැටවීම තුළින් ද එළවළු හා පලතුරු සම්බෝලවීමට ප්‍රධාන හේතුවකි. මෙරට එළවළු – පලතුරු පමණක් නොව, බොහෝ භාණ්ඩ ලොරිවලට පැටවීම, බෑම සිදු කරනුයේ යන්ත්‍රානුසාරයෙන් නොව මිනිසුන්ගේ දෑත්වලිනි. එම සේවයේ නිරත මිනිසුන් ලැබෙන සොච්චමට වැඩ කරනවා විනා ගුණාත්මක සේවාවක් ලබාදීමට කටයුතු නොකරන බව ද සැබෑ ය. ඉහත ගැටලු හේතුවෙන් වෙළෙඳපොළට ලැබෙන එළවළු – පලතුරු තොගවලින් 30%ක් පමණ අපතේ යන බව වාර්තා වේ. ඒ අතරින් වකුටු වෙච්ච වම්බොටු, කොන් කැඩිච්ච වැටකොළු, පාතෝල, බණ්ඩක්කා සහ පලුදු ලප සහිත එළවළු – පලතුරු 10%ක් පමණ මිනිස් පරිභෝජනයට ගත හැකි තත්ත්වයේ තිබේ. මේ වෙනකොට එම 10%ද මිනිසුන් පාරිභෝජනයට නොගන්නා බව වාර්තා වේ. සුපිරි වෙළෙඳසල් පොෂ් මානසිකත්වයෙන් ඉදිමුණු පාරිභෝගිකයෝ පලුද්දක්, නියපොත්තක් වැදුණු එළවළු – පලතුරු පමණක් නොව, වකුටුවෙච්ච බෝංචි කරලක්, වැටකොළු ගෙඩියක් හෝ මිලදී නොගන්නා තත්ත්වයට පත් වී සිටිති. මහතට, ලස්සනට, සෘජුව නොමැති වම්බොටු කරල් මිලදී නොගන්නා පොෂ් නෝන මහත්වරු සුපිරි වෙළෙඳපොළේ එමට ය. එවැනි පුහු මානසිකත්වය මත පරිභෝජනයට ගත හැකි එළවළු – පලතුරු 40%ක් පමණ කුණු ගොඩට එකතු වන බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සංගමයේ සහ නුවරඑළිය ආර්ථික වෙළෙඳ සංගමයේ අනුශාසක අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අප සමග පැවසුවේ ය.
“ලෝකයේ ගොවිතැන කොච්චර දියුණු තත්ත්වයට පත්වෙලා තිබුණත් අපේ රටේ තවම කෙරෙන්නෙ යල් පැනගිය වගාවක්. අපේ ගොවීන්ට නවීන තාක්‍ෂණය ගැන දැනුමක් නෑ. රටේ සමස්ත ගොවීන් දැනුවත් කරන සන්නිවේදන ක්‍රමයක් නෑ. පසු, අස්වනු තාක්‍ෂණය ගැන ගොවීන්ට අවබෝධයක් නෑ. එළවළු – පලතුරු කල් තබාගැනීමට සීතාගාර පහසුකම් නෑ. අස්වැන්න නෙළුව දිනම වෙළෙඳපොළට යවන්න ප්‍රවාහන පහසුකම් නෑ. අද යවන එළවළු හෙට වෙනකොට විකුණගන්න බැරි වුණොත් නරක් වෙනවා. ඒ නිසා ප්‍රථමයෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ. එළවළු කිලෝ දෙදාහක් අවශ්‍ය ආර්ථික මධ්‍යස්ථානයකට කිලෝ පන්දාහක් ආවොත් තුන්දාහක් අපතේ යනවා. ඒක නතර කරන්න බෑ. ඒ හානිය අවම කරගැනීමට එළවළු – පලතුරු තොග කල් තබාගැනීමේ, විවිධ නිෂ්පාදන කිරීමේ ව්‍යාපෘතිවලට අපි යන්න ඕනෑ. විශේෂයෙන්ම එළවළු – පලතුරුවල අතුරු නිෂ්පාදනවලට මෙරට වගේම ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. කාලයක ඉඳලා පත්වෙන සෑම ආණ්ඩුවකම වෙළෙඳ ඇමැතිවරු සමග මේ ගැටලුව ගැන සාකච්ඡා කළා. යෝජනා ඉදිරිපත් කළා. ඒත් අදටවත් විසඳුම් නෑ…”
“එළවළු – පලතුරුවල ස්වභාවය අනුව ඇසුරුම් කර, කූල් රූම්වල පොදු ප්‍රවාහන ක්‍රමයක් හරහා පොදු වෙළෙඳපොළකට රැස්කරන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ. එම කාර්යයට දුම්රිය සේවය ඉතාම සුදුසු බව අපි විශ්වාස කරනවා. රට වටේම එළවළු – පලතුරු දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම පහසුයි. එම පොදු වෙළෙඳපොළ හරහා විධිමත් ප්‍රවාහන ක්‍රමයකින් රට පුරා බෙදාහැරීම සිදු කරන්න ඕනෑ. එවැනි සිස්ටම් එකකදී ප්‍රවාහනයේදී සිදුවන හානිය ඉතාම අල්පයි. අතරමැදි වියදම අවමයි. පවතින තොග මිලට ප්‍රවාහන වියදම, එළවළු අපතේ යෑමේදී ඇති වන පාඩුව ගණනය කර උපරිම සාධාරණ මිලකට එළවළු අලෙවි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඇසුරුම්කරණයේදී ප්ලාස්ටික් ට්‍රේ, විවිධ කූඩ වර්ග, තුනී ලෑලි හෝ කාබෝඩ් පෙට්ටි භාවිතය තුළින් හානිය විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. එහෙත් එළවළු – පලතුරු ඇසුරුම් කිරීමට ප්ලාස්ටික් කූඩ භාවිතය ප්‍රායෝගික නෑ. වියදම වැඩියි. කාබෝඩ් පෙට්ටි භාවිතය වියදම අඩුයි. ගොවියාගේ අදායමට සාපේක්‍ෂව දරාගත හැකි මිලකට කාබෝඩ් පෙට්ටි ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ…” අරුණ ශාන්ත නිහඬ විය. අසේල සම්පත් හඬ අවදි කළේ ය.
“කොළඹ ජාතික රෝහලේ සිට ලංකවේ සියලුම ආපනශාලාවල විශාල වශයෙන් ආහාර අපතේ යනවා. ජාතික රෝහලේ රෝගීන්ට ලබාදෙන ආහාර සතෙකුටවත් කන්න බෑ. දවල් 12 වෙනකොට වාට්ටුවල ඩස්පින් බැලුව නම් ආහාර අපතේ යෑම බලාගන්න පුළුවන්. කෑම රස නැති නිසා රෝගීන් කුණු කූඩවලට හලනවා. රජයේ අනෙකුත් රෝහල්වල තත්ත්වයත් සොයා බලන්න. ඒ වගේම හෝටල්වල කොත ගහලා කෑම බෙදනවා. කන්න පුළුවන් කෙනා කනවා, අනිත් අය භාගයක් ඉතුරු කරනවා. බුෆේ දාලා තියෙන හෝටල්වලදී මිනිස්සු කෑදරකමට කොත ගහලා බෙදා ගන්නවා, කන්න බැරුව ඉතුරු කරනවා. මඟුල් ගෙදර බුෆේ එකේදී මත්පැන් බොන අය කෙළින් ඉන්න බැරි ගානට බීලා කොත ගහලා කෑම බෙදාගෙන මස් කෑල්ල, ඉස්සො, දැල්ලො කාලා ඉතිරි කරනවා. කාන්තා පාර්ශ්වය කෑදරකමට සෑයක් වගේ කෑම බෙදාගෙන පුංචි දරුවන්ටත් ඒ වගේම බෙදා දෙනවා. අන්තිමේ අම්මයි, දරුවොයි දෙගොල්ලොම චුට්ටක් කාලා ඉතුරු කරනවා. වැඩිපුරම කෑම අපතේ යන්නෙ මඟුල් ගෙවල්වල. මළගෙදරදී, දාන ගෙදරදී එවැනිම අපතේ යෑමක් සිද්ධ වෙනවා. අපේ රටේ ඉවතලන කුණුවලින් බහුතරය ආහාර. ඉවතලන ආහාර ගොඩක්ම අරගෙන යන්නෙ ඌරු කොටුවලට. කකුල් දෙකේ ඌරො ඉන්නකන් ඌරු කොටුවල කෑම හිඟ වෙන්නෙ නෑ. ඌරන්ට ඇතිවෙන්න කෑම තියෙනවා…”
“ලෝකයේ රටවලින් වැඩිපුර ආහාර අපතේ යවන්නෙ අපේ රටේ වෙන්න පුළුවන්. ඒත් කෑම අපතේ යෑම නතර කරන්න ජනතාව දැනුවත් කිරීමේ සාර්ථක වැඩසටහනක් තවම ක්‍රියාත්මක වෙලා නෑ. නීතියක් ක්‍රියාත්මක කොට දඩ නියම කරලා හරි ආහාර අපතේ යෑම නතර කරන්න ඕනෑ. මේක මහා විනාශයක්. වේලක් කන්න නැතිව කුස ගින්දරේ පිච්චෙන දරු පවුල් කොච්චර ඉන්නවද? මේ නාස්තිය අවම කරගෙන ඉතිරි වෙන මුදලෙන් කන්න නැති මිනිස්සුන්ට බත් වේලක් දෙන සිස්ටම් එකක් හදන්න ඕනෑ…” අසේල සම්පත්ගේ කතාව හොඳ ය. එහෙත් එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිළිඳු පැලේ දුක හඳුනන, නායකයන් මේ රටේ සිටීද? සඳලුතලවලින් පොළොවට බැස, විධිමත් ගවේෂණයක් කර ආහාර, එළවළු – පලතුරු සහ තේ දලු අපතේ යන අවස්ථා හඳුනාගෙන ගැටලුවට සාර්ථක විසඳුමක් සෙවීම අදාළ බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමකි. ප්‍රවාහනයේදී පමණක් නොව, ගොවි බිමේ සිට පාරිභෝගිකයාට, කර්මාන්තශාලාවට යන තෙක් සමස්ත එළවළු – පලතුරු, තේ දළු අපතේ යෑම අවම කිරීමට විසඳුම් ඉදිරිපත් කළ යුතු ය. මිනිස් පරිභෝජනයට සුදුසු එළවළු – පලතුරු තොග පමණක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ගොවීන්ගේ වගකීමකි. ගුණාත්මක තත්ත්වය ආරක්‍ෂා වන ආකාරයට තේ දලු කර්මාන්තශාලාවලට ප්‍රවාහනය කරදීමට දලු එකතු කරන්නන්ගේ වගකීමකි. කෘෂිකර්මාන්තය ප්‍රධාන වූ කෘෂි නිෂ්පාදනවලින් යැපෙන රටක පවතින වෙළෙඳපොළ රටාවේ පුහු පොෂ් මානසිකත්වයෙන් ඉවත්වීමට ජනතාව බුද්ධිමත් විය යුතුය. එවිට ගොඩගැසෙන කුණු එළවළු – පලතුරු කඳු සෙමෙන් ගිලා බසිනු ඇත. සිලෝන් ටීවල ගුණාත්මක තත්ත්වය ද වර්ධනය වනු ඇත.
එමෙන්ම හිතේ ගින්නට හෝ කෑමත් සමග තරහෙන් ප්‍රේත ස්වභාවයෙන් ආහාර බෙදාගැනීම නතර කර කුස ගින්නට ප්‍රමාණවත් ආහාර ගැනීමට සමස්ත රටවැසියන් හුරු විය යුතු ය. කොත ගසා බත් කෑම මරණය ඉක්මන් කරගැනීමකි. ඌරෙක් වගේ කා ඉක්මනින් මැරෙනවද? පමණට ආහාර අනුභව කොට ආයු කාලය සම්පූර්ණ කරනවාද කියා තීරණය ඔබ සතු ය. ජනතාවගේ ආහාර කළමනාකරණය රටේ ආර්ථිකයට ද ශක්තියකි. අපතේ යන පලතුරු හා එළවළුවලින් විවිධ නිෂ්පාදනයන් කිරීමට ව්‍යවසාකයන් බිහි කිරීම රජයේ වගකීමකි.
තරංග රත්නවීර