චන්ද්‍රිකා ද මහින්ද ද වෙන කවුරු වුණත්
රට දියුණු කිරීමේ කාර්යයේදී චන්ද්‍රිකා කුමාරතුංග ද, මහින්ද රාජපක්‍ෂ ද නැතිනම් වෙනත් කණ්ඩායමක් ද යනුවෙන් පක්‍ෂ විපක්‍ෂ බේදයක් නොසලකා එක් වී වැඩ කිරීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (06 දා) පැවැසීය.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එක්ව දේශපාලනය කරද්දී හොඳ කියූ අය මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වී වැඩ කරද්දී දොස් කියන බව කී ජනාධිපතිවරයා වැටුණු අගාධයෙන් රට ගොඩනැගීමට පොදුජන පෙරමුණේ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම තමාට හොඳ සහායක් දුන් බව ද කීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට 27 වසරක් පිරීම නිමිත්තෙන් පෙරේදා කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයට එක් වෙමිනි.
වෙනස් වන ලෝකයේ අලුතින් සිතා පැරණි දේශපාලනයේ සිර නොවී ඉදිරියට යමු යැයි පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිරයා පැවැසීය. තමා එම උපදේශය එක්සත් ජාතික පක්‍ෂයට ද දී තිබෙන බව කී ජනාධිපතිවරයා එකට වැඩ කළ යුත්තේ තරුණයන්ට අනාගතයක් හැදීමේ අභියෝගය ජය ගැනීම සඳහා බව ද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා යන මහත්වරුන් ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු රැසක් ද එක්ව සිටියහ.
චමින්ද සිල්වා