පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

26

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

‘අපේ පෘථිවිය සහ අපේ රට වෙනුවෙන් දේශගුණික ක්‍රියාමාර්ග’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමුවරට සංවිධානය කළ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ඊයේ (8 දා) ඇරඹුණු අතර එය මැයි 09වනදා දක්වා පැවැත්වේ.

ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පුළුල් ඉදිරි දැක්මකින් යුතුව දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයේ විවිධ පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සහ එමගින් ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධාවන් පිළිබඳ සොයා බැලීම මෙම දේශගුණික සමුළුවේ අරමුණයි.

විමෝචනය අවම වන සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේදී සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ද මෙම සමුළුවේදී සංවාදයට ගැනෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සමග සාකච්ඡා කෙරෙන මෙම හමුවට සහභාගිවීමට ලැබීම පිළිබඳ මා ඉතා සතුටු වෙනවා.

මා ජනාධිපති ධුරයට පත් වූ දා සිට දේශගුණික අභියෝග ජය ගැනීමේ වැඩපිළිවෙළ සඳහා ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මගේ කාර්යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඒ පිළිබඳ උපදේශකවරයෙකුද පත් කිරීමට කටයුතු කළා.

පසුගිය දින කිහිපයේ සිට අපට මුහුණ දීමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයපහත් දේශගුණික විපර්යාසවල සලකුණක් පමණයි.

ජනාධිපතිවරයා ලෙස මගේ කාර්යය බවට වුණේ රටේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමයි. මේ වනවිට එම වැඩපිළිවෙළ සාර්ථක ලෙස අවසන් වෙමින් තිබෙන අතර අප දැන් ඊළඟ පියවර පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. දැනට රටේ පවතින ආර්ථික ක්‍රමය තුළ අපට ඉදිරියට යා නොහැකියි. මා මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබෙන ආකාරයට අපනයන සඳහා නැඹුරු වූ ඉහළ තරගකාරී ආර්ථිකයක් බවට අප පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් නව නීති සම්පාදනයට ද අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත බොහෝ විට ලබන සතියේ ගැසට් පත්‍රයේ පළ කිරීමට අපේක්ෂා කරනවා.

පරිසරය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අප නව නීතියක් ද කෙටුම්පත් කරමින් සිටින අතර පරිසරය සහ දේශගුණික විපර්යාස යන දෙකම හසුරුවන එක් නීතියක් ගෙන ඒමට අප තීරණය කර තිබෙනවා. එමගින් මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් පවත්වාගෙන යන අතර එයට දේශගුණික විපර්යාස පිළිබඳ මධ්‍යස්ථානය ද ඇතුළත් කෙරෙනවා. මෙම නීති සම්පාදනය කිරීමේදී එක්සත් රාජධානියේ පවතින දේශගුණික විපර්යාස පිළිබඳ පනත අනුගමනය කරන ලෙස මා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ වගේම එමගින් දේශගුණික විපර්යාස කමිටුවේ උපදෙස් මත ක්‍රියා කිරීම සහ පාර්ලිමේන්තුවට රෙගුලාසි ඉදිරිපත් කිරීම ආණ්ඩුවට සහ අදාළ විෂය භාර ඇමතිවරයාට පැවරෙනවා.

එක්සත් රාජධානියේ දේශගුණික විපර්යාස පනත අනුගමනය කිරීමට එක් හේතුවක් වන්නේ එය මූල්‍ය සංවිධාන විසින් හොඳින් පිළිගත් පනතක් වීමයි. ඒ නිසා අපට පවතින විවිධ විකල්පයන් සහ අපගේ හරිත මූල්‍යකරණය, නිසැකවම එක්සත් රාජධානියේ සමාන භාවිතයන් මත පදනම් වන බව අප සහතික කරනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව තුළ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඉහළ විභවයක් පවතිනවා. අපගේ සූර්ය බලශක්ති ධාරිතාව සහ සුළං බලය සඳහා පවතින ධාරිතාව දෙස බැලුවහොත්, ගිගාවොට් 30 ත් 50ත් දක්වා වූ පරාසයක විභවයක් අප සතුව පවතිනවා. අපට අවශ්‍ය වන්නේ අප සතුව ඇති මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටයි.

දෙවනුව දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අප අපේක්ෂා කරන අරමුදල් ග්ලාස්ගෝ නුවර පැවති සමුළුවේදී ලබාදීමට පොරොන්දු වූ නමුත් යම් යම් ක්‍රමවලින් මුදල් නැති වී හෝ එය එක්රැස් කර තිබූ බැංකුවලින් එම අරමුදල් ලබා දී නැහැ. නමුත් අපට මෙම අරමුදල් අවශ්‍යයි. ඒ නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් මේ සඳහා සටන් කළ යුතු බව මතක තබා ගන්න.

ශ්‍රී ලංකාව තුළ නිවර්තන කලාපය පිළිබඳ සංකල්පය ප්‍රවර්ධනය කිරීමට මා කටයුතු කළේ මේ නිසයි. මේ සියල්ලට පසුව, කාබන් අවශෝෂණය කරන කලාපය වන්නේ නිවර්තන තීරයයි. එබැවින් දේශගුණික විපර්යාස පිළිබඳ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් වාණිජමය වශයෙන් හැකියාව පවතින නිවර්තන කලාපයේ සෑම ප්‍රදේශයක්ම හඳුනා ගත යුතු වෙනවා.

දේශගුණික අනුවර්තනය සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා අප මේ වන විට කලාපයේ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය නීති ද ශ්‍රී ලංකාව විසින් ගෙන එනවා. අපි දැනටමත් ඒ සඳහා කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600ක් පමණ තෝරාගෙන තිබෙන අතර එම ඉදිකිරීම් කටයුතු ලබන වසරේ දී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.

වෙන්නායි IIT Madras Research Park හි සභාපති මහාචාර්ය අශෝක් ජුනුජුන්වාලා (Prof’ Ashok Jhunjhunwala),, ඉන්දියාවේ බලශක්ති පරිසර හා ජලය පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අරුණභා ඝෝෂ් (Dr. Arunabha Ghosh), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), ආචාර්ය රොහාන් පෙතියාගොඩ,

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති සහ ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආනන්ද මලවතන්ත්‍රි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විදේශීය සංවිධාන නියෝජිතයින්, ව්‍යපාරිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment