උසාවියට අපහාස කළා ද? – හිරුණිකාට එරෙහි නඩුව ජුනි 14දා කැඳවයි

78

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක සැකකරුවකු වන ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍යට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයේ යැයි ඇයට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුනි 14 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (08දා) දින නියම කළේය.

ඒ. ජේ. මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයකු වන හාර්ඩි ජමල්ඩින් මහතා විසින් ගොනුකර තිබූ එම නඩුව, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහෙන්ද්‍රන් යන මහත්වරුන් හමුවේ ඊයේ (08දා) කැඳවිණි.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින එම නඩු කටයුත්ත සම්බන්ධයෙන්, වගඋත්තරකාරිය මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය මගින්, ඇය යුක්තිය පසිඳලීමේ කාර්යය සිදුකරන අධිකරණ ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්වීමක් සිදුකර ඇති බවත්, එමගින් වගඋත්තරකාරිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, හාර්ඩි ජමල්ඩින් මහතා සිය පැමිණිල්ල මගින් කියා තිබිණි.

සිය සේවාදායිකාව අධිකරණයට අපහාස වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, එලෙස ඇය යම් අපහාසයක් සිදුකළේ නම් ඒ බව ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා හෝ නීතිපතිවරයා අධිකරණයට පැමිණිලි කළ යුතුව ඇති බවත්, වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පර්මාන් කාසිම් මහතා අධිකරණයට පැවසීය.

වගඋත්තරකාරිය මාධ්‍ය හමුවේ සිදුකළ එම ප්‍රකාශය මගින් නිශ්චිතවම එම නඩුකරය සම්බන්ධයෙන් එම ප්‍රකාශය කරනා බව පවසා ඇති දැයි පැමිණිලිකාර පාර්ශ්වයේ නීතිඥවරයාගෙන් විමසූ සාමාජික විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා දේශපාලන ක්‍රියාකාරිනියක වන වගඋත්තරකාරිය නිශ්චිතව එම නඩුව සම්බන්ධයෙන්ම එම ප්‍රකාශ කළ බව පැමිණිල්ල මඟින් තහවුරු කර ඇති දැයි වැඩිදුරටත් විමසා සිටියේය.

උගත් මහෙස්ත්‍රාත්වරයා අයුතුසහගත ලෙස හෝ නීතිවිරෝධි ලෙස පෙත්සම්කාර සැකකරුට ඇප දී ඇති බව වගඋත්තරකාරිය නිශ්චිතව ප්‍රකාශ කර ඇති බව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්ෂි මගින් තහවුරු කර ඇත්තේ දැයි විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා පෙත්සම්කරුගේ නීතිඥවරයාගෙන් විමසා සිටියේය. උගත් මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම සැකසහිත බව හැඟෙන පරිදි ඇය එම මාධ්‍ය හමුවේදී කරුණු දක්වා ඇතැයි පෙත්සම්කරු නෙුවෙන් පෙනී සිටි නීතිඥ සිඩ්නි ප්‍රේමතිරත්න මහතා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment