අප නොබැඳි පිළිවෙතක සිට රටට අවශ්‍ය සියලු පහසුකම් ලබා ගැනීමට කටයුතු කරනවා – විදේශ ඇමැති අලි සබ්‍රි

26

මහ බැංකුව කැඩුවා වගේ විසිපස්ගුණයක පාඩුවක් වීසා ගනුදෙනුවෙන් වෙලා – නලින් බංඩාර (සජබ)
ගිවිසුම් ගැන තීරණ ගැනීමේදී ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි – ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් ලොව සියලු රටවල් සමග එක්ව නොබැඳි පිළිවෙතක සිට අප රටට අවශ්‍ය සියලු වරප්‍රසාද පහසුකම් ලබා ගැනීමට කටයුතු කරන බව විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ වූ අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග හා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත යටතේ වූ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝග පිළිබඳ විවාදයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

මෙහිදී විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

ජාත්‍යන්තර සංවිධාන දෙකක් සහ විදේශ අමාත්‍යාංශය යම් ගිවිසුමකට එළැඹෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය අනුව යම් යම් වරප්‍රසාද හා මුක්තිය ලබාදීමට බැඳිලා ඉන්නවා. මේ අනුව ආයතන තුනක් යටතේ මෙහි ක්‍රියාකාරිත්වය සිදුවෙනවා.

ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම සඳහාත් ලංකාවේ පරිසරය රැකගැනීම සඳහාත් එක් ආයතනයකින් කටයුතු කරනවා. දෙවන ආයතනයෙන් ශ්‍රී ලංකාව තුළ පරිසරයට හිතකර මූල්‍ය පහසුකම් ලබා ගැනීමටත් තෙවනුව ජාත්‍යන්තර පරමාණු බශක්ති අධිකාරිය මගින් න්‍යෂ්ටික බලය ලබා ගැනීමට පරිසරය සකස් කිරීම සිදුවෙනවා.

මෙවැනි වැදගත් ආයතන ලංකාවට කැඳවාගෙන ඔවුන්ගේ දැනුම, හැකියාව, මුදල් හා ජාලය පාවිච්චි කරනවා. අප අවශ්‍ය පහසුකම් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආයතන සමග ගිවිසුම් අත්සන් කරනවා. ඒ අනුව අපට යම් යම් වරප්‍රසාද ලැබෙනවා.

අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපේ රටේ ස්වෛරීත්වය හා ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් බටහිර හා නැගෙනහිර ඇතුළු ලොව සියලු රටවල් සමග නොබැඳි පිළිවෙතක සිට අපට අවශ්‍ය සියලු වරප්‍රසාද හා පහසුකම් ලබා ගැනීම සඳහාත් ආර්ථික වශයෙන් ලංකාවට ආනයනය හා අපනයන පහසුකම් ලබා ගැනීමත් විදේශ ආයෝජන ලබා ගැනීමටත් කටයුතු කරනවා.

ඉරානයේ මහන් එයාර් ගුවන් ගමන් ආරම්භ කරනවා. ඒ අනුව ඉරානයෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට ක්‍රියා කරනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බංඩාර (සජබ) :

පසුගිය ආණ්ඩුව කාලේ මහ බැංකුව කොල්ලකෑවා කියලා චෝදනා කළා. එහි පාඩුව රුපියල් බිලියන 10ක් විතර. ඊට වඩා විශාල ගුණයක පාඩුවක් හා වංචාවන් වාර්තා වුණා. වීසා ගනුදෙනුව නිසයි රටට පාඩු වුණේ.

වීසා නිකුත් කිරීමට වී.එෆ්.එස්. ආයතනයට වසර 10කට ඉඩ ලබාදීමට ගිවිසුම් ගතවීමට යෝජනා වී තිබුණා. ඊට කැබිනට් අනුමැතිය ලැබුණා. 2035 වනවිට සංචාරකයන් මිලියන 5.4ක් එයි කියා හිතනවා. ඒ අනුව ආයතනයට ඩොලර් මිලියන 841ක් ලැබෙන පරිදියි මේ ගිවිසුම අනුමත වී තියෙන්නේ. වීසා ගාස්තුව නැතිව සේවා ගාස්තුව පමණක් එම මුදල. වීසා එකකට ඩොලර් 18.50ක් ගෙවනවා. සේවාව වෙනුවෙන් මේ වනතෙක් මේ සේවාවට ගෙව්වේ ඩොලර් 1යි. ඩොලර් 15කට එතන ගැහිල්ලක් මෙතන තියෙනවා. මහ බැංකුව කැඩුවා වගේ විසිපස්ගුණයක පාඩුවක් මෙතන තියෙනවා.

වීසා ගාස්තු රහිත රටවල් තියෙනවා. ඒ රටවලිනුත් නව ක්‍රමය යටතේ වීඑන්එස් එකට යනවා. ඒක අපේ රටට ලැබෙන්නේ නෑ. ආගමන විගමන නිලධාරීන් ගෙන්වා වහාම පරීක්‍ෂණයක් කරන්න. සුළුවට තකන්න එපා. වහාම නිවැරදි කරනවා වගේම හොරකම පිටුපස සිටින අයත් සොයාගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා :

ඛනිජ තෙල් ආනයනය හා නිෂ්පාදන බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමට රජය ගත් තීරණය ඉතා හොඳයි. තරග කළ හැකි ආයතන රැසක් ඇති වුණා. තරගකාරිත්වය හොඳ දෙයක්. සංස්ථාවටත් ඒ තරගය තුළ හොඳ සේවාවක් දිය හැකියි.

සංස්ථාව ගෙන්වන ගුවන් යානා තෙල්වල මිල අනෙක් රටවලට වඩා වැඩියි. අපෙන් තෙල් ගැනීම පාඩු නිසා ගුවන් යානා වෙන රටවලට ගිහින් තෙල් ගැහුවා.

නිදහසින් පසුව අපි කාලීන වෙනස්කම් එකක් ආර්ථිකය දිහා බැලුවේ නෑ. 1990 වනවිට ඉන්දියාව හිටියේ අපේ තත්ත්වයේමයි. නමුත් පූර්ණකාලීන විශාල දියුණුවකට ආවේ ආර්ථිකය ගැට ගසා ඇති තැන් ලිහුවා. අපි ආයතන ගැටගසාගෙනම හිටියා. ආයතන පාඩු ලැබූ නිසා බදුවලින් ඒවා පියවා ගන්න වුණා. අද ආර්ථිකයට අයිඑම්එෆ් එක මතම රැඳෙන්න වෙලා තියෙන්නේ කාගෙවත් වරදක් නිසා නොවෙයි. අපේම වැරැදි නිසයි. ආර්ථිකය වෙනස් කළ යුතුයි කියලා එදා හිටන්ම මම කිව්වා. නිලධාරීන් අලුත් අදහස් රජයන්ට ගේන්නෙ නෑ.

පත් කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) :

ජාත්‍යන්තර සංවිධානය රටට ඇතුලුවීම හොඳයි. නමුත් අපි ගිවිසුම් ගැන තීරණ ගැනීමේ දී ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ජාතික ප්‍රතිපත්තිය අනුව තමයි ගිවිසුම් හෝ තීරණ ගත යුත්තේ. ආණ්ඩුවේ නියෝජිතයන් විපක්‍ෂයේ දී සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට විරුද්ධ වෙනවා. බලයට ආවාම ඊට එකඟ වෙනවා. දේශපාලන තීන්දු තීරණ මතයි මේ වෙනස්වීම් වන්නේ.

පසුගිය කාලය තුළ විධායක බලය විසින් හැම බලයක්ම අතට අරන් ක්‍රියාත්මක කළා. අමාත්‍යාංශ නිලධාරීන්ට ක්‍රියාත්මක වීමට බැරිවුණා. විධායකය, ව්‍යවස්ථාදායකය ජනතාවගෙන් දුරස් වෙනවා.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක (සජබ) :

විදෙස් රටවල් සමග විවිධ ගිවිසුම් අත්සන් කරනවා. මේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවාද කියා ප්‍රශ්නයක් තියෙනවා. අවබෝධතා ගිවිසුම් නිසා රටට යහපතක් වෙනවානම් හොඳයි. එහෙත් අත්සන් කිරීම පමණක් වන්නේ නම් ඉන් ඵලක් නෑ.

සප්තා ගිවිසුම පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්න කොමිටි පත් කළා. ඒවායින් ප්‍රයෝජන ගන්නවාද කියා ප්‍රශ්නත් තියෙනවා. මේවා ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට අවශ්‍ය අය පළපුරුද්ද ඇති අය යැවිය යුතුයි. විශ්‍රාමික අය හෝ දේශපාලන පත්වීම් කිරීම සුදුසු නෑ. විශ්‍රාමික සුවය ලැබීමට හෝ නිවාඩු ගත කිරීමට පුද්ගලයන් පත්කර යැවිය යුතු නෑ.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර :

අර්බුදකාරි අවස්ථාවක වුවත් රටට වැදගත් පනත් රැසක් සම්මාන කරගන්න හැකිවුණා. විපක්‍ෂයේ සහාය නැතත් ආණ්ඩුව සම්මත කරගත්තා. අපේ රටේ විදුලිය ගැන තමයි වැඩිපුර කතා කරන්නේ. විදුලි බිල වැඩිවීමට හේතුව කාලීනව විදුලිබලාගාර ඉදිනොවීමයි. විදුලි බිල වැඩිවන විටත් බලාගාර ඉදිකරලා බිල අඩු කරන්න යනවිටත් විපක්‍ෂය කෑ ගහනවා.

උමාඔය අවුරුදු 7ක් ප්‍රමාදයි. ඒ අවුරුදු හතේම අඩුපාඩු වන විදුලිය මිලදී ගන්න වුණා. විදුලි බිල දැනෙන්න අඩු කරන්නනම් විදුලි බලාගාර ඉදිවිය යුතුයි. සාම්පුර් බලාගාරයෙන් විදුලිය මිලදී ගන්නේ අඩුම මිලකටයි. ඇමරිකානු ඩොලර් සත 8.2කට තමයි ඒකකයක් මිලදී ගන්නේ. එය අඩු මිලක්. සමහරුන්ට මේ අර්බුදය සටන්පාඨ කරගෙනයි යන්නේ. අදානි ව්‍යාපෘතිය තුළින් විදුලි බිල දැනෙන ලෙස අඩු කළ හැකි බලාගාරයක් වෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල :

2021 දී ඛනිජ තෙල් සම්පත් පනත හදලා ගවේෂණ ක්‍රියාවලිය ඇරැඹුණා. මෑතකදී ගවේෂණ ක්‍රියාවලිය ගැන අහන්න ලැබුණේ නෑ. නුදුරු අනාගතයේ දී ඛනිජ තෙල් ඉල්ලුම අඩුවෙනවා. අපේ මහ පොළොවේ සැඟවී තියෙන ඛනිජ තෙල් සම්පත ප්‍රයෝජනයක් නැති සම්පතක් බවට පත්වීමේ අවදානමක් තියෙනවා.

පවතින ආර්ථිකයෙන් ගොඩ යෑමටත් ඛනිජ සම්පත්වලින් ප්‍රයෝජනයක් ගැනීමටත් ගවේෂණ කටයුතු ඉක්මනින් සිදුකිරීමට හැකිවේවා කියලා ආණ්ඩුවට ප්‍රාර්ථනා කරනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අපි එකඟයි. කාර්යක්ෂම ආයතනයක් බවට පත්විය යුතුයි. සමහරු කිව්වා ඇමැති පත්වීම් කරන්නේ ඒ නිස ස්වාධීන විය යුතුයි කියලා. අපි ඒකට විරුද්ධයි. දේශපාලකයන් ඉවත් කරලා දෙන්නේ නිලධාරීන්ටයි. දූෂිත නිලධාරිනුත් ඉන්නවා. දේශපාලකයා නිලධාරියාට වඩා වගකීමකින් ක්‍රියා කරන්නේ.

මහ බැංකුව ස්වාධීන කරන්න පනතක් ගෙනාවා. එයින් ජනතාවට වගකියනවා වෙනුවට ජාත්‍යන්තරයට වගකියන ආයතනයක් බවට පත් වුණා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් පනත කප්පාදු කළා. එසේ කරමින් ලක්‍ෂ ගණනින් පඩි වැඩි කරගත්තා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් (සජබ) :

ඉන්ධන බෙදාහැරීමේ ඒකාධිකාරිය නවත්වලා කියලා ආණ්ඩුව කියනවා. හැම දෙයක්ම පිටස්තරයන්ට ලබාදීමට ආණ්ඩුව කියන්නේ ඒකාධිකාරිය නවත්වනවා කියලා.

ඒකාධිකාරිය කැඩීමේ අදහස මත ගුවන් තොටුපළේ වීසා නිකුතුව පෞද්ගලික අංශයට දීම තුළින් පාඩු වෙන්නේ සංචාරක ක්‍ෂේත්‍රයටයි. හරින් ප්‍රනාන්දු බොරුවට කැබිනට්ටුවේ කෑ ගහන්නේ නැතිව පාර්ලිමේන්තුවට ඇවිත් කළු සාටකයක් දාගෙන ප්‍රකාශයක් කරනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන (සජබ) :

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700 දෙන්න බැහැ කියලා හාම්පුත්තු කියනවා. මොවුන් වතු ඉඩම් ගත්තේ රජයෙන්. ඉඩම්වලින් ලැබෙන ලාභය කෝටි ප්‍රකෝටි ගණන්. ඒවා පිටරට බැංකුවල දාගෙන රටට ගේන්නේ නෑ. ජනතාවගේ ඉඩම් කොම්පැණිවලට දීලා. දලු කඩලා විකුණන මුදල් බැංකුවලට දාලා. රජය තීරණයක් ගත්තාම වැටුප් වැඩිකරන්න අයිතිකාරයෝ විරුද්ධ වෙනවා. ආණ්ඩුව මේ ගැන තීරණයක් ගත යුතුයි.

පාර්ලිමේන්තුව අද (9 දා) පෙරවරු 9.30ට රැස්වෙයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment