උතුරේත් දකුණේත් බලය වෙනුවෙන් ජාතිවාදය නැවත කැරළි ගහන්න පටන් අරන්
ආර්ථික අතින් බංකොළොත් වූ රාජ්‍යයක අපිට කොහෙන්ද නිදහසක්
යළි යුද්ධයක් ඇති නොවන සමාජයක් අපි හදමු
අපි ඇති තරම් ලේ හලපු ජාතියක්
යුද්ධයේ වේදනාව බිහිසුණුකම අපි අත්වින්දා

රට වෙනුවෙන් ජීවිතයම කැප කළ රණවිරුවන්ට අප ණයගැතියි - ජනපති රණවිරු සැමරුම් උළෙලේදී කියයි

හමුදා නිලධාරීන් අත තිබෙන ගිනි අවිය තවත් කෙනකුට එරෙහිව එසවීමට අවශ්‍යතාවක් නොලැබෙන සමාජයක් බිහිකිරීම රජයේ අධිෂ්ඨානය බවත් යුද්ධය ඇතැම් පිරිස්වලට ආශ්වාදයක් වුවත් පොදු සමාජයටම එය ඛේදවාචකයක් පමණක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19දා) පැවති 16වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවයේදී කීවේය.

රට වෙනුවෙන් ජීවිතයම කැප කළ රණවිරුවන්ට අප ණයගැතියි - ජනපති රණවිරු සැමරුම් උළෙලේදී කියයි

තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය හේතුවෙන් මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් අභිමානවත් අයුරින් සංවිධානය කර තිබුණු රණවිරු සමරු උළෙල සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, හමුදා නිලධාරීන් හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් හා දිවි අහිමි වූ රණවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

රට වෙනුවෙන් ජීවිතයම කැප කළ රණවිරුවන්ට අප ණයගැතියි - ජනපති රණවිරු සැමරුම් උළෙලේදී කියයි

බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය අබියසදී ඊයේ (19දා) සවස පැවති 16 වැනි ජාතික රණවිරු දින සැමරුම සඳහා එක් වූ ජනාධිපති හා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා පොලිස් පෙර ගමන් රථ පෙරටු කරගනිමින් රණවිරු ස්මාරකය පිහිටි ස්ථානය වෙත පැමිණියේය.

රට වෙනුවෙන් ජීවිතයම කැප කළ රණවිරුවන්ට අප ණයගැතියි - ජනපති රණවිරු සැමරුම් උළෙලේදී කියයි

එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ තීරණාත්මක යුද ජයග්‍රහණය සමයේ ත්‍රිවිධ හමුදාපතිවරු වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා (යුද), අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ (නාවික), මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක (ගුවන්) යන මහත්වරුන් විසිනි.

ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම පෙරටු කරගත් යුදබිමෙදී ආබාධිත වූ රණවිරුවන්, හමුදා නිලධාරීන් හා ශිෂ්‍යභට බළකායේ ශිෂ්‍යයන්ගෙන් සමන්විත ආචාර පෙළපාළියක් පැවැත්විණි.

රට වෙනුවෙන් ජීවිතයම කැප කළ රණවිරුවන්ට අප ණයගැතියි - ජනපති රණවිරු සැමරුම් උළෙලේදී කියයි

ඉන් අනතුරුව සර්ව ආගමිකවතාවත් සිදුකෙරිණි.

මෙහිදී උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.

දශක ගණනාවක් අපේ රට යුද්ධයකට පැටලී තිබුණා. එම යුද්ධය අපේ රටට, රටේ ජනතාවට විශාල විනාශයක් ඇති කළා. එම යුද්ධය මීට වසර ගණනාවකට පෙර අවසන් කිරීමට අපට හැකි වුණා. එම යුද්ධයේදී මියගිය හමුදා නිලධාරීන් අපි අද සිහිපත් කරනවා. මෙය යුද්ධය අවසන් කිරීමේ සැමරුමක් වගේම අපේ රටේ යළි යුද්ධයක් ඇති නොවීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අපේක්ෂාවෙන් සිටින මොහොතක්.

අපේ රටේ රණවිරුවන් විශාල පිරිසක් යුද්ධය නිසා අපට අහිමි වුණා. මේ පුවරු පිරෙන්න ඔවුන්ගේ නම් ගහලා තිබෙනවා. විශාල පිරිසක් ආබාධිත වුණා. අදත් අපි අතර සිටිය විශාල පිරිසක් අපට අහිමි වී තිබෙනවා. ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් මේ යුද්ධය අවසන් කිරීම සිදුකළ මෙහෙවරේදී විශාල සේවයක් කළා. මේ පිරිස හැමදාමටත් ණය ගැතියි.

යුද්ධය කියන වචනයට තියෙන්නේ යුද්ධය විතරයි. යුද්ධය විශාල විනාශයක්. මේ යුද බිමේදී සක්‍රියව සටන් කළ ඔබ අහනවා මේ යුද්ධය මොනතරම් විනාශකාරීද කියා. හැබැයි මේ සටන් කළ කිසිවෙක් යුද්ධ කළේ යුද්ධය අපේක්‍ෂාවෙන් නොවෙයි. සාමය වෙනුවෙනුයි.

පියවරු අහිමි වූ දරුවන්, දරුවන් අහිමි දෙමාපියන්, ස්වාමියන් අහිමි බිරින්දෑවරුන් තවමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මේ පුවරුවල තම පුතාගේ, ස්වාමියාගේ, පියාගේ නම හොයන අය මා දකිනවා. අභිමානයක් සහිතව එසේ මේ වේදනාවෙන් ඥාතීගේත් නම් හොයනවා.

මෙහේ විතරක් නොව උතුරෙත් ඥාතීන් තම දරුවන්ගේ ඡායාරූප තියාගෙන පාරේ විලාප තියනවා. ඒ අයත් අපි වගේමයි. අපේ වගකීම වන්නේ යළිත් එවැනි යුද්ධයක් ඇතිවීම වැළැක්වීමයි. අපේ පරම්පරාව යුද්ධ කර තිබෙනවා. ගහගෙන තියෙනවා. නමුත් අපේ දරුවන්ගේ පරම්පරාවට එවැනි රටක් අපි බිහි නොකළ යුතුයි. යහපත් මිනිසුන් ලෙස අපි කළ යුත්තේ සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. යළිත් එවැනි තත්ත්වයක් මේ මාතෘභූමිය තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි.

යුද්ධයෙන් තොර රාජ්‍යයක් තමයි ඒ අත්දැකීම්වලින් අපි ළඟා කර ගත යුත්තේ. යුද ස්මාරකය ළඟ හිටගෙන අපි කළ යුත්තේ එවැනි යුද ගැටුම්වලින් තොර සාමකාමී සමාජයක් බිහි කිරීමයි.

මෙහි සිටිනවා තම දෙපය බිම තබා ඇවිදින්න බැරි සෙබළුන්. අවුරුදු 30ක පමණ කාලයක් ඇඳක් මත ජීවත්වන සෙබළු ඉන්නවා.

රට තුළ විටින් විට බලය ලබාගැනීම, බලය ආරක්‍ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් යුද ගැටුම්, ජාතිවාදය, අන්තවාදය උපයෝගී කර ගන්නවා. මේ කිසිවක් ස්වභාවිකව ඇතිවූවක් නොවේ. තමන්ගේ බලය ආරක්‍ෂා කර ගැනීම හා ලබාගැනීම සඳහාත් තමන් විසින් අපරාධ වසන් කර ගැනීම සඳහාත් එය උපයෝගී කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාෂල් වසර දෙකහමාරකට වැඩි කාලයක් සිරගත වී සිටීමට හේතුවක් නැහැ. එම අවධියේ දී ඔහු හා මම ඉතා සමීපව ඇසුරු කළා. ඒ තිබුණේ බලය මිස නීතිය යුක්තිය නොවෙයි. මේ අයුරින් ඉතිහාසය ගැටුම් හා යුද්ධ බලය ලබාගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. ඒවායේ වින්දිතයන් බවට උතුරේත්, දකුණේත් අපේ දරුවෝ පත්වී තිබෙනවා.

මෙවැනි යුද්ධයක් ඇති කිරීම සඳහා කිසිදු සහයක් නොදුන්, දුන් අම්මා තාත්තාගේ දරුවෝ මියගියා. මෙහෙත් එහෙමයි. එහෙත් එහෙමයි. ඒ නිසා අපි හැමෝම දැන් හොඳින් තේරුම්ගත යුතුයි යුද්ධය යනු ඛේදවාචකයක් කියලා. සමහරු පරාජිත කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියලා. ඒ ඔවුන්ට පොදු සමාජයට එහෙම නොවෙයි. අපි හැමෝම එකවර නැඟිට සාමය අවශ්‍යයි කියා හඬ නැඟිය යුතුයි.

සාමය පාවාදීමේ ලකුණක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. එය නොවිය යුතුයි. අපි ස්ථිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්.

තම බලය ආරක්ෂා කර ගැනීමට යුද්ධයේ ආශ්වාදය ලබන අය අපි ප්‍රතික්‍ෂේප කළ යුතුයි. හැම හමුදා නිලධාරියාගේම අපේක්‍ෂාව තම අත තිබෙන අවිය කොයි මොහොතකටවත් පාවිච්චි කිරීමට සිදු නොවේවායි කියලායි.

අපේ ස්ථාවරය වන්නේ ඔබ අත තිබෙන ගිනි අවිය තවත් අයකුට එරෙහිව එසවීමට අවස්ථාව නොලැබෙන රටක් බිහි කිරීමයි. අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ.

අපි ඇති තරම් ලේ හලලා තියෙනවා. ගංගා රුධිරයෙන් ගලා යන තරමට අපි ලේ හලලා තිබෙනවා. ඒ වගේම කඳුළු යුද්ධයේ බිහිසුණුකම හොඳින් දැකපු අපි, එවැනි යුද්ධයක් ඇති නොවීමට කටයුතු කළ යුතුයි.

අපිට තවත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා. යුද්ධය අවසන් කිරීම වගේම සාමය ස්ථාපිත කිරීම නොඑසේ නම් අපි අර්ධ ජයග්‍රහණයකින් පූර්ණ ජයග්‍රහණයක් වන්නේ සාමය ස්ථාපිත වුණොත් පමණයි. ඔබ අනාගතයේදී සාමය ස්ථාපනය කිරීමේ පිරිසක් බවට පත්වන්න කියා මා හමුවන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ඔබගේ ඥාතියාට, දරුවාට ඉටු කළ හැකි හොඳම සාධාරණය අපි සාමය ස්ථාපනය කිරීමයි. අපි දරුවන්ට යුද්ධයක් ඇතිවීමේ බියක් ස්ථාපනය නොකළ යුතුයි.

උතුරෙත්, දකුණෙත් බලය වෙනුවෙන් ජාතිවාදය පටන් ගෙන තිබෙන්නේ. මාතෘ භූමියේ නිදහස වන්නේ කුමන හෝ දෙයකට බියක් සැකක් නැතිව ජීවත් වීමට හැකිවීමයි.

අපි ආර්ථික වශයෙන් බංකොලොත් වූ රටකට කොහෙද නිදසක් තිබෙන්නේ. මේ මාතෘභූමිය ලෝකය ඉදිරිපිට අභිමානවත් ජාතියක් පත් කර ගැනීමට නම් මේ ආර්ථික පරිවර්තනයට යා යුතුයි.

අපේ රට අපරාධ වසංගතවලින් තොර රටක් බවට නිර්මාණය කළ යුතුයි. එවිටයි ශක්තිමත් නිදහසක් ලැබෙන්නේ. මේ මාතෘභූමියටත්, මේ අපේ ජනතාවටත් අපි අනුලංගනීය ලෙස ප්‍රේම කරනවා. ඒ සඳහා සාමය සංහිඳියාව අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් ගත හැකි හැම තීරණයක්ම නිර්භීතව ගත යුතුයි.

මේ යුද්ධය අවසන් කිරීමට දිවිදුන් විරුවන් හා ආබාධිත වූ සොල්දාදුවන් හැමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීය ලෙස සලකනවා. ඔබ විසින් පෙන්වා දුන් කැප කිරීම මේ රට යළි ගොඩනැඟීමට අපට විශාල ශක්තියක්.

අප සැම එකතුවී නව යුද්ධයක් නිර්මාණය කරමු. ඒ මේ රට ගොඩනැඟීමටයි. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් රණවිරු ස්මාරකය වෙත මුලින්ම පුෂ්පෝපහාර දැක්වූ අතර ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් අනෙකුත් අමුත්තන් ඊට පුෂ්පෝපහාර දැක්වූහ.

ඉන් අනතුරුව මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ මව්වරුන්, බිරින්දෑවරුන්, දූ දරුවන්, සහෝදරයන් ඇතුළු ඥාතීන් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව අතිශයින්ම සංවේදී දසුනක් විය.
කමල් බෝගොඩ


advertistmentadvertistment