ලංකා සීනි සමාගම
බුත්තල සහ පැල්වත්ත කර්මාන්ත
ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
නුවන් ධර්මරත්න
පැල්වත්ත සහ සෙවනගල ආයතන වැටෙන්නට දෙන්නේ නෑ
වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති – ආර්. එම්. ජයවර්ධන
විදෙස් රටවලින් සීනි ආනයනය කිරීම නිසා ලංකා සීනි සමාගමේ සීනි අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ලංකා සීනි සමාගමට අයත් බුත්තල සහ පැල්වත්ත කර්මාන්තවල ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා පවසයි. ඒ මහතා තවදුරටත් මෙසේද කියා සිටී.
සීනි මෙටි්‍රක් ටොන් දහසය දහස් පන්සියයක් පමණ අලෙවි නොවීම නිසා ගබඩාවල ගොඩගැහිලා. මේ වන විට සීනි කිලෝවක තොග මිල රුපියල් දෙසිය දහඅටක්. කලින් එතනෝල් ලීටරයක් රුපියල් එක් දහස් දෙසියය දක්වා ඉහළ ගිය අතර දැනට ලීටරයක මිල රුපියල් පන්සිය අසූව දක්වා පහත වැටී ඇති නිසා එතනෝල් සියල්ල අලෙවි වෙනවා.
එම තත්ත්වය මත නිෂ්පාදිත එතනෝල් අලෙවිය පිළිබඳව ප්‍රශ්නයක් පැනනැගී නැහැ. නමුත් එතනෝල් වලින් ලැබෙන ලාභය අඩුවෙලා. ආයතනයේ බැංකු අයිරාව රුපියල් එක් කෝටි එක්දහස් දෙසියයක් පමණ වෙනවා. සේවක අර්ථ සාධක අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලට යැවිය යුතු මුදල් ඇතුළු කෝටි තුන්දහසක් ගෙවීමට තියනවා.
මේ වන විට මෙම කන්නයේ උක්ගස් කැපීම ආරම්භ කර ඇති අතර ගබඩාවල තිබෙන සීනි අලෙවි නොවුණහොත් ඉදිරියේදී නිෂ්පාදිත සීනි ගබඩා කිරීමට ගබඩා පහසුකම් පවා නෑ.
පාලනයකින් තොරව විදේශ රට වලින් වර්ෂයකට සීනි මෙටි්‍රක් ටොන් හැටදහසක් පමණ ආනයනය කිරීම නිසා ලංකා සීනි සමාගමේ නිෂ්පාදනය කරන සීනි අලෙවි නොවන තත්ත්වයක් උදාවෙලා.
පැල්වත්ත සීනි කර්මාන්තායතනය මගින් උක්ගස් මෙටි්‍රක් ටොන් එකකට රුපියල් දසදහසක් සහ දුර ප්‍රමාණය අනුව ප්‍රවාහන දීමනාවක්ද ගෙවනු ලබනවා.
2025 වසරේදී සීනි මෙටි්‍රක් ටොන් තිස් හතරදහසක් පැල්වත්ත සීනි කර්මාන්තායතනයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතයි.
සේවක අතිරික්තය ද කර්මාන්තායතනයේ පිරිවැය වැඩිවීමට හේතුවෙලා. රජය වහාම මැදිහත්වී රටට සීනි ආනයනය කිරීම සීමාකොට දේශීය සීනි නිෂ්පාදනයන් රට තුළ බෙදාහැරීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව සේවකයෝ පවසති.
මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්. එම්. ජයවර්ධන මහතා,
රජයට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවල නිෂ්පාදිත සීනි අලෙවි නොවීම ඒවා පවත්වාගෙන යෑම ගැටලුවක් වෙලා. කර්මාන්ත ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට මෙම ආයතන දෙක ලාභදායී තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකි වාතාවරණයක් ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. කිසිම හේතුවක් නිසා මෙම ආයතන පෞද්ගලීකරණය කිරීමට බලාපොරොත්තුවක් නැහැ. ආයතන දෙක වැටෙන්නට දෙන්නේ නෑ.
උක් ගොවීන් සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන් ආරක්ෂා වන පරිදි සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කරනවා.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක