රතිඤ්ඤා පත්තු කරපු ජනතාව ගැන දුකයි

81

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භයක්

ලක් මාතාව නැමැති දරුවාව අනතුරුදායක තත්ත්වයට පත් කළේ කවුද?

රට අලුත් ඩ්‍රයිවර් කෙනකුට යන්නම ඕන

අලුත් සළුපිළි පොරෝගෙන පරණ නැට්ටුවෝ ඒවි, රැවටෙන්න එපා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතිය අමතමින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ වත්මන් තත්ත්වය පැහැදිලි කළේය. ඇතැමුන් එම කතාව කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා හා සමාන දෙයක් බව කීවේය. ඒ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය කියන්නේ කුමක්ද ?

ඒ ගැන දැනගැනීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ එම බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා මුණගැසුනෙමු. පහතින් පෙළගැසෙන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතා සමග සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජාතිය අමතමින් ලක් මාවතාව නැමැති දරුවා අනතුරුදායක වැල් පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙනා බව සඳහන් කළා. එම අදහස ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – ලක් මාතාව නැමැති දරුවාව අනතුරුදායක තත්ත්වයට පත් කළේ කවුද? ඇත්තටම මේ දරුවාව මෙතෙක් කලක් ආණ්ඩු කරපු අය විනාශ කර අවසන්. ඒ දරුවාව ණයකර අතපය විනාශ කර දෙන්න පුළුවන් දස වධ දී තිබෙන්නේ. ඇත්තටම දරුවාට ආදරේ නම් එහෙම කරන්න පුළුවන්ද. හැදූ අම්මයි වැදූ අම්මයි දෙගොල්ලම කරල තිබෙන්නේ ලක් මාතාව කියන දරුවා විකුණන් කාපු එක විතරයි. ලක් මාතාව විනාශ කර ඔවුන් ඔවුන්ගේ මඩිය තරකර ගෙන තිබෙනවා.

එහෙම කරපු අය දැන් එහෙම කියද්දී, ඒක පුද්ගලික අරමුණු වෙනුවෙන් කියන එක ඉතා පැහැදිලියි. මොවුන් මේ හදන්නේ දරුවා පෙන්නා බලය ගන්න හැදීමයි.

ප්‍රශ්නය – දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ලබා ඇති වත්මන් ප්‍රගතිය ආණ්ඩුව රටට සුබ ආරංචියක් ලෙස සඳහන් කරනවා. ඇත්තටම එහි වත්මන් තත්ත්වය සුබ ආරංචියක්ද?

පිළිතුර – අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නෙම රට තුළ අසුභ තත්ත්වයක් තිබුණ නිසයි. IMF යෑමේ මූලික අරමුණක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහනයක් ලබා ගැනීම. ජනාධිපතිවරයාගේ කතාවේ හරය ණය ගෙවීමට ඇති කාලය දිගු කර ගැනීම පමණයි. එසේ නොමැතිව ණය නොගෙවා සිටීම නොවෙයි. රනිල් වික්‍රමසිංහ කර ඇත්තේ අර්බුදය කල් දමා ගැනීම පමණයි. ණය කල් දමා ගැනීමේදී එම කාලයට පොලිය අය කරනවාද නැද්ද යන්න මෙතන හරි සඳහනක් නැහැ. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ අර්බුදය අනුර දිසානායකට භාර දෙන එක.

ප්‍රශ්නය – ඒක එහෙමනම් අනුර කුමාර දිසානායක කොහොමද ප්‍රශ්න විසඳන්නේ?

පිළිතුර – මේ ප්‍රශ්නය විසඳන්න වෙන්නේ රට තුළ නිෂ්පාදනය ඉහළ නැංවා ආදායම වැඩිකර ගැනීමෙන්. අපිටත් ණයට කාලා ජීවත් වෙන්න බැහැ. ඇත්තටම ණයවලින් ණය ගෙවලා මේ අර්බුදය විසඳන්න බැහැ.

ප්‍රශ්නය – වැටී තිබෙන රට කෙසේ හෝ ගොඩගැනීමේ උත්සාහයක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගනිමින් ඇති බව ඔහුගේ පාර්ශ්වයේ නිරන්තරයෙන් තියෙන කතාවක්. ජනාධිපතිවරයා පසුගියදා ජාතිය ඇමතීමෙන් අනතුරුව ඇතැම් තැන්වල රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූ මිනිස්සු අපි දැක්කා.

පිළිතුර – රතිඤ්ඤා පත්තු කර සතුටු වෙන්න දෙයක් ඔහු කරලා තිබෙනවාද. ඒවා පත්තු කරපු මිනිස්සු ඇයි අපි රතිඤ්ඤා පත්තු කරේ කියලා දන්නවද දන්නේ නැහැ. මීට කලිනුත් ඔය වගේ රතිඤ්ඤා පත්තු කරපු ජනතාව පසුව පසුතැවෙන බව අපි දැක්කා.

ප්‍රශ්නය – එදා රතිඤ්ඤා පත්තු කළ ජනතාව ගැන මොකද හිතන්නේ ?

පිළිතුර – දුකයි. ඒ මිනිස්සු කිසි දෙයක් නොදැන තමයි එහෙම කරන්නේ. ඇත්තටම ඒ මිනිස්සුන්ව රටේ ජනතාව සමාන කර කියන්න හොඳ නැහැ. එදා රතිඤ්ඤා පත්තු කළේ සිරිකොත ළඟ. රවී කරුණානායකලගේ, සාගලගේ, වජිරලාගේ ගෙවල් ළඟ. ණය කල්තබා ගැනීම එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දෙයක් නෙවෙයි. එය රටට ලැබුණු අවස්ථාවක්. ජයග්‍රහණයක් ලැබුණ නම් රතිඤ්ඤ පත්තු කළ යුත්තේ රටේ ජනතාව. දැන් රතිඤ්ඤ පත්තු කරන්නේ එක්සත් ජාතික පක්ෂය. ඇත්තටම දැන් රතිඤ්ඤා පත්තු කරන්නේ රනිල් වික්‍රමසිංහගේ කාලයේ අවසන්ව ණය ඊළඟ ආණ්ඩුවට කල් දමා ගැනීමේ ප්‍රීතිය වෙනුවෙන්.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා සිදුකළ සමස්ත කතාව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?

පිළිතුර – ඒ කතාව මම දකින්නේ ඔහුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල ආරම්භක කතාව ලෙස. ඒකේ හරය මම විතරයි ඉන්නේ, මට විතරයි පුළුවන්, මම නැති වුණොත් ඕගොල්ලන්ට මීට වඩා දුක් විඳින්න වෙනවා, ඒ නිසා මාව බලයේ තියාගන්න කියන එක.

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය යුද්ධය අලෙවි කර බලය ගත්තා. ඔවුන් නිරන්තරයෙන් මැතිවරණ සඳහා භාවිතා කළේ යුද්ධය සහ ජාතික ආරක්ෂාව. දැන් යුද්ධයක් පෙන්නන්න, නයි පෙන්නන්න, සාහරාන් පෙන්නන්න බැහැ. රනිල් වික්‍රමසිංහ දැන් පෙන්නන්නේ ඔවුන් විසින් හැදූ අර්බුදයයි. ඔවුන් හැදූ අර්බුදය ඔවුන් බලය ලබා ගැනීම වෙනුවෙන් දැන් භාවිතා කරනවා. කෙටියෙන් කියනවා නම් අර්බුදයම ඔවුන් ජයග්‍රහණයට භාවිතා කරනවා.

දැන් ආණ්ඩුව පෙන්නන්න හදන්නේ අර්බුදය ඇති කළේ අනුර කුමාර දිසානායක, ඒකෙන් රට බේරා ගන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා වගේ වැඩක්. මොන ප්‍රචාරාත්මක වැඩ කළත් රටේ ජනතාව දැන් ඇත්ත දන්නවා. මාධ්‍ය ප්‍රචාරවලට බොරු බේගල්වලට ජනතාව දැන් රවට්ටන්න බැහැ.

ප්‍රශ්නය – රට අර්බුදයක පවතින බව සැබෑවක් බවත් එවැනි අවස්ථාවක රට පාලනය කළ යුත්තේ පරිණත අයකු බව ආණ්ඩු පාර්ශ්වයෙන් කියවෙන කතාවක්. මේ බස් එකට අලුත් ඩ්‍රයිවර්ලා හරියන්නෑ කියලා තමයි කියන්නේ.

පිළිතුර – බස් එක අඳුරු ප්‍රපාතයකට ගෙන ගොස් හැප්පුවේ මේ පරණ ඩ්‍රයිවර්ලා තමයි. අර්බුද පැන නැගී රටවල් එම අර්බුදයෙන් ගොඩ ආවේ පරණ ඩ්‍රයිවර්ලා එක්ක ගිහින් නෙවෙයි. එවැනි අවස්ථා ජය ගත හැක්කේ අලුත් අත්දැකීම්වලින් පමණයි.

අප රටේ ජනතාව අලුත් අත්හදා බැලීමක් කරන බව අපට ඉතා විශ්වාසයි. අර්බුදයක් නොතිබ්බා නම් අලුත් ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ වෙන්නෙත් නැහැ. දැන් මිනිස්සු කියන්නේ ඕගොල්ලන්ටත් දීලා බලන්න ඕනා, මේ දෙගොල්ලොම රට කෑවා, මේ සේරම කර හැටි අපි දන්නවා, ඕගොල්ලන්ට විතරයි තාම දුන්නේ නැත්තේ වැනි කතා. ඇත්තටම ජනතාව අලුත් අත්හදා බැලීමකට සූදානම්. ඔවුන්ට පරණ තැනට යන්න අවශ්‍ය නැහැ.

අලුත් අත්හදා බැලීම් කළ යුත්තේ මෙවැනි අවස්ථාවකදීම තමයි. එවැනි ඇත්තදා බැලීම් ඵලදායක වෙන්නේ මෙවැනි අවස්ථාවක පමණයි. ලෝක ඉතිහාසයේ අර්බුදයන්ට පත්වූ රටවල් දෙස බලන්න. චීනය, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් නැගිට තිබෙන්නේ අර්බුදයක් අවස්ථාවේදී. ආසියාවේ නැගිටපු රටවල් සෑම එකක්ම පාහේ නැගිට ඇත්තේ අර්බුදයේදී. ලංකාවට විසි වැනි සියවස අත්හැරුනෙත් ඔය නිසාම තමයි. අපේ පාලකයෝ හැම තිස්සෙම ජනතාව අතීතයේ තමයි රඳවා තිබ්බේ. රජවරු කරපු දෙයකින් ඔවුන් වර්තමානයේ ජීවත් වුණා. මෑත කාලෙත් දුටුගැමුණුලා විහාර මහා දෙවිලා හදන්න හැදුවේ ඒ නිසයි.

ප්‍රශ්නය – අතීතයේ වටිනාකම් එපා කියලද ඔබ කියන්නේ ?

පිළිතුර – අපි කිසිවිටෙක අතීතයේ වටිනාකම් එපා කියන්නේ නැහැ. ඒ අතීත වටිනාකම්වලින් ජවයක් ගෙන අනාගතයටයි යා යුත්තේ. අපි කියන්නේ ඒකයි. නිදහස ලබද්දී ජපන් ආර්ථිකයට පමණක් පසු පසින් සිටි ශ්‍රී ලංකාව අද දුප්පත්ම රටවල් අතරට එක්වෙලා. මෙය අපි කරපු දෙයක් ද ? මේ මෙච්චර කල් රට පාලනය කළ කෙරුවාව තමයි.

අනුර දිසානායක සහෝදරයාගේ පාලනය තුළ ඔහුට පැවරෙන ප්‍රධාන වගකීම දේශපාලනයේ ගජ මිතුරු සම්බන්ධතාවය නැති කරන එක. ඒක කරන්න වෙන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන්. ඒක රනිල් වික්‍රමසිංහගේ කටින් පිට නොවන වචනයක්. සජිත්ට රාජපක්ෂලාට කතා කරන්න පුළුවන් වචනයක් නෙමෙයි ඒක. මතක තබා ගන්න අපේ පාලනයකදී අපි අනිවාර්යෙන්ම ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනවා. ඒ වගේම නීතියේ ආධිපත්‍යයත් අප අනිවාර්යෙන්ම ස්ථාපිත කරනවා. ආණ්ඩු කරපු අයට ඔය දේවල් කියන්න පුළුවන්ද. කිව්වත් මිනිස්සු පිළිගන්නේ නැහැ.

ප්‍රශ්නය – රට හමුවේ ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ඇති හොඳම කප්පිත්තා රනිල් වික්‍රමසිංහ මහතා බව ඇතැමුන් කියනවා. ඔබ ඔහුව දකින්නේ කොහොමද?

පිළිතුර – මම ඔහුව දකින්නේ බල ලෝභී මනුස්සයෙක් විදිහට පමණයි. රට ගොඩ ගන්න ඉන්න හොඳම කප්පිත්තා කියන අය ඇති. හැබැයි මෙන්න මෙහෙම කියන අයත් ඉන්නවා. රනිල් කියන්නේ කපටියෙක්. අන්තිම මොහොතේ හරි බලේ ඉන්න මොනවා හරි කරයි. මේ මනුස්සයා ඡන්දෙ තියෙන එකත් ෂුවර් නෑ නේද. අන්තිම මොහොතේ හරි ගේම් එකක් ගහයි. මිනිස්සු ඔහුට එහෙම කියනවා නේද. ඔහු බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මිනිහෙක්. ඔහු රටට ජනතාවට ආදරේ ඇති මිනිහෙක් නෙමෙයි.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ගැන මොකද කියන්නේ?

පිළිතුර – ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි. ඒ ගැන සැකයක් නැහැ.

ප්‍රශ්නය – රටේ ජනතාවට කියන්න තියෙන්නේ මොකක්ද?

පිළිතුර – ජනතාව දැන් ජාතික ජනබලවේගයට ඔවුන්ගේ ඡන්දය දෙන්න තීරණය කර අවසන්. මට ඔවුන්ට කියන්න තියෙන්නේ පරණ නැට්ටුවෝ අලුත් සළු පිළි පොරෝගෙන නැටුමට දැන් බැහැලා තිබෙන්නේ. විවිධ විවේචන එන නැට්ටුවන්ට නොරැවටී ඔබගේ තීරණය රැකගන්න. ජාතික ජනබලවේගය අනිවාර්යෙන් සියයට පනහ ඉක්මවා ඡන්ද ලබා ගන්න බව ඒකාන්තයි.

සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment