අරගලයෙන් රටට බලපෑම් කළේ විදෙස් බලවේග නොව අපේම ජනතාවයි – විමල්ගේ ප්‍රකාශයට කථානායකගෙන් පිළිතුරු

77

අරගල සමයේ මෙරට ස්වෛරීත්වයට බලපෑම් කළේ විදේශ බලවේග නොව අපේ රටේම ලක්ෂ සංඛ්‍යාත ජනතාව යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02දා) ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවසන සිදු වූ ජනතා නැගිටීම්වලට මුල විදේශ බලපෑම් බවත් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට දින දෙකක විවාදයක් ලබා දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කථානායකවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

එදින ජනතා ස්වෛරීත්වයට බලපෑම් කළේ අපේ රටේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවයි. මේ ගොඩනැඟිල්ලටත් තර්ජනය කරලා මේ ගොඩනැඟිල්ල විනාශ කරන්න ගිය විට බොහොම අමාරුවෙන් වළක්වා ගත්තා. ඔබ කියන විදේශ බලපෑම්වලින්ම ඒක සිද්ධ වුණා කියලා මට තොරතුරු නෑ. ඔබ කියන ආකාරයට විදේශ තර්ජනයක් නම් මම කොයි වෙලාවෙත් දැක්කේ නෑ. මම දැක්කේ මෙතැනටත් ඇවිත් අපි සියලු දෙනාටත් ජීවිත තර්ජන එල්ල කරපු ආකාරයයි. ඒක තමයි අපේ ස්වෛරීත්වයට කරපු බරපතළම හානිය.

ඒ වගේම මේ ගොඩනැඟිල්ල විනාශ කරන්නත් අපේ ජීවිත නැති කරන්නත් සූදානමක් තිබුණා. එය බරපතළ කාරණයක්. එවැනි අවාසනාවන්ත සිද්ධි යළි ඇති නොවෙන්න අපි කටයුතු කරමු. අපිත් දැනගන්න ඕනෑ අපෙන් විශාල අඩුපාඩු සිදු වෙන කොට තවත් පිරිසක් ඒකට ඇඟිලි ගහන්න බලා ඉන්න බව. ඒක නවත්වන්න අපට බැහැ. අරගල සමයේ මුල සිටම අපි දැක්ක දේ ඒකයි.

විමල් වීරවංශ මහතා,

අරගල සමයේ ව්‍යවස්ථාවට පිටින් ජනාධිපතිගේ වගකීම භාරගැනීම සඳහා දෙස් විදෙස් ඇතැම් කණ්ඩායම් බලපෑම් කරපු බව කථානායකතුමා විශ්වාස භංගයේ අවසන් දින ප්‍රකාශ කළා. ඒ වගේම ‘09 සැඟවුණු කථාව’ කියලා මම පොතක් එළිදැක්වූවා. ඒ පොතේ ඒ කරුණ මම විවෘතව එළිදැක්වූවා. ඔබතුමාට ඒ බලපෑම එල්ල කළේ කුමන තානාපති කාර්යාල ද කුමන තානාපතිවරයා ද සහ දේශපාලනඥයින්ද කියලා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොතෙත් සඳහන් වෙනවා දෙස් විදෙස් බලවේග නිසා ඔහුට ඒ තනතුර අතහැරයෑමේ තත්ත්වයක් ඇති කරන ලද බව. දැන් මේ කරුණ 03 සත්‍ය නම් මේක ඉතා බරපතළ තත්ත්වයක්. මේක මේ රටේ ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මේක අතීතයට පවරලා වෙච්ච දේ වුණා ඔන්න ඔහේ එච්චරයි දැන් අපි ඒ ගැන කථා කරලා වැඩක් නෑ කියලා හිතනව නම් ඒක මේ රටේ පරමාධිපත්‍ය හිමි මහජනතාවට කරන බරපතළ අවමානයක්.”

“ඒ නිසා මන්ත්‍රීවරයෙක් හැටියට මම කථානායක තුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ඇති වුණ සංසිද්ධිය පිළිබඳ. අපේ රටේ ස්වෛරීත්වයට බලපෑම් කළේ කවුද? ඒ අවස්ථාවේ ව්‍යවස්ථාවට පිටින් තීරණ ගන්න පෙළඹෙව්වේ කව්ද? ඒ අය කුමන අරමුණක් ඇතිව ඒක කරාද කියන කාරණය පිළිබඳ සාකච්ඡා කරන්න මේ සභාවේ ඉදිරි සතියක, දින දෙකක විවාදයක් දෙන්න. ඒ වගේම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති කොමිෂන් සභා පත්වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරීම් කාරක සභාවක් පත් කරන්න. එසේ කිරීමෙන් පමණයි බාහිර රටවලට ඕනේ විදිහට ලංකාවේ ඉරණම් කථාව ලියන්න කැසකවපු ඒ පාපි බලවේග පිළිබඳව කරුණු අනාවරණ කරන්න පුළුවන්.”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment