පෙට් පරීක්‍ෂණ සීමා කිරීමෙන් අපේක්‍ෂා රෝහලේ රෝගීන් පොරොත්තු ලේඛනයේ හිරවෙලා – පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ බලමණ්ඩලය

48

ක්‍රියාකාරී මට්ටමේ පවතින එකම ‘පෙට් ස්කෑන්’ යන්ත්‍රය වන මහරගම අපේක්‍ෂා රෝහලේ යන්ත්‍රයෙන් සිදුකරන පරීක්‍ෂණ සතියකට එක් දිනකට පමණක් සීමා වීමෙන් රෝගීන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිරවී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

රජයේ රෝහල් සතුව පවතින ‘පෙට් ස්කෑන්’ යන්ත්‍ර දෙකෙන් එකක් වන කොළඹ ජාතික රෝහලේ යන්ත්‍රය මාස 6 ක් තිස්සේ ක්‍රියාවිරහිත වී තිබේ.

එසේ තිබියදී මහරගම අපේක්‍ෂා රෝහලේ ‘පෙට් ස්කෑන්’ යන්ත්‍රයේ පරීක්‍ෂණ ද සීමා කිරීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත්, එම පරීක්‍ෂණ පෞද්ගලික රෝහල්වලින් සිදුකර ගැනීමේදී එක් පරීක්‍ෂණයක් සඳහා රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.

අපේක්‍ෂා රෝහලේ ‘පෙට් ස්කෑන්’ පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ‘එෆ්.ඩී.ජී.’ ඖෂධය දිනපතා සැපයීමට බලධාරීන් ක්‍රියාකරන්නේ නම් වැඩි ‘පෙට් පරීක්‍ෂණ’ ප්‍රමාණයක් කළ හැකි බව ද එම ඖෂධය ලබානොදී මෙම යන්ත්‍රයෙන් වෙනත් සී. ටී. සමාකරණ (CT Simulation) පරීක්‍ෂණ කිරීමට රෝහල් බලධාරීන් බලපෑම් කරමින් සිටින බව ද බලමණ්ඩලය පවසයි.

මෙම ‘පෙට් ස්කෑන්’ යන්ත්‍රයෙන් පෙට් ස්කෑන් නොකර වෙනත් පරීක්‍ෂණ කිරීමෙන් යන්ත්‍රයේ ක්‍ෂයවීම ශීඝ්‍ර කරන බවත් එසේ කිරීමෙන් කෝටි 45 ක් පමණ වටිනා මෙම යන්ත්‍රය ඉක්මනින් විනාශවීමේ අවදානමක් පවතින බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment