රන් තැටි සිද්ධියට භාරවූ කතරගම දේවාලයේ මහ කපුවාට ඇප

426

කතරගම දේවාලයට පූජා කර තිබූ රුපියල් අසූලක්ෂයක් පමණ වටිනා රන්තැටියක් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සොමිපාල රත්නායක නමැති ප්‍රධාන කපු මහතා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස තිස්සමහාරාම ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ (27 දා) නියෝග කළේය. 2024. 05. 13 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවටත් ඔහුට නියෝග කෙරිණි.

රන්තැටිය අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි සොමිපාල රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ පෙරවරු 7.30ට පමණ භාර වී තිබිණි.

පසුව සැකකාර ප්‍රධාන කපු මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට සැකකරු රැගෙන ගොස් තිබිණි.

ඉන්දියාවේදී මරුමුවට පත්වූ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ බිරිඳ විසින් රුපියල් අසූලක්ෂයක් පමණ වටිනා පවුම් 38ක බරින් යුත් රන්තැටිය කතරගම දේවාලයට පූජා කර තිබිණි.

මෙම රන්තැටිය වෙනුවට ව්‍යාජ තැටියක් කතරගම දේවාලයේ භාණ්ඩ ගබඩාව වෙත තබා එහි තිබූ රන්තැටිය කිසියම් පුද්ගලයකු රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලින් හෙළි විය.

මෙම රන්තැටිය අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායකට සහ පොඩි කපුවා වෙත චෝදනා එල්ල වී තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන කපුවා සහ පොඩි කපුවා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා නියෝගයක් කළේය.

ඒ අනුව ඊට සම්බන්ධ පොඩි කපුවා ඉකුත් සතියේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ නෙවිල් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ එහි ස්ථානාධිපති ඇන්සල් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු, දෙබරවැව ඒ. ඒ. ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment