2024 – ඔබේ ලග්නයට කොහොමද

24403

මේෂ – පවුල් දිවිය සුබයි

ලග්නාධිපති රවි සමග 9 වැන්නේ ද ශනි ස්වක්‍ෂේත්‍රව 11 වැන්නේ ද රාහු 12 වැන්න සහ ගුරු ලග්න ශනි ද සඳු 5 වැනි ද කේතු 6 වැන්න සහ බුධ සිකුරු සමග 8 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකී රක්ෂා තනතුරු ලාභ ලබයි. තත්ත්වයෙන් ඉහළට යන අතර වගකීම් බහුල වෙයි. තරමක් සතුරු බලපෑම් ඇති වෙයි. හදිසි ලාභ ද ලබයි. තම තැන්පත් ධනය වර්ධනය වෙයි.

පවුල් දිවිය ශුභයි. අඹුසැමි සුහදතාව ගෙන දෙයි. සාමය ගෙන දෙන ප්‍රශ්න ද ඇති වෙයි. ස්ථිර වාසස්ථාන ලබයි. නව නිවසකට ගෙවදීම එවැනි නිවසක් සෑදීම වැනි දේවලට හේතුයි. ආදර සබඳතා ප්‍රබල වෙයි. විවාහයකට හේතු දෙයි.

ප්‍රීති උත්සව සාද වැනි දේවල් බහුල වෙයි. අධ්‍යාපනයට හොඳයි. දෙස් විදෙස් සංචාර කිරීම් වැනි දේවලවලට හේතුයි. දේශක ව්‍යාපෘතිවල යෙදෙන්නන්ට හොඳයි. සෞන්දර්යාත්මක ක්‍රියාවන්ගෙන් ජය ප්‍රසාදය ගෙන දෙයි. ආගමික වැඩසටහන්වල යෙදෙන තම ඇසුරු කරන්නෝ ඒ සඳහා යොමු කරවන වසරකි.

ශාරීරික වේදනා, පපුවේ වේදනා සහ සිරසගත රෝග මතු කරයි. මධුමේහ රෝග, නහර දුර්වලතා වැනි දේවලට හේතුයි.

ශුභ වර්ණය – රතු, රන්වන්, ජය අංකය – 01, 05

පවතින පීඩා දුරු කර ගැනීමට පහත පූජාවන් මැනවි.

නිතර බෝධි වන්දනාව ද, බුද්ධ පූජා පැවැත්වීම ද මැනවි. ස්කන්ධ කුමරුට පුද පූජා පැවැත්වීම, බෝධි වන්දනාවේදී, තලතෙල් පහන් දල්වා මිශ්‍ර පාට මල් පුදා ආශිර්වාද ප්‍රාර්ථනාව මැනවි.

වෘෂභ – අධ්‍යාපනයෙන් ජය

ලග්නාධිපති සිකුරු බුධ සමග සංයෝගව 7 වැන්නේ ද රවි කුජ සමග 8 වැන්නේ ද ශනි 10 වැන්නේ ද රාහු 11 වැන්න සහ ගුරු 12 වැන්නේ ද සඳු 4 වැන්න ද කේතු 5 වැන්න ගෝචර වෘෂභයට මෙම වසර ශුභාශුභ ඵලදෙයි.

රැකීරක්ෂාවල වෙනසක් සිදු නොවේ. තරමක් ශුභදායකව ස්ථාන මාරුවීම් වැනි දේවලට හේතුයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ශුභයි. වෙළහෙළදාම්වලින් ජය දෙයි. ණයතුරුස්වලින් අතමිදේ.

ගෘහ ජීවිතය ද ශුභයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඉඩකඩම් පිළිබඳ ආරවුලක් ශුභවාදීව විසඳේ. පදිංචියෙහි වෙනසකට හේතුයි. අවිවාහකයින්ට ශුභයි. මංගල සීනු නාද වෙයි. නිශ්ඵල වැඩ කටයුතුවලට ද යොමු වීමට ඉඩ තිබේ. ප්‍රීති සාද සංවිධානයට සහභාගි වීමට ආදී ක්‍රියාවනට හේතුයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරග තුරග ජය ගනී. තම අරමුණු ජය ගනී. විදෙස්ගතවීම්වලට විදෙස් රැකියාවනට හේතුයි. විදෙස්ගතව සිටින තම ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලබයි. ආගමික වතාවත් ගරු කර දිවි ගෙවයි. අධ්‍යාත්මික ගුණ වර්ධනය වන ක්‍රියාවන්හි යෙදේ. සෙම් කෝප රෝග, පෙනහළු ආසාදන මතු කරයි. ජලය විෂවීම්වලට ද හේතුයි. ස්නායු පද්ධතියේ රෝග ද මතු වෙයි.

ශුභ වර්ණය සුදු පැහැය, රන්වන් පැහැය ජය අංකය – 02, 07

සිකුරාදා දිනක බෝධියකදී මීතෙල් පහන් දල්වා සුදු කහ මල් පුදා බෝධි ගෞරව පූජා පවත්වා බෝධි සත්‍යක්‍රියාව සිදු කර සඳේට ලෝකයාට ග්‍රහදෙවිවරුන්ට පිටදී ආශීර්වාද ප්‍රාර්ථනාව මැනවි. සුමන සමන් දෙවිඳුට පිංදී පූජා පැවැත්වීම ද ඉතා ශුභයි. අංගවිකල වූවන්ට දානමානාදී ක්‍රියා පැවැත්වීම ශුභයි.

මිථුන – රැකී රක්ෂා උසස්වීම්

ලග්නාධිපති බුධ සිකුරු සමග 6 වැන්නේ ද රවි කුජ සංයෝගය 7 වැන්නේ ද සෙනසුරු 9 වැන්නේ ද රාහු 10 වැන්නේ ද ගුරු 11 වැන්නේ ද සඳු 3 වැන්න සහ කේතු 4 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

රැකී රක්ෂා ස්ථානවල වගකීම් සමග උසස්වීම්වලට හේතු වෙයි. තම වටිනාකම ප්‍රදර්ශනය වෙයි. රැකියා ලාභ ලබයි. ණයතුරුස්වලින් අතමිදේ. අමතර ලාභ ද ලබන වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. ඇසුරින් දුරස්ථව සිටි අඹුසැමියන් සුහද වෙයි. භාර්යාව පුරුෂයාත් පුරුෂයා භාර්යාවත් සැකකරන ක්‍රියා යොමු වේ. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ප්‍රේම සබඳතා ඇති වන අතර රහස් සබඳතා ද ඇති වෙයි. තරමක් නමට කැලැල් වීමට ඉඩ තිබේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට හොඳයි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵලදායක වෙයි. සෞන්දර්ය ක්‍රියාවල යෙදෙන්නෝ ප්‍රසාදයට පත් වෙයි. ලිපි ලේඛනවලින් ජය දෙයි. තම අදිටන් මත විදෙස් රැකියා ලාභ ලබයි. ප්‍රීතිසාද උත්සව යෙදේ. තම ළඟම ඥාතියකුට අපලයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් ඇති වෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. සන්ධි රෝග ආම වාත රෝග මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – ලා කොළ, රන්වන්, ජය අංකය – 03, 05

පවතින දෝෂ සමථයට. බදාදා දිනවල බුද්ධ විහාරයකදී ගිලන්පස බුද්ධ පූජා පවත්වා, වන්දනා කර මෙත් වඩා දේව ලෝකයට පිටදීම අසරණ වූවන්ට, පුලන්නන්ට ශ්‍රමණ බමුණන් උදෙසා දානමය පූජා පැවැත්වීම ද ශ්‍රී උපුල්වන් දෙවිඳුට පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනාව ශුභයි.

කටක – නව රැකියා අවස්ථා

ලග්නාධිපති සඳු 2 වැන්නේ ද කේතු 3 වැන්නේ ද බුධ සිකුරු සමග 5 වැන්න සහ රවි කුජ සංයෝගව 6 වැන්නේ ද ශනි 8 වැන්නේ ද රාහු 9 සහ ගුරු 10 වැන්න ගෝචර කටක ලග්නයට මෙම වසර ශුභාශුභ වේ.

රැකියා බලාපොරොත්තු අයට අරමුණ ජය වේ. තම රැකියා ස්ථානවල සතුරු බලපෑම් එල්ල වුවද බුද්ධියෙන් ජයගත හැක. ව්‍යාපාර දියුණු වෙයි. තැන්පත් ධනය ද වර්ධනය වේ.

ගෘහ ජිවිතය ශුභයි. අඹුසැමියන් අතර අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. තම ඥාතීන් සමග සාමයෙන් ක්‍රියා කරයි. ප්‍රීති සාද වැනි දේවල් ද බහුලව යෙදේ. අවිවාහකයින්ට ශුභයි. ස්ථාන මාරුවීම් ශුභවාදීව යෙදේ. සෞන්දර්ය ක්‍රියාවන්වල යෙදෙන්නෝ ජනප්‍රිය වේ.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ද ශුභයි. නව පාඨමාලා හැදෑරීමට අවස්ථාව යෙදේ. විදෙස්ගතවීම්වලට හේතුයි. විදෙස් රැකියා ලාභ ලබයි. නව නිවාස ලාභ ද ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් ගරු කරයි. පරෝපකාරියි. සෙම් බහුල රෝග, හමේ රෝග, මුත්‍රා ආසාදන, මදුමේහ වැනි රෝගාදිය මතු කරයි. සිරසගත රෝග ඇති වෙයි.

ශුභ වර්ණය – රෝස, කහ, ජය අංකය – 01, 04

පවතින දෝෂ සමථයට විහාරමළු ඇමදීම බෝධිමළු ඇමදීම. ශ්‍රමණ බමුණන් උදෙසා දානමානාදිය දී ආශීර්වාද ප්‍රාර්ථනාව මැනවි. වැඩිහිටි නිවාසවල අය උදෙසා දානමය උපකරණ දීම, පත්තිනි දෙවඟනට පිං අනුමෝදන් තියා, පුද පූජා පැවැත්වීම මැනවි.

සිංහ – හදිසි ධන ලාභ

ලග්නාධිපති රවි කුජ සමග 5 වැන්නේ ද ශනි 7 වැන්න සහ රාහු 8 වැන්නේ ද ගුරු 9 වැන්නේ ද සඳු ලග්නගතව ද කේතු 2 වැන්නේ ද බුධ සිකුරු සංයෝගව 4 වැන්න ගෝචර මෙම වසර තරමක් ශුභයි.

රැකියාවල වෙනසක් නොවුව ද ස්ථාන මාරුවීම් යෙදේ. එය යහපතට හේතු වේ. හදිසි ධන ලාභ ද ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි. ව්‍යාපාර දියුණු වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. නමුත් කේලාම් මත චංචල සිතුවිලි මතු වීමෙන් මතවාද ඇති වෙයි. එබැවින් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. විදෙස් ගමන් යෙදෙන අතර, ප්‍රීති උත්සව, සාද වැනි දේවල් තරමක් බහුලව යෙදේ. අවිවාහකයින්ට බලාපොරොත්තු ඉටු වෙයි.

අධ්‍යාපනික කටයුතුවලින් ජයගත හැක. තරග තුරඟ ජය ගනී. නව නිර්මාණ තුළින් ජනප්‍රසාදය ලබයි. සියුම් කලාවන්වල යෙදෙන්නෝ ප්‍රසාදයට පත් වෙයි. අලංකාර කටයුතු සඳහා මිල මුදල් වැය කරයි. යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. රහස් සබඳතාවලට හේතුයි. දුරදිග බලා ක්‍රියා කළ යුතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි.

සෙම් රෝග, උෂ්ණාධික රෝග මතු කරයි. සන්ධි රෝග ඉදිමුම් රෝග, වකුගඩු ආශ්‍රිත රෝග මතු වෙයි.

ශුභ වර්ණය – තැඹිලි, ලාදම්, ජය අංකය – 01, 06

පවතින පීඩා ජය ගැනීමට බෝධිය අසලදී එඬරු තෙල් පහන් දල්වා සුදු මල්, රතු මල් හැකි තරම් පුදා වන්දනා කර සඳේට ලෝකයා ග්‍රහ දේව මණ්ඩලයට පිංදී ආශීර්වාද ප්‍රාර්ථනාව මැනවි. සිර කළ සතුන් නිදහස් කිරීම, ඊශ්වර දේව පූජා පවත්වා සෙත් ප්‍රාර්ථනා උතුම්.

කන්‍යා – තනිකඩයන්ට මංගල සීනු

ලග්නාධිපති බුධ සිකුරු සමග 3 වැන්නේ ද රවි කුජ සංයෝගව 4 වැන්නේ ද ශනි 6 වැන්නේ ද රාහු 7 වැන්න ගුරු 8 වැන්න සහ සඳු 12 වැන්න කේතු ලග්නගතව ගෝචර වීම කන්‍යාවට වසර ශුභයි.

රැකියා ස්ථානවල තනතුරු ලාභ ලබයි. තත්ත්වය උසස් වෙයි. ව්‍යාපාර ද පැහැදිලි දියුණුවකට පත් වෙයි. තම තැන්පත් ධනය වර්ධනය වෙයි. හදිසි ලාභ ද ලබයි. ගෘහ ජීවිතය ශුභයි. නව ඥාතීන් දැන හඳුනා ගැනීමට ද හැකි වෙයි. මංගල සීනු නාද වන වසරකි. සෞන්දර්ය කටයුතු, දේශන කටයුතු ආදියෙන් ජය ලබයි. ගමන් බිමන් බහුල වෙයි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවල් නිතර යෙදෙන වසරකි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට හොඳයි. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. තරග තුරග ජය ගනී. විදෙස් රැකියා ලාභ ද ලබයි. විදෙස්ගත ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ද ලබයි. උගතුන් වියතුන් ඇසුරට පත් වෙයි. පතල් කැණීම් වැනි භූමිය පිළිබඳ ක්‍රියාවන්ගෙන් ශුභඵල ලබයි. පුණය ක්‍රියාවන්වල නිතර යෙදේ. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. සිරසගත රෝග, නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි. ස්නායු ආබාධ ද මතු කරයි. ආහාර විෂවීම්වලට හේතුයි.

ශුභ වර්ණය කොළ, කහ, ජය අංකය 03, 06

කන්‍යා පවතින පීඩා දමනයට බෝධියක් අසලට ගොස් බදාදා දිනක මීතෙල් තලතෙල් මිශ්‍ර පහන් ද පංච වර්ණයෙන් මල් පුදා වන්දනා කර දේව සමාගමට ග්‍රහදේව සමාගමට පිංදීම, දරු සම්පත් ලබන මාතාවන් උදෙසා පෝෂණ ද්‍රව්‍ය දානය වශයෙන් දීම උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳු උදෙසා පුද පූජා පැවැත්වීම ආශීර්වාද ලබා ශුභවාදීව ශුභයි.

තුලා – උත්සාහවන්තයින්ට ජය

ලග්නාධිපති සිකුරු බුධ සමග 2 වැන්නේ ද රවි කුජ සංයෝගව 3 වැන්නේ ද ශනි 5 වැන්න සහ රාහු 6 වැන්න ගුරු 7 වැන්න ද සඳු 11 වැන්න කේතු 12 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකියා කටයුතු යහපත් වේ. තනතුරු ලාභ ස්ථිර වේ.

රැකියා ලාභ ද ලබයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවත් ඇති වෙයි. අමතර ලාභ ද ලබයි. ණය තුරුස්වලින් අතමිදීමට හැකි වේ.

ගෘහ ජීවිතය ශුභයි. ශුභවාදී මිතුරු මිතුරියන් ඇසුරට පත් වෙයි. අඹු සැමි වාද භේද ඉවත්වෙයි. කලා කටයුතුවල නිරත වන්නන්ට ශුභයි. ගමන් බිමන් ප්‍රීති උත්සව අධික වන වසරකි. ආරංචි පමණින් ක්‍රියාකාරි වීම ශුභවාදී නොවේ. භූමි ලාභ, කෘෂි කාර්මික ක්‍රියා ආදියෙන් ජය ගෙන දෙයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට අලස බවක් ඇති වෙයි. උත්සාහයේ තරමට ජය ගෙන දෙයි. දූ දරුවන් නිසා සිත් සතුටු වෙයි. ඥාතීන්ගෙන් උදව් උපකාර ද ලබයි. නව නිවාස ඉදිකිරීමට හේතුයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් මත තරමක් මනසට වද දෙන ප්‍රශ්න මතු කරයි. ආගමට දහමට බරව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි.

සන්ධි රෝග, ඉදිමුම් රෝග නහර වේදනා ඇති කරයි. සිරස ගත රෝග, කර්ණ රෝග, බඩ රෝග මතු කරයි.

ශුභ වර්ණය- සුදු, කහ, ජය අංකය- 02, 07

පවතින බාධා වලින් ජය ගැනීම සඳහා බුද්ධ මන්දිර ප්‍රතිමා පිරිසිදු කිරීම, ක්‍ෂිරදානය පිදීම, අසරණයන් දුගියන් උදෙසා වියළි සලාක දානය දීම, සමන් දෙවිඳුට පූජා පැවැත්වීම, පිං අනුමෝදන් කිරීමාදිය තුළින් බාධා ඉවත් වෙයි.

වෘශ්චික – උත්සාහවන්තයින්ට ජය

ලග්නාධිපති කුජ රවි සමග සංයෝගව 2 වැන්නේ ද ශනි 4 වැන්නේ ද රාහු 5 වැන්න සහ ගුරු 6 වැන්නේ ද සඳු 10 වැන්න සහ කේතු 11 වැන්නේ ද බුධ සිකුරු ලග්නයේ ගෝචර මෙම වසර තරමක් ශුභඵල දෙයි.

රැකී රක්ෂා සාමාන්‍ය ලෙසින් ගෙවෙයි. තරමක් සතුරු බලපෑම් එල්ල වෙයි. ව්‍යාපාරවල ද බාධා එල්ල වෙයි. තරමක් ණය නොවී ඉදිරියට ගෙන යයි. ණය තුරුස් තරමක් බේරා ගැනීමට හැකි වේ.

ගෘහ ජීවිතය හොඳයි. භාර්යාව ස්වාමියාටත් ස්වාමියා භාර්යාවටත් අවනතව ක්‍රියා කරයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. නිවාස අලුත්වැඩියා හෝ අලුතින් සෑදීමට හේතුයි. ගමන් බිමන් බහුල වසරකි. දේපළ පිළිබඳ නීතිමය ප්‍රශ්න ඇති වෙයි.

අධ්‍යාපන ක්‍රියාවකදී අලස ගති උත්පාදනය වෙයි. උත්සාහයෙන් ක්‍රියා කළ යුතුයි. නව නිර්මාණකරණයට ශුභයි. ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. නොගැලපෙන සබඳතාවලට හේතුයි. නමට කැලල් ඇති වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. භූමිලාභ සම්පත් ගෙන දෙයි. ආගමික වතාවත් ගරුකරන අතර දැහැම් සිතුවිලි වර්ධනය වෙයි.

නේත්‍ර රෝග, මුඛ රෝග, හෘද ආබාධ ඇති වෙයි. ඉදිමුම් රෝග සාදයි.

ශුභ වර්ණය – දුඹුරු, ලා රතු, ජය අංකය – 03, 08

පවතින පීඩා දමනයට තුන්තරා බෝධීන් පිරිසිදු කිරීම්, බුද්ධ පූජා, ක්‍ෂීර දාන පූජා පවත්වා සදේව ලෝකයට පිංදීම, ශ්‍රමණ බමුණන් වෙනුවෙන් දානමානාදී පූජා පැවැත්වීම, කදිර දෙවිඳුට පූජා පවත්වා සෙත් පැතීම, සිරකළ සතුන් නිදහස් කිරීම ශුභවාදී ඵල මතු කරයි.

ධනු – ප්‍රේම සබඳතා වර්ධනය වේ

ලග්නාධිපති ගුරු 5 වැන්නේ ද සඳු 9 වැන්නේ ද කේතු 10 වැන්න සහ බුධ සිකුරු 12 වැන්නේ ද රවි කුජ සංයෝගව ලග්නගතව ද ශනි 3 වැන්නේ ද රාහු 4 වැන්න ගෝචර මෙම වසර ශුභාශුභ ඵල දෙයි.

රැකියා ස්ථානවල පැවැති බාධා ඉවත්වෙයි. උසස්වීම්වලට හේතුයි. වගකීම් දැරීමට සිදු වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. දූ දරුවන් සමග සාමයෙන් ගෙවෙයි. තම ඥාතීන් අතර ප්‍රධානව ක්‍රියා කිරීමට සිදු වෙයි. උත්සව සාද වැනි දේවල් බහුලව යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මංගල සීනු හඬවන වසරකි.

අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට තරමක් ශුභයි. මහන්සියේ තරමට ඵල ලබයි. විදෙස්ගතවීමට බලාපොරොත්තු වූවන්ට අරමුණු සාර්ථක වෙයි. සතුරු බලපෑම් ඇති වෙයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. අනවශ්‍ය ලෙස වැයපස ඉහළයෑමට ද ඉඩ තිබේ. පතල් කැණීම් වැනි දේවලින් ජය ගෙන දෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ ද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි.

ලේ දූෂිත රෝග, අමේහ රෝග මතු වෙයි. හමේ රෝග, කුෂ්ට රෝග ද මතු කරයි. අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි පීඩා මතු වේ.

ශුභ වර්ණය- කහ, තැඹිලි, ජය අංකය- 01, 07

දැනට ඇති බාධාවලින් ජය ගැනීමට බෝධියකට තලතෙල් පහන් දල්වා, කහමල්, නිල් මල් පුදා වන්දනා කර, දේව සමාගමට පිංදීම, මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම, සිල්ගත් මාතාවන් උදෙසා දිවා දාන වේලක්, සුදු වස්ත්‍ර සමග දීම ශුභයි.

මකර – ව්‍යාපාර දියුණු වේ

ලග්නාධිපති ශනි 2 වැන්නේ ද රාහු 3 වැන්නේ ද ගුරු 4 වැන්න සහ සඳු 8 වැන්න ද කේතු 9 වැන්න ද බුධ සිකුරු සංයෝගව 11 වැන්නේ ද රවි කුජ සමග 12 වැන්න ගෝචර මෙම වසර ශුභා ශුභ ඵල දෙයි.

රැකියාවන්හි වෙනසක් නොවේ. උසස්වීම්වලදී බාධා එල්ල වේ. බුද්ධියෙන් ජය ගත හැක. ව්‍යාපාර දියුණුවකට පත් වෙයි. අමතර ලාභ ද ලබයි. ණය තුරුස්වලින් මිදේ.

ගෘහ ජීවිතය ශුභයි. භාර්යාව සැමියාටත් සැමියා භාර්යාවටත් අවනතව ක්‍රියා කරයි. ප්‍රීති උත්සව සාද යෙදේ. ගමන් බිමන් ද බහුල වන වසරකි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. අවිවාහක අයට මංගල සීනු නාද වෙයි. රහස් සබඳතා ද වර්ධනය වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න යහපත් ලෙස නිරාකරණය වෙයි.

අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට ශුභයි. උනන්දුවේ තරමට ජය ගනී. තරග විභාගාදී ආදියෙනි ජය ලබයි. නව නිවාස ලාභයකට හේතුයි. පදිංචියේ වෙනසකට හේතුයි. ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන් දියුණු මගට යොමු වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන්වල යෙදේ. හදිසි රෝග, ශල්‍ය කර්ම කරන රෝග මතු කරයි. ආමාශ ගත රෝග ද මතු වේ. මූල අර්ශස් රෝග මතු වෙයි.

ශුභ වර්ණය – නිල්, දුඹුරු, ජය අංකය – 04, 08

පවතින පීඩා දුරුවීමට ශනිදාවක බෝධියකට අබතෙල් පහන් දල්වා නිල් මල් මිශ්‍රව පංච වර්ණ මල් පුද දී වන්දනා කර සදේව දේව මණ්ඩලයට, ග්‍රහ දේව මණ්ඩලයට පිංදීම ශුභයි.

දුගී මගී යාචකාදීන්ට ආහාර ද්‍රව්‍ය දානය වශයෙන් දීම, උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳුට පූජා පවත්වා සෙත් ලබා ගැනීම මැනවි.

කුම්භ – නිවාස ලාභ ලබයි

ලග්නාධිපති ශනි ලග්නයේ ද රාහු 2 වැන්නේ ද ගුරු 3 වැන්න සහ සඳු 7 වැන්නේ ද කේතු 8 වැන්න බුධ සිකුරු සංයෝගව 10 වැන්නේ ද රවි කුජ 11 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකී රක්ෂා උසස් වෙයි. තනතුරු ලාභ ද ලබයි. අමතර ආදායම් මාර්ග මතු වෙයි. තම ව්‍යාපාර ඉහළ මට්ටමකට පත් වෙයි. තැන්පත් ධනය වර්ධන ය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. සාමය වර්ධන ක්‍රියාවන් යෙදෙන අතර ප්‍රීති සාද උත්සව ද යෙදෙන වසරකි. තවද කලක් වද දුන් ඉඩම් ප්‍රශ්නයක් සාර්ථකව විසඳේ. නව නිවාස ලාභ ලබයි. ඇසුරු කරන්නන් නිසා පැහැදිලි දියුණුවකට හේතු ඇති කරයි. මංගල යෝග උදා වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තම මහන්සියේ තරමට ප්‍රතිඵල ශුභදායකයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. යාන වාහන ලාභ ලබයි. මහ පොළව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජය ගෙන දෙයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි. ඒ සඳහා මිල මුදල් ද වැය කෙරේ.

අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි. හමේ රෝග, අසාත්මිකතා වැනි රෝග මතු කරයි. ආහාර විෂවීම් සිදු වේ.

ශුභ වර්ණය – නිල්, දම්, ජය අංකය – 05, 09

පවතින දෝෂ සමනයට බෝධි වන්දනා සිදු කිරීම, අබතෙල් පහන් දල්වා නිල් කහ මල් පුදා වන්දනා කර දේව සමාගමට, ග්‍රහ දේව සමාගමට පිංදී ආශීර්වාද ප්‍රාර්ථනාව සිදුකරන්න. සිරකළ සතුන් නිදහස් කිරීම, උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවිඳුට පූජා පවත්වා සෙත් ලැබීම ඉතා උතුම්.

මීන – විදෙස් රැකියා අවස්ථා

ලග්නාධිපති ගුරු 2 වැන්නේ ද සඳු 6 වැන්න සහ කේතු 7 වැන්නේ ද බුධ සිකුරු 9 වැන්න සහ රවි කුජ 10 වැන්නේ ද ශනි 12 වැන්න ද රාහු ලග්නගතව ගෝචර මෙම වසර ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි.

රැකී රක්ෂා සාමාන්‍ය ලෙසින් ගෙවේ. රැකියා ලාභ ද ලබයි. තනතුරු ලාභ දෙයි. ව්‍යාපාරවල දියුණුවක් දැකිය හැකි වෙයි. තැන්පත් ධනය තරමක් වර්ධනය වේ.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව සාද ගමන් බිමන් මෙම වසර සුලබ කරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. නව නිවාස ඉදිකිරීමකට හේතුයි. අන්සතු දේපළ උරුමයකට හේතුයි. නොගැලපෙන සබඳතා මත තරමක් පීඩා ද ගෙන දෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට සාමානයයි. තරමක් අලසගති ඉස්මතු කරයි. විදෙස්ගතවීම්, විදෙස් රැකියා ලාභ ලබයි. කලාත්මක ක්‍රියාවන්වලත් ප්‍රසිද්ධ වෙයි. නිර්මාණකරණයට ශුභයි. කැටයම් කලා වැනි සියුම් ක්‍රියාවන්වල යෙදෙන්නන්ට ඉතා ශුභයි. සුඛෝපභෝගි භාණ්ඩ පරිහරණයට ලැබෙන කාලයකි. භූමි ලාභ සම්පත් ගෙන දෙයි. ආගමික වතාවත්වල යෙදෙන දහමට ලැදිව ක්‍රියාකරන වසරකි.

සෙම් රෝග, ශරීර ඉදිමුම් රෝග වර්ධනය කරයි. සන්ධි ප්‍රදාහ රෝග ගෙන දෙයි. හමේ රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – කහ, දම්, ජය අංකය – 02, 09

පවතින පීඩා සමනයට බෝධි වන්දනාව සිදු කළ යුතු අතර තලතෙල් පහන් දල්වා, කහ මල්, රෝස පැහැති මල් පුදා වන්දනා කර දේව සමාගමට, ග්‍රහ දේව සමාගමට පිංදී ආශීර්වාද ප්‍රාර්ථනාව කරන්න. දුගීන්ට දුප්පතුන්ට වියළි සලාක දානය දීම, ගණපති, ඊශ්වර දෙවිඳුට ආශීර්වාද පතා පුද පූජා පැවැත්වීම ශුභයි. අධ්‍යාපනයෙන් ජය

2024 - ඔබේ ලග්නයට කොහොමද

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, වෛද්‍යාචාර්ය
යක්කල වීරවංශ පතිරණ
දුරකතන:- 077 7479 046

සංස්කරණය – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment