ඉන්දීය – චීන සහයෝගිතාවයෙන් අත්කරගත හැකි ආර්ථික ප්‍රතිලාභ

111

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ චීන විදේශ ඇමැති චින් ගාං මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් මේ මස මුලදී, නවදිල්ලියේ පැවති G20 සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවීමට සමගාමීව පැවැත්වුණි. එහිදී ඓතිහාසික ඉදිරි දර්ශනයක් සහ උපායමාර්ගික දැක්මක් ඇති කර ගැනීමට දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාව වැඩිදියුණු කිරීමටත්, ගෝලීය සන්දර්භය තුළ ස්ථාවරත්වය සහ ධනාත්මකභාවයක් පවත්වාගෙන යෑමට අමාත්‍යවරු එකඟතාවකට පැමිණියහ. දෙරටේ නායකයන් විසින් ඇති කරගත් ප්‍රධාන ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

දෙපාර්ශ්වයටම තම ද්වීපාර්ශ්වික සබඳතාව තුළ දේශසීමා ප්‍රශ්නයට ප්‍රමුඛත්වය ලබා දීමට සහ ඒ සම්බන්ධයෙන් සහජීවනයෙන් යුතුව කටයුතු කිරීමේ ඇති වැදගත්කම චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. සෘජු ගුවන් ගමන් කඩිනමින් නැවත ආරම්භ කිරීම සහ දෙරටේ මානව සම්බන්ධතා සඳහා පහසුකම් සැලසීම ඇතුළුව ඉන්දියාව සමඟ විවිධ අංශ හරහා සහයෝගිතාවය නැවත ආරම්භ කිරීමට චීනය මෙහිදී සිය කැමැත්ත පළ කළේය.

පසුගිය ශතවර්ෂයේ ගෝලීය වෙනස්වීම්වලට අදාළ සන්දර්භය තුළ චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතා කෙරෙහි ආපසු හැරී බැලීමේ අවශ්‍යතාවය චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ද්විපාර්ශ්වික සහයෝගිතාවය පවත්වාගෙන යන අතරතුර නවීකරණය කරා යන ගමනේ මිතුරන් හා හවුල්කරුවන් වශයෙන් දෙරට කටයුතු කිරීමේ වැදගත්කම චීන විදේශ ඇමැති චින් ගාං අවධාරණය කළේය.

චීන විදේශ අමාත්‍යවරයාගේ අදහස් අනුමත කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඓතිහාසික ඉදිරි දැක්මකින් සහ උපායමාර්ගික දැක්මකින් බැලිය යුතු බවට ඉන්දියාව ද විශ්වාස කරන බව ප්‍රකාශ කළේය. චීන – ඉන්දියාව සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ ඒවා ධනාත්මක මාවතකට යොමු කිරීමට පුළුල් විකල්ප සහයෝගිතා වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ජයශංකර් මහතා අවධාරණය කළේය.

චීනය සහ ඉන්දියාව, අසල්වැසි බලවතුන් සහ ලොව ප්‍රධාන නැඟී එන ආර්ථිකයන් ලෙස, වෙනස්කම්වලට වඩා පොදු සමානකම්වලට හිමිකම් ලබන බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේය. සංවර්ධනය වෙමින් පවතින රටවල පැවැත්මෙහි ගාමක බලය ඉන්දු – චීන සංවර්ධනය සහ සහයෝගිතාව මත රැඳී පවතින බව මෙහිදී දෙරට විදේශ අමාත්‍යවරුන් අවධාරණය කර සිටියහ. ඒ අනුව ලෝක ජනගහනයෙන් තුනෙන් එකකගේ අනාගතයට දෙරටේ සංවර්ධන උපායමාර්ග බලපාන බවත් ඒ තුළින් ආසියාවේ සහ ලෝකයේ අනාගතයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බව නොරහසකි.

ඨ20 සංවිධානයේ සභාපති ලෙස සිය යුතුකම් ඉටු කිරීමේදී චීනය ඉන්දියාවට සහයෝගය දක්වන බව චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදී. ඉන්දියාව සමඟ සන්නිවේදනය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීනය උනන්දු වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ගෝලීය සන්දර්භය තුළ සාධාරණත්වය සහ යුක්තිසහගත බව ඇති කිරීමට දෙරට කටයුතු කිරීමේ අවශ්‍යතාවය දෙරටේ විදේශ අමාත්‍යවරුන් මෙහිදී අවධාරණය කර සිටියේය. ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතාව සහ සංස්කෘතික සබඳතා වැනි විවිධ ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් දෙරට ලබා ඇති බව ජයශංකර් මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. ඉන්දියාව සහ චීනය අතීතයේ සිට වැදගත් හවුල්කරුවන් බවත් දෙරට අතර මෙම ක්ෂේත්‍රවල අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳව ජයශංකර් මහතා මෙහිදී සුබවාදී අදහස් පළ කළේය.

G20 සංවිධානයේ ඉන්දියාවේ නායකත්වය සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් චීනයට කෘතඥතාව පළ කරන බව ජයශංකර් මහතා පවසා සිටියේය. බහුපාර්ශ්වික කටයුතුවලට අදාළ කාරණා සම්බන්ධයෙන් චීනය සමඟ විවෘතව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමට ඉන්දියාව කැමැත්තෙන් සිටින බවට ඔහු මෙහිදී පැවසීය.

දශක ගණනාවක් තිස්සේ, ලෝකයේ ජනගහනයෙන් අධිකම රටවල් දෙකක් වන චීනය සහ ඉන්දියාව අතර නොසන්සුන් සහ ගැටුම්කාරී සබඳතාවක් පැවතුණි. ඉතිහාසය, සංස්කෘතිය සහ ආර්ථික අවශ්‍යතා අතර සමානකම් පැවතුණද, දේශසීමා ආරවුල්වල සිට වෙළෙඳ අසමතුලිතතා දක්වා කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙරට අතර සබඳතාවල දුරස්ථ බවක් පැවතුණි. එසේ වුවද, මෑත කාලයේ දී, චීනය සහ ඉන්දියාව තම මතභේද පසෙකලා ආසියානු කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවට පොදු පිළිගැනීමක් ගෝලීය සන්දර්භය තුළ ඇති වෙමින් පවතී.

මෑත වසරවලදී, ඉන්දියාව සහ චීනය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතාවල වාසිදායක තත්ත්වයක් අත්කර ගෙන ඇත. 2022 දී, දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 135.98 ක වාර්තාගත ඉහළ අගයක් අත්කර ගෙන ඇත. සමස්ත ඉන්දීය – චීන වෙළෙඳාම පෙර වසරේ වාර්තා කළ ඩොලර් බිලියන 125 සීමාව ඉක්මවා ගොස් සියයට 8.4 කින් ඉහළ ගොස් ඇති බව ද වාර්ෂික දත්ත අනාවරණය කළේය. චීනයෙන් ඉන්දියාවට කරන ලද අපනයන ඩොලර් බිලියන 118.5 දක්වා වැඩි වී ඇති අතර එය වසරින් වසර සියයට 21.7 ක වර්ධනයක් පෙන්නුම් කරයි. චීනය ඉන්දියාවෙන් සිදු කරන ආනයනය ඩොලර් බිලියන 17.48 දක්වා අඩු වූ අතර එය 2022 දී සියයට 37.9 ක වාර්ෂික අඩුවීමක් පෙන්නුම් කරයි.

තාක්ෂණික අංශය තුළ ඉන්දු – චීන ආර්ථික සහයෝගිතාවයේ තීරණාත්මක ක්ෂේත්‍රයක් ලෙස කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඉන්දියාව නිපුණතාවලින් පිරි තාක්‍ෂණයෙන් හෙබි ශ්‍රම බළකාය සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර චීනය තාක්‍ෂණික නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙසට ඉස්මතු වී ඇත.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, චීන තාක්‍ෂණ සමාගම් කිහිපයක් ඉන්දියාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්දියානු තාක්‍ෂණික ව්‍යවසායකයන් චීන ආයෝජකයන්ගෙන් සැලකිය යුතු ලෙසට ආයෝජන අවස්ථා ලබාගෙන ඇත.

ඉන්දියාව සහ චීනය අතර සහයෝගිතාවයේ තවත් වැදගත් අංගයක් ලෙස යටිතල පහසුකම් සංවර්ධනය මතු වී ඇත. ‘එකම තීරයක් – එකම මාවතක්’ යන චීනයේ සංකල්පයට අනුව ආසියාව, අප්‍රිකාව සහ යුරෝපය පුරා රටවල් සමඟ පුළුල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමක් හරහා චීනය සම්බන්ධ වීමට සැලසුම් කර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රවේශම් සහගතව විමසිල්ලෙන් සිටින නමුත් බංග්ලාදේශ – චීන – ඉන්දියාව – මියන්මාරය අතර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ආර්ථික කොරිඩෝව ඇතුළු ව්‍යාපෘති සඳහා දෙරට සහයෝගයෙන් කටයුතු කරයි.

මෙහිදී ඉතා වැදගත්ම කාරණය වන්නේ චීනය සහ ඉන්දියාව එක්ව කටයුතු කිරීමෙන් එහි ප්‍රතිලාභ ඔවුන්ට පමණක් නොව, දකුණු ආසියානු කලාපයට සහ සමස්තයක් ලෙස ලෝකයටම හිමිකර ගත හැකි බවයි.

● ආචාර්ය ලලිත් ගුණරත්න

advertistmentadvertistment
advertistmentadvertistment