සොදොම් ගොමෝරා….

207

සොදොම් ගොමෝරා වගේ
මළ හිරු අහසෙ දඟයි
සීතල වූ රෝමේ
රහසක් ඉතිරි වෙලා නිරුවත වැළපෙනවා
සාප්පුවක් ගානේ….
සොදොම් ගොමෝරා වගේ….

ලූ ලූ අත සැහසී
ලිහිණි කුලේ පිරිමි
සළු පිළි දවටාලු
කුමරියො වඳ යහනේ
සීතල වූ රෝමේ…..
සොදොම් ගොමෝරා වගේ….
බැලූ බැලූ අත හිනැහේ
හීන කුලේ රැජිනී
පරසතු මලක්ද මේ මොනාලිසා මාගේ
සීතල වූ රෝමේ…….
සොදොම් ගොමෝරා වගේ…
දහසකුත් ගී නිර්මාණ නොයෙකුත් හැඩතල වලින් එළි දකින අවධියක හදිසියේ කන වැකුණු අමුතුම පද වැළක් ඒ “සොදොම් ගොමෝරා වගේ” දිගටම අහන්න හිතුණා මොකක්ද මේ කියන කථාව කියලා. එහි සංගීතය වගේම රූප රාමුත් හරිම සිත් ඇදගන්නා සුළු ආකාරයට ගලපලා. ඒ වගේම මේ ගීතයේ පදවැල් වෙනම තැනකින් පටන් අරගෙන කොහෙන්දෝ තවත් තැනකින් අවසන් කරලා.

මෙහි ගී පද රචකයා සොදොම් සහ ගොමෝරා සමග රෝමය එකට ඈඳා එහි කලාව සහ සංස්කෘතික ලක්ෂණ අඩු වැඩියෙන් ඒකාබද්ධ කර ගොතන්නට හදන කතාව කොච්චර සාධාරණ ද අසාධාරණද යන්න ඔබ සතුය.

කෙසේ වෙතත් මේ ගීතය හරිම සුන්දරයි. ඉතාලියේ විශාල නිර්මාණ බිහිකළ මහා කලාකරුවන් අමුතුම ආකාරයකින් අර්ථ ගන්වා ඔවුන්ගේ ඒ කෘති මගින් විකාශනය වන ඔවුන්ගේ ලිංගිකත්වය මනෝභාවයන් සිතුම් පැතුම් ඉතා සියුම්ව පන්හිඳට ගෙන ඇති මේ ගීතයේ පද රචකයා නිර්මාණකරුවා ඩිලාන් රුද්‍රිගුය. එයට සංගීතය සපයා ඇත්තේ විශාරද ඩැනිස්ටර් පෙරේරායි. ගීතය ගයා ඇත්තේ අමල් පෙරේරාය.

අද ඉතාලිය ගැන කතා කරන කොට රෝමය ඇතුළු සෑම නගරයක්ම අපිට දැකගත හැක්කේ විශාල කලාගාර මෙන්ය. නමුත් ගීතයේ සඳහන් ඇතැම් කරුණු ආගන්තුක බවක් ගෙන දෙනවා. මේ කුකුසද ඇතිව මා “සොදොම් ගොමෝරා” ලියූ ඩිලාන් රුද්‍රගු සොයා හෝමාගම, මාගම්මන ඔහුගේ නිවසට ගියෙමි. සුහද හමුවක් මම ඔහුගේ නිවසට ගොඩ වැදී අපි ටිකෙන් ටික දොඩමළු වූවෙමු. පසුව ගීතය පිළිබඳව මා විස්තර සොයා බලන්නට පටන් ගත්තෙමි. ඉතාමත් ලෙන්ගතුව මා පිළිගත් ඔහු පැවසුවේ අපූරු කථාවකි.

මම මේ නගර ගැන මුලින්ම දැනගත්තේ ශුද්ධ වූ බයියලයෙන්. පසුව දිගින් දිගටම කරුණු හොයන කොට දැනගන්න ලැබුණා මේ නගර දෙක මළ මුහුද ආසන්නයේ පිහිටා තිබූ බවත් දැන් එම නගර වෙනත් නම්වලින් පවතිනවා කියලත්. කෙසේ වෙත් සොදොම් සහ ගොමෝර හි වැසියන් තමයි ලෝකයේ මුල්වතාවට පිරිමි පිරිමින් අතර විවාහ සඳහා නීතියෙන් අවසර ඉල්ලා ගෙන අසම්මත චර්යාවන් තුළ ප්‍රසිද්ධියේ දිවි ගෙවූ ප්‍රථම ජන සමූහය. ඔවුන් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් සමාජ රෝගවලට ගොදුරු වී සහමුලින්ම විනාශවී ගියා කියලයි සඳහන් වන්නේ. එම කතාවල අලුත් පැතිකඩක් ගැන මට හිතුණා.

ඉතිං රෝමයෙන් මොකක් හරි රහසක් ඉතිරිවෙලා තියෙනවා කියලා හිතුණා. ඒ කරුණු කාරණා මුල්කරගෙන තමයි මේ ගීතය ඔබ කියන ආකාරයට අන්ත දෙකක් එකට ඈඳා නිර්මාණය කිරීමට මගේ සිත දැඩි ලෙස උනන්දු කෙරුවේ. ඒ වගේම මේ ගීතයට ලස්සන තනුවක් තනා දුන්නේ විශාරද ඩැනිස්ටර් පෙරේරායි. ලස්සනට මේ ගීතය ගායනා කළේ අමල් පෙරේරායි.

● වරුෂ විතාන

advertistmentadvertistment
advertistmentadvertistment