එරික් ඉලයප්ආරච්චිගේ ‘සඳ ගමන’ – නවතම සාහිත්‍ය කෘතියේ කවරයේ දක්වා ඇති පහත පාඨය, එහි අභිප්‍රාය දක්වන පෙරවදනක් සේ පෙනී යන බැවින් එය උපුටා දක්වමින් එහි ඉෂ්ටාර්ථ සිද්ධිය පරීක්ෂා කිරීමට උත්සුක වෙමි. එහි මෙසේ සඳහන්ය.
“තමන්ගේ මුල්කෘතිය පළ කිරීම සඳහා දුෂ්කර දිවි පෙවෙතක් තෝරාගත් කලා අංකුරයකුගේ සිතුවිලි පරම්පරාවක් ලෙස කියවෙන නුට් හැම්සන් ශෛලියේ සාගිනි කේන්ද්‍රීය ප්‍රති -රචනාත්මක ස්වාධීන නොවෙල්ලාවකි. වත්මන් කොළඹ ඔහුගේ පරමාදර්ශී ක්‍රිස්ටියානාව වේ.”
ආකෘතික වශයෙන් හා අන්තර්ගතය වශයෙන් මෙය නොවෙල්ලාවක් (Novella ) බව කියා ඇති හෙයින් නොවෙල්ලාවක් යනු කුමක් දැයි හඳුනාගැනීම මැනවි. මහාචාර්ය ක්‍රිස් බෙල්ඩික් විස්තර කර ඇති පරිදි එය දීර්ඝත්වය සහ සංකීර්ණත්වය අනුව කෙටි කතාවත්, නව කතාවත් අතර වන, එක් සිදුවීමක් හෝ සිදුවීම් දාමයක් සමග විමතියට පත් කරන හැරවුම් ලක්ෂ්‍යයක් සහිත ප්‍රබන්ධාත්මක ගද්‍ය කතාවකි.”
සඳ ගමන කියවූ පාඨකයකුට ,කලින් නිර්වචනයේ දැක්වෙන සියලු අංග මේ නොවෙල්ලාව හෙවත් කෙටි නවකතාව තුළින් හඳුනා ගතහැකි ය. එහෙත් මේ කෘතිය වැදගත් වන්නේ වට්ටෝරුව සම්පූර්ණ කළ කෘතියක් නිසා නොව, එය රසවත් ලෙස, ජීවන දැක්මක් ද මතු කරමින් අපූරු ලෙස නිර්මාණය කර ඇති නිසා ය.”
සඳ ගමන රචනා කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් බැවින් එහි දී පාඨකයා දකින්නේ, කතානායකයා “මම” දකින දේවල් සහ ඊටත් වඩා “මට” හැඟුණ දේවල් ය. කවියකු වීමට දුෂ්කර ක්‍රියා කරන “මගේ” ක්‍රියාවන් සහ පරිකල්පනයන් අතර වන බොඳ මීදුම ඝන බැවින් සත්‍යයත් අසත්‍යයත් අතර දෝලනය වන වෙනසේ වපසරිය අවම කර ඇත. එය කතාවේ දුබලතාවක් නොව ප්‍රබලතාවක් බවට පත් කිරීමට කතුවරයාට හැකි වී ඇත්තේ, කථකයා පෙරුම් පුරනා කවියකු බැවිනි. සිහින දකින්නකු බැවිනි. සඳ ගමන ආරම්භක වැකි දෙක තුනෙන් ම ඊට ඉඟි සපයයි. “හෙවනැල්ලේ ජිනදාස මෙන් මම සරසවි අවන්හලේ වාඩි වී සිටිමි. දේශන මඟ හරිමින් කලාතුරකින් පමණක් ඇවිත් යන මා බලාපොරොත්තු වෙන්නේ මාසික ශිෂ්‍ය ආධාරය මාස දොළහ දහහතරකට පසු සැලකිය යුතු මුදලක් ලෙස බැංකුවේ එකතු කර ගන්නට ය. ඊට හේතුව කියන්නට ඉක්මන් වැඩිය …”
කතුවරයා පාඨකයා තුළ කුතුහලයක් දනවමින් එසේ කියූව ද සිරි ගුණසිංහගේ ‘හෙවනැල්ලේ’ ජිනදාස පිළිබඳ රූපකය සිහි කරන පාඨකයා, මෙහි එන “මා” කෙබන්දෙක් දැයි අනුමාන කරන්නට පටන් ගනී. “පාන් පෙති දෙකකින් කුස ගිනි නිවා ගන්නා “මා” – සාගත මල්ලේ අත්පිටපතක් දමා ගෙන එහෙ මෙහෙ සැරිසරන, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විදුදය සරසවියට ඇතුළත් වූ තරුණයකු බව පාඨකයා හඳුනා ගනී. 1972 වසරේ සිදු වූ මේ ප්‍රතිසංස්කරණ, අද මෙන්ම මානව ශාස්ත්‍ර විෂය ධාරාව ගැන විවේචනය කරමින්, ප්‍රායෝගිකත්වය හුවා දැක්වූ නව විෂය මාලාවකින් සමන්විත වූවකි. කථකයා විස්තර කර ඇති පරිදි “ඒ අභිනව අධ්‍යාපන ක්‍රමය තරුණ කැරැල්ලෙන් අනුබල ලැබ විශ්වවිද්‍යාල ප්‍රතිසංවිධානය යටතේ බිහි වූවකි. ඒවාට පිටුපාන්නට නොහැකි මට්ටමේ ගෞරවනීය මට්ටමක් ලබා දී තිබුණි… මා ඇතුළත් කර ගන්නා ලද්දේ පහසුවෙන් රැකියා ලබාගෙන රටේ සංවර්ධනයට දායක වන්නට තරුණයන්ට ඉඩ සලසන අලුත් පාඨමාලා ලෙස ප්‍රසිද්ධ වී තිබුණු එකකට ය…”
කෙනකුට කිරීමට කැමැති දෙය හා කිරීමට සිදුව ඇති දෙය අතර ප්‍රතිවිරෝධතාව මගින් ඇතිකරන මානසික සංකීර්ණතාව බොහෝ සාංදෘෂ්ටිකවාදී සාහිත්‍යකරුවන් විෂය කර ගත්තා සේ එරික් ඉලයප්ආරච්චි ද විෂය කර ගනී. එහෙත් කථකයා නිරුපණය කරන නාග “මගේ සරසවි”(My Universities). කෘතිය යි.
එයින් කතුවරයාගේ ස්වාධීනත්ව ප්‍රතික්ෂේප නොකරන අතර, 70 ගණන්වල කොළඹ පාතාලය ආශ්‍රිත සමාජ ආර්ථිකය මගින් බිහි කළ නන්නත්තාර නිර්ධන හෙවත් ලුම්පන් පන්තිකයන් ගැන එක්තරා උපස්ථිතිවාදී චිත්‍රයක් මවන බව කීම සාධාරණ ය. එය ගෝර්කිගේ සමාජසත්තා යථාර්ථවාදී රූපණයෙන් වෙනස් ය .
කවියකු වීමේ අදිටනින් සිටියත් ඔහු පවතින ක්‍රමයට මුළුමනින් එරෙහි වූවෙක් නොවී ය. සරසවි ශිෂ්‍ය නිලවරණයට ඉදිරිපත් වූ සහෝදරයන් වෙනුවෙන් නිර්නාමික කවි පෙළක් ද ඔහු ලියා දී ඇත. එය “ඇද වැටුණු විරුවන් මරණයෙන් නැඟිටුවන අදහසක් විය හැකි ය… එසේ නැත්නම් අසමසම බුද්ධිමතකු බව පෙන්වා පවතින ක්‍රමය ගැන නුරුස්සන අන්දමේ දුරස්ථ ආඩම්බරයක් ඉස්මතු කරන අදහසකි.”
70 ගණන්වල සිංහල කවියේ ද, සරසවි විද්‍යාර්ථීන්ගේ ද පොදු ලක්ෂණයක් දක්වන රචකයා, කවියකු වීම සඳහා අදිටන් කළ අයකුට එදා මෙන් ම අදත් මුහුණ දීමට සිදුවන ගැටලු විස්තර කරයි. කවියේ පැවැති සටන්කාමීත්වය මෙන් ම කවියාගේ ව්‍යාජ බුද්ධිමත් භාවය එකට වෙළී තිබුණ ද කථකයා දක්වන අධිෂ්ඨානය අව්‍යාජ බව පෙනී යන්නේ ඔහු ඒ සඳහා කැප වූ ආකාරය කියවනවිට ය. ඔහු කියන පරිදි “ලේඛකයකු වන්නට උත්සාහ කරන සෑම මනුෂ්‍යයකුට පොදු වූ ලෙසින් මටත් බලාපොරොත්තු සුන්වීම් හා නේක සන්තාපයන් සමග සරසවි බිමේ දුක් විඳින්නට හෝ ඉන් පලා යන්නට සිදු වී තිබුණි. කවර ගැහැටක් හෝ අත්විඳිමින් උසස් වූ පරිකල්පන ශක්තිය නොකඩවා උරගා බලන්නට මට වුවමනා විය.” ඔහු රහසේ විනා කලඑළියේ සටන්කාමී සිසුනට පිටුපාන්නට බිය වූයේ ඔවුන් සන්නද්ධ වී සිටින්නන් බව හැඟී ගිය බැවින් යැයි කියා තිබීමෙන් පෙනෙන්නේ කථකයාගේ සටන් කවි ඔහු කැමැත්තෙන් නොලියූ බවයි.
මෙලෙස කවියකු වීමට යන ගමනේ දී දිගට ම කැමැත්ත හා අකමැත්ත අතර ගැටෙන්නට කථකයාට සිදු වේ. කොළඹ පාතාල ජීවිතයේ දී ඔහුට හමු වන, ජයපාල මාමා, ලීලසේන, දුස්මන්ති සහ එම සමාජයේ සෙස්සන් ගැන ද කැමැත්ත සහ අකමැත්ත අතර ගැටුම් ඇති වේ. ඔවුන් ගැන මෙසේ සඳහන් කරයි. “ඔවුන් මා ලක් කළ මානසික පීඩනය අසීමිත විය.” එහෙත් කථකයා, ඔවුන් අතර වීරයකු ලෙස පිළිගැනීමට ලක්ව සිටි බව ද ඇත්ත ය. එමෙන් ම ඔහු සරසවියේ දී උගත් දේට වැඩි බොහෝ දේ මේ සමාජයෙන් උගනියි. “මීයන් කෑ මගේ වටිනා පොත්, පත්තර හා අත්පිටපතේ පිටු පෙරළා බලමින් මහත් කනගාටුවෙන් සිටි මොහොතක ලීලසේන විසින් මට දෙන ලද ප්‍රායෝගික උපදෙසක් තිබුණි.” ඒ උපදෙස ප්‍රතිඵල ලබාදීම නිසා එය “මහා නාගරික ප්‍රඥාවක්” ලෙස කථකයා හඳුනාගනියි. මී ගහනය වර්ධනය වීම ගැන කරන විස්තරය ඇල්බෙයා කැමූගේ “මහාමාරිය” නවකතාව සිහි කළත් එරික් ඉලයප්ආරච්චි මෙහි දී පෙන්වන්නේ කතානායකයාගේ මමංකාරය බිඳී වර්ධනය වූ ජීවන දැක්ම ප්‍රකාශ කිරීමට යැයි හැඟෙයි.
සඳ ගමනට අවශ්‍ය සියල්ල සූදානම් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන්නා සේ මෙම නොවෙල්ලාවේ, ඉහළට නැඟීම ක්‍රියාත්මක වන්නේ පොතෙන් පරිච්ඡේද 10ක් ඉක්ම වූ පසු ය. හිස්බව පිළිබඳ හැඟීමෙන් නගරයේ ඉබාගාතේ යමින් සිටින කථකයාට තම සරසවියේ සිසුන් මෙහෙය වූ පෙළපාලියක් හමු වේ. ඔහු එයට එක්වන්නේ අහම්බෙන් වූවත්, එය මෙම චරිතය වර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වේ. “මම පාර හරහා ඉදිරියට ඇදෙන බැනරය දෑතින් අල්ලා ගතිමි. ශක්තිජනක පානයේ අනුහස විසින් මගේ ස්නායු කිතිකවනු ලැබීම මා බලාපොරොත්තු නොවූ සහෝදරත්ව විඥානයට මඟ විවෘත කළේ ය. මට හැඟුණේ මා නිස්කාරණේ හුදකලාව සිටි බවකි. මගේ මනසට අරක්ගෙන තිබුණු සියලු ගැටලු ගිලිහී ගියා සේ විය. මා මින් පසු කුලෑටි ලජ්ජාශීලි පුද්ගලයකු නොවන බවත්, ආත්ම ශක්තියෙන් හෙබි ඕනෑ ම පුද්ගලයකු සමග කරට කර සිටින බවත් කල්පනා කරනවිට මට ඒත්තු ගියේ මා හදිසියේ ලොව පහළ වූ යුග පුරුෂයකු බවයි…” එහෙත් කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වන කථකයාට උපකාරී වන දීපිකා හමුවීම කුඩා සිදුවීමක් වුවත්, අනතුරුව එය වැදගත් සිදුවීමක් බවට පත් වේ. “… පෙළපාලිය අනතුරක් ලෙස වෙස් වළා ගෙන ආ ආශිර්වාදයක් වූ අයුරකි. ඒ නැඹුරුවෙන් මම කොයි තරම් කලාකාමී වී සිටීමි ද? පෙළපාලිය පොදු අරමුණකින් යුතුව සටන්කාමි ලෙස ඉදිරියට ඇදී යන නමුත් මා ස්වාර්ථයෙන් පිරී ඉතිරී ගොස් ඇතුවා සේ මට හැඟෙන්නට විය.”
කඳුළු ගෑස් පහරට ලක් වූ කථකයා දීපිකාගේ උකුලේ සිටිය දී මතු වන සිතුවිලි අතර පවා පෙනෙන්නේ කවියකු වීමේ තියුණු අධිෂ්ඨානය යි. “… මගේ සිත තුළ පහළ වූ සිතුවිල්ලට අනුව මුලදී කලාකරුවා හා අනෙකා අතර අර්ධ වශයෙන් අභ්‍යන්තර ඥාතීත්වය ඇති කර ගතයුතුය. ඊට දෙවනුව තමා හා සමාජය අතර පූර්ණ වශයෙන් සෞන්දර්ය අරගලයක් සිදු වියයුතු ය. ආශාව මුල්බසින්නේ මුල්අදියරේ නොව, ඒ දෙවැනි තුන්වැනි අදියරවල දී ය…” මුඩුබිම රචනා කළ ඉංග්‍රීසි කවි ටී. එස්. එලියට්ගේ හා ඉන් පසුකාලීන විචාරක මතවාද පිළිගත් බව හැඟෙන කථකයා, අනතුරුව තමා සංස්කරණය කළ කවි කියවීමට දෙන්නේ පාතාලවාසී ජේත්තුකරුවකු හා තොටළඟ නාට්‍යකරුවකු නිසා ගැබිනියක වී සිටින දුස්මන්තිටය. තමා දුස්මන්තියට ප්‍රේම කළා නම් ඇය ලීලසේනගෙන් බේරා ගත හැකිව තිබුණු බව ඔහුට සිතීමෙන් පෙනෙන්නේ ඔහුට ඒ ආදරය ප්‍රකාශ කර ගත නොහැකිව සිටි බව ද? එය කියා ගත නුහුණු කවියක් බඳු නොවේ ද?
තමා දුක සේ ඉතිරි කර ගත් ශිෂ්‍ය ණය මුදල බැංකුවෙන් ලබා ගෙන තම කවි පොත මුද්‍රණයෙන් එළිදැක්වීමට කථකයා ගන්නා අනුවේදනීය ප්‍රයත්නය බැංකු ක්ෂේත්‍රයේ මෙන් ම සරසවි ක්ෂේත්‍රයේ ද පවතින නිලබලවාදයත්, ඒ නිසා කථකයා මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයත් කියාපායි. මේ අතර ශිෂ්‍ය සටන් ඇවිළෙද්දී කථකයා ද ඊට එකතු වේ. “ කෑමට ඇවිත් අත්පිටපතේ වැඩ කරන මම උදෑසන සත්‍යග්‍රහ කූඩාරමේ වාඩි වෙමි… මට හැඟුණේ සිතා මතා අධිෂ්ඨානශීලිව සිදු කරන එවැනි කටයුතුවල සත්‍යය හා මානුෂික අලංකාරය ඇති බව ය.” මේ සටන් අතරේ දීපිකා ඔහු සමග ඇති කර ගන්නා සබඳතාව අහම්බෙන් සිදු වූවක් සේ පෙනුණත් එය මිනිස් ස්වාභාවය පිළිබඳ සටහනක් වේ. මෙහි දී කථකයා තමා ගැන තක්සේරුවට එයි. “ මට සිතෙන්නේ මා බුද්ධිමය කාර්යයක නිරතව සිටින අයුරකි.” එහෙත් තව දුරටත් ඔහුට තමා ගැන ඇත්තේ ද්වයිතවාදී විචිකිච්ඡාවකි. “කෙනකු තමා වන්නේ අභ්‍යන්තර වුවමනාවකින් ඉටු කරන වැඩවලින් විනා බාහිර ලොව සමග බැඳුණු හුදෙක් සද්ධාන්තික හා විරුද්ධාභාෂික ඥාන විභාගාත්මක දාර්ශනික සංකල්පවලින් නොවේ. ඒ සඳහා යම් උපාය ඥානයක් හා කපටිකමක් වුවමනා වීම වරදක් සේ
ගැනිය නොහැකි ය. සරසවි ජීවිතය පිළිබඳ මගේ මුල්තේරීම ඉච්ඡාභංගත්වයට පත් වූ මධ්‍යම පන්තිකයකුගේ බුද්ධිමය මංමුළාව විය හැකි ය.”
සඳ ගමන ඉහළ ම අවස්ථාව වන්නේ සටන් අට්ටාලයේ සිටිය දී මහ මඟ සිට ලීලසේන කරන නොපැහැදිලි අංග චලනය යි. පිස්සකුගේ විකාරයක් සේ බොහෝ දෙනාට පෙනුණත් එය හඳුනා ගත්තේ කතානායක කවියා ය. “වටරවුමේ රැඟුම් පාන්නේ කවුදැයි හඳුනාගන්නට ඇත්තට ම හැකියාව තිබුණේ මට පමණි. ඒ ලීලසේන ය. ඔහු සැබැවින් ම පපුවට ගසා ගත්තේ අට්ටාලය දිහා බලා ගෙන ය. ඒ සමග වැස්සක නිමිති පාමින් රෝහල් ගොඩනැඟිලි සියල්ලට ඉහළින් බොරැල්ල පැත්තෙන් දිස්වන අඳුරු අහසේ විදුලිය කෙටුවේ ය. මම වහා අට්ටාලයෙන් බිමට පැන්නෙමි.” ලීලසේන කියන්නේ දුස්මන්ති මැරුණු බව ය. හැඟීම්බර වූ කථකයා, ඩොස්ටොයෙව්ස්කිගේි‘අපරාධය හා දඬුවම’ නවකථාවේ රස්කොව් නිකොව්, සොන්යාගේ දෙපා වැළඳ ගන්නා සේ, ලීලසේගේ දෙපා බදා ගනියි. ඒ සමග ම කථකයා අතට පත් වන ලිපියකින් දැන ගන්නට ලැබෙන්නේ තම හිඟ ශිෂ්‍යාධාර මුදල අනුමත වී ඇති බව යි. එය ඔහුගේ කවි පොත පළ කරන්නට යම් ඉඩක් ලැබීමකි. මෙය අහම්බයක් සේ පෙනී
ගියත් කතුවරයා එයින් සංකේතවත් කළේ “කතුවරයාගේ මරණය” පිළිබඳ ප්‍රකට රූපකයට විකල්ප අර්ථයක් දීම දැයි සිතේ. කතානායකයාගේ කවි රස විඳි රසිකාව දුස්මන්ති ය. ඇගේ මරණය මගින් දක්වන්නේ, දුෂ්කරතා මැද කවියා බිහි වුව ද, මේ ව්‍යාකූල සමාජයේ රසිකයා මියගොස් ඇති බව ද? එසේ නැතහොත් කැමැත්ත හා අකමැත්ත අතර ගැටුමෙන් ඒ එකක් වත් ජය නොගන්නා බව ද? එම්මානුවෙල් කාන්ට් කියූ පරිදි සෞන්දර්යය ඇල්මෙන් තොර වූ උපේක්ෂාව බව ද? මේ කවර පිළිතුරක් ලැබුණ ද අපට සඳ ගමන හිතන්නට බොහෝ දේ ඉතිරි කරන නොවෙල්ලාවක් හෙවත් කෙටි නවකතාවකි. පවුස්තවුස්කි “රන් රෝස” කෘතියේ ලියා ඇති පරිදි “ගෙවන හැම නිමේශයක්, නොසිතා බිණූ වදනක්, හෙළුෑ බැල්මක් නොදැනෙන සේ හැඟෙන මිනිස් හද ගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටෝලු රේණුවක්, ගෙදිගු විලෙක තරු කිරණ කණිකාවක් මේ සියල්ල ම රන් සුණුය. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් යටි හිතෙන් මෙවැනි අනන්ත අප්‍රමාණ රන් සුණු අවුලමු. අවුලා දිනෙක ඒවා ගෙන එකට තලා අපගේ ම රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබා ගෙන සිටිමු…. සාහිත ශ්‍රෝතස උපදින්නේ මේ අගය නොමිනිය හැකි රන් සුණුවලිනි.”
(ආචාර්ය ආරියවංශ රණවීරයන්ගේ පරිවර්තනය)
ඉලයප්ආරච්චි “සඳ ගමන” ලියන්නේ රන් සුණු සොයා ගිය තරුණයෙකු ගැන ය. එමෙන් ම එයින් රෝස මලක් නිපදවීමේ ලා විඳි දුක්ඛ දෝමනස්යන් හා සොම්නස්සයන් ද ගැන ය. එහි ආකෘතිය, අවමවාදී ලක්ෂණ සහිත උපස්ථිතිවාදයක් ඔස්සේ දැක්වීම අන්තර්ගතය හා මැනවින් ගැලපෙයි. 70 ගණන්වල මුල් භාගයේ ලාංකේය සමාජය පාදක කර ගත් මේ කෘතිය, ඊට පසුකාලීනව ඇති වූ සමාජ ගතිකයන් හා මුසු කිරීමේ දී ඇති වූ ඇතැම් කාලබද්ධ දුෂ්කරතා ගැන ද කතුවරයාගේ අවධානය යොමු වුණේ නම් මැනවි. තම විෂය පථයේ ශක්‍යතා හා සීමා මැනවින් හඳුනා ගෙන රසවත් නොවෙල්ලාවක් හෙවත් කෙටි නවකතාවක් රසික ප්‍රජාවට යොමු කිරීම මගින් එරික් ඉලයප්ආරච්චි සාහිත්‍යකරුවා සිදු කර ඇති මෙහෙයට අපේ ආචාරය පිරිනැමිය යුතු ය .
● සුගත් වටගෙදර