කුලී ගමන් යන මුවාවෙන් පාළු තැන්වලට ගෙන ගොස් ත්‍රිරෝද රියැදුරන්ට සැප පෙන්නා අන්ඳවා රන්බඩු කොල්ලකෑ යුවළ කොටුවෙති

1550

කළුවර වැටී ඇති කාලයේ ත්‍රිරෝද රථ ‍රියැදුරන් මුලාකොට ලිංගික කටයුතු සඳහා පාළු ස්ථානවලට කැටුව ගොස් ස්වාමිපුරුෂයා සමග එක්ව රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ තරුණ කාන්තාවක සහ ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසිය සමත්ව ඇත.

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි 33 සහ 31 වියැති අඹුසැමි යුවළක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

සැකකාරිය පසුගිය දිනක අළුයම හතරට පමණ පානදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දී කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකට ගොඩවී රියැදුරුව ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන පාළු ස්ථානයට කැටුව ගොස් ඇති බව පොලිසිය කීයයි. එහිදී ඇය සිය ඇඳුම් ගලවා ලිංගික කටයුතුවලට සූදානම්වීමේදී ඒ ආසන්නයේ සැඟව සිටි ඇයගේ සැමියා පැමිණ දෙදෙනා එක්ව ත්‍රිරෝද රථ රියදුරුට පහරදී ගෙල බැඳි පවුම් දෙකහමාරක් පමණ බරැති රන්මාලය කොල්ලකා පලාගොස් ඇති බවද පොලිසිය කීය.

ඒ අනුව ක්‍රියාත්මක වූ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු නිලධාරීන් සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන කොල්ලකෑ රන්මාලයද සොයාගෙන තිබේ.

මෙවැනිම පැමිණිල්ලක් පෙරත් වාර්තා වී ඇති බවත් ආසන්න පොලිස් ස්ථාන වලටද මේ බව දැනුම් දී වාර්තා ලබාගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවසීය.

මැදිවියේ පසුවන පුද්ගලයන් මෙවැනි අකරතැබ්බයන්ට මුහුණදී ඇතත් පැමිණලි කිරීමට ලැජ්ජාවෙන් පසුවන බවද සඳහන් වේ.

සැකකාර යුවළ පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment