ජනාධිපතිවරණ උණුසුමත් සමගම මේ රටේ කාර්යබහුලම පුද්ගලයා බවට පත්ව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. එක් පැත්තකින් ආණ්ඩුවේ වැඩකටයුතු රාශියක් ඔහුගේ කර මතය. අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ඔහුගේ දේශපාලන ප්‍රවාහයේ වැඩකටයුතු ගැන ද සොයා බැලිය යුත්තේ ඔහුය. අවසාන වශයෙන් මෙවර ජනාධිපතිවරණයේ එම කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ද ඔහුය. එබැවින් ඔහුට කිසිදු විවේකයක් ඇත්තේ නැති තරම්ය.

පසුගිය සතිය ආරම්භයත් සමගම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට හා රැලිවලට සහභාගි වන්නට ජනාධිපති රනිල් කොළඹින් බැහැරව ගියේය. ඔහු සිටියේ අකුරණ, මාවනැල්ල, ඇහැලියගොඩ, මොණරාගල හා තිස්සමහාරාමය යන ප්‍රදේශවලය. එකින් එකට ජන රැලිවලට යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහභාගි වන අතර ජනාධිපති රනිල්ට අමුතුම ආකාරයේ අත්දැකීම් වලටද මුහුණපාන්නට සිදුවිය. ඒ අතර එක් සිදුවීමක් මාවනැල්ලේ රැලියේදී සිදුවිය.

මන්ත්‍රිනි රාජිකාට රනිල් මාරු වෙයි…

පොහොට්ටුවේ ඉඳන් රනිල් ළඟට ගිහින් වැඩ කරන සමහර මන්ත්‍රීවරුන්ගේ හදවතේ තාමත් ඉන්නේ මහින්ද කියා කතාවක් තිබේ. හැමෝම කියන්නේ ඒ ඉස්සර කියාය. එහෙත් ඉඳ හිට සමහර තැන්වලදී සමහරුන්ගේ හදවතේ ඉන්න මහින්ද නිකම්ම වගේ එළියට පනින අවස්ථා ඇත. එවන් සිදුවීමක් වූයේ මාවනැල්ල නගරය මැද රනිල් වෙනුවෙන් රැස්වීමක කතා කරමින් සිටි රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමියටය…

“ජනතාවගේ දුක කඳුළ වේදනාව අඳුනන්නේ නැති අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී ඉන්නවද නැත්නම් ජනතාවගේ දුක කඳුළු සෝ සුසුම්වල වටිනාකම දන්න මහින්ද රාජපක්ෂ……” එහෙම කියනකොටම වැඩේ වැරදුනා කියලා ඇයටම වැටහිණි. ඇය ඒ වෙලාවෙම වරද හදාගෙන රනිල්ගේ නම කියන්නට තරම් සැලකිළිමත් විය…

“මොනවා කරන්නද ඉස්සර පුරුද්ද නේ… නිකන්ම වගේ කියවෙනවා. මේ මාවනැල්ල, යටියන්තොට, කෑගල්ල, බුලත්කොහුපිටිය පැත්තේ අපි මේ ඉහේ කෙස් ගාණට ඔය නම කියලා ඡන්ද එකතු කරලා ඇති… ඒකයි කියවුණේ” ළඟ සිටින අයට එසේ කිව්වත් දුරකථනයෙන් කතා කරන අයගේ වදේ හින්දා අන්තිමේ ෆෝන් එක විසන්ධිම කර බෑග් එකේ දාගන්නට රාජිකාට සිදුවිය..

ගෙන් ගෙට යන හැටි රනිල්ම කියා දීලා….

ජනාධිපති රනිල් සඳුදා සුපුරුදු පරිදි මල් පාරේ මැතිවරණ කාර්යාලය වෙත ගියේය. ඔහුට එහිදී සොයා බලන්නට ඉතා වැදගත් කාරණා රාශියකි. මැතිවරණ රැස්වීම්, ඒවායේ කථික ලැයිස්තු හා මාධ්‍ය කටයුතු ඔහුගේ නිරීක්ෂණයට හසුවිය….

“ගෙයින් ගෙට ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරන එක තව තවත් වැඩි කරන්න. ග්‍රාමසේවක කොට්ඨාස මට්ටමෙන් ඒක සිද්ධ වෙන්න ඕන…” ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

හවස අමාත්‍ය මණ්ඩල හමුවට සහභාගි විය යුතු විය. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ද එහිදී ලොකු සාකච්ඡාවක් ඇති විය. එජාප අපේක්ෂක රනිල්ගේ ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සමරතුංග හා වේදිකාවේ දේශපාලන කතා ප්‍රස්තුතයට අනුව ගළපා සකස් කරන සමන් අතාවුදහෙට්ටි සමග ද සාකච්ඡාවක් ඇති විය.

අඟහරුවාදා දවසේ ජනාධිපති රනිල් කොළඹ සිට සොයා බැලුවේ ආණ්ඩුවේ වැඩකටයුතුය. ආරක්ෂක මණ්ඩල හමුව වෙනම පැවති අතර මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මුණගැසී රටේ ආර්ථික තත්ත්වය ගැන ද ලොකු සාකච්ඡාවක් ඇති විය. විවිධ පුද්ගලයන් දේශපාලනමය වශයෙන් පිල් මාරු කිරීම් මේ දිනවල සුලබ කරුණක් නිසා ජනාධිපතිවරයාගේ කාර්යබහුලත්වය තවත් වැඩි විය. විපක්ෂයේ විවිධ කණ්ඩායම්වලින් ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීම සඳහා පැමිණෙන අයව පිළිගැනීමට ද සැලකිය යුතු වේලාවක් මිඩංගු කළ යුතුව තිබුණේ මැතිවරණ උණුසුම නිසාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කටයුතු තවදුරටත් ගම් මට්ටමට ගෙන යා යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයාට සහය දක්වන අනෙකුත් පාර්ශ්ව ඉකුත් සතියේදී දීර්ඝව සාකච්ඡා කළහ.

“අපි පුළුවන් තරම් ප්‍රචාරක වැඩ ගමට ගෙනියන්න ඕන. මම ගම්පහ දැනටමත් වැඩ පටන්ගෙන තියෙන්නේ.” ඇමැති ප්‍රසන්න කීය.

“ඔව්.. අපි මේ වෙලාවෙදි කතා කරන්න ඕන ගමේ මිනිස්සුන්ට. පක්ෂ විපක්ෂ හැම කෙනා එක්කම අපි කතා කරන්න ඕන. එක්කෙනෙක්වත් මඟ හරින්න නරකයි” හිටපු ඇමැති මනූෂ ද කතාවට හවුල් විය.

“අලුත් ආදර්ශයක් දෙන්නත් එක්ක පොහොට්ටුවෙ අපියි, එක්සත් ජාතික පක්ෂයේ අයයි එකටම ගමට යමු. මේ සමඟිය ගමට ගෙනියමු.” ඇමැති ප්‍රසන්න කී කතාවට සියල්ලන්ගේම අනුමැතිය හිමි විය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන ක්‍රියාකාරීන් හමුව ඉකුත් සති අන්තයේදී පැවැත්විණ. ඇමැති රමේෂ් පතිරණ, මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු ඇමැති මනූෂ නානායක්කාර මේ සඳහා සහභාගි විය.

ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වැඩ ගමට ගෙනයෑම පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත්දා කතා බහ කෙරිණි. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ඇමැති මනූෂ නානායක්කාර, පක්ෂ මහලේකම් පාලිත රංගේ, ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාමල් සෙනරත් මේ සඳහා සහභාගි වූහ. එහිදී මනූෂ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන කරුණු දැක්වීය.

“අපි ගාල්ලේ වැඩේ පටන් ගෙන ආසන ක්‍රියාකාරීන් හමුවුණා. ඡන්ද පළ නියෝජිතයන් එක්කත් කතා කළා. පොඩි… පොඩි රැස්වීම් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් කරල ඉවරයි. ප්‍රසන්න ඇමැතිතුමත් ගම්පහ ඒ වගේම වැඩටික කරගෙන යනවා. කංචන, මහින්දානන්ද ඇතුළු අනෙක් ඇමැතිවරු ටිකත් වැඩ කරගෙන යනවා. ඒවට හොඳ ජනතා ප්‍රතිචාර තියෙනවා” හිටපු ඇමැති මනූෂ දීර්ඝ විස්තරයක් කරමින් කීය.

නාමල්ගේ ප්‍රතිපත්ති තාත්තගේ අතටම…

සිකුරාදා උදේ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ නිවසට ගියේ කුමක් හෝ ඉතා වැදගත් කටයුත්තකට බව බැලූ බැල්මටම පෙනෙන්නට විය. එය අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරී මට්ටමේ නායකයෝ ද හරි වෙලාවට එතනට පැමිණ සිටියහ.

ජනාධිපති මහින්ද ද කල් තියා සූදානම්ව සිටි බැවින් සිදුවන්නට යන්නේ ඉතා සුභ දෙයක් බව පැහැදිලි විය. එහෙත් ඒ කුමක්ද යන්න බොහෝ දෙනෙක් දැන සිටියේ නැත.

අපේක්ෂක නාමල්, පොහොට්ටුවේ මහලේකම් සාගර, පක්ෂයේ සභාපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමි ඇතුළු පක්ෂයේ නිලධාරි මඩුල්ලත් එතන සිටියහ. නිසි වේලාව පැමිණි විට නාමල් සුරැකිව ළඟ තබාගෙන සිටි තම ප්‍රතිපත්ති ප්‍රකාශනය බහාලුමෙන් එළියට ගෙන එහි මුල් පිටපත පක්ෂ නායකයා වන තම පියතුමන්ට පිළිගැන්වූයේය. දෙවන පිටපත පක්ෂයේ සභාපති හාමුදුරුවන්ට පිළිගැන්වූවේය. නිලධාරී මණ්ඩලයට එක් පිටපත බැගින් පිරිනමන අතරේ සාගර කතා කළේය…

“හොඳම නැකතක් නිසා අපි පක්ෂයේ නිලතල දරන නායකයන්ට පමණක් මේ විදිහට ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රදානය කරනවා. හැබැයි මේක ජනගත කිරීම සිද්ධ වෙන්නේ ලබන දෙවෙනිදා ගෝල්ෆේස් එකේ අයි සී ටී හෝටලයේ. ඒ කිව්වේ රත්න දීප හෝටලේ. එදාට ඉතින් හැමෝටම ආරාධනා කරලා විවෘත උත්සවයකදී තමයි ජනගත කරන්නේ.

නැකතට මුල් පිටපත් භාර දුන්නා හැරුණු විට එතන උත්සව සභාවක් පැවැත්වුණේ නැත. පුංචි තේ මේසයක් සූදානම් කර තිබිණි. තේ පානයෙන් පසු ප්‍රභූන් හා අමුත්තන් විසිර ගියහ.

නාමල් රාජපක්ෂ දැන් ලංකාව පුරාම රැස්වීම සඳහා සහභාගි වන අතර පසුගිය සතියේ සිටියේ කුරුණෑගලය. දොඩන්ගස්ලන්ද, මාවතගම, නිකවැරටිය, මාවතගම, ගල්ගමුව ප්‍රදේශවල මෙම රැස්වීම් සංවිධානය කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, යූ. කේ. සුමිත් සමන්ප්‍රිය හේරත් සහ අනෙකුත් පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන් විසිනි.

කෙටි දැනුම් දීමකින් තමයි මෙහෙම සෙනඟක් ආවෙ නේද නාමල් ජොනීගෙන් ඇසුවේය.

“ඔව් හැම දෙයක්ම අපට කෙටි කාලෙකින් නෙ කරන්න වුණේ නාමල්, ජනාධිපතිවරණයට ඉල්ලන එකත් හදිසියේමනෙ සිද්ධ වුණේ” ජොනී පැවසීය.

“ඔව් ඒක ඇත්ත හැබැයි නාමල් රාජපක්ෂට බිමේ ලොකු පිබිදීමක් තියෙනවා, මෙසේ කීවේ යූ. කේ. සුමිත්ය.

“ඒ ගැන නම් තොරතුරු මටත් ආවා නාමල් පැවසීය. ඔව් කුලියාපිටිය ආසනේ මම ගොඩාක් අය එක්ක කතා කළා ඡන්දය නොදෙන්න හිටපු අය ගොඩක් නාමල් මන්ත්‍රීතුමා නිසා ආපහු ඡන්දෙ දෙනවා කියලා කියනවා සමන්ප්‍රිය මන්ත්‍රීවරයා පැවසීය.

“ඔව් ඔව් ගමට බහින එක හොඳයි මොකද අපිට හරි තක්සේරුවක් ගන්න පුළුවන් ගමට බැස්සොත් තමයි අපට තියෙන්නෙ බිම් මට්ටමේ ඡන්ද” නාමල් පැවසීය.

“අපි ගෙයින් ගෙට යන කැම්පේන් එකත් දැන් පටන් අරන් තියෙන්නෙ” නාමල් වැඩි දුරටත් පැවසීය. අපි කාර්යාල විවෘත කිරීම ගැන බැසිල් ඇමැතිතුමාගෙන් ඇහුවා. අපි ආසන එකසිය හැටේම කාර්යාල අරින්න තීරණය කළා. දැන් කාර්යාල ඉක්මනින් අරින්න ඕනෙ ජොන්ස්ටන් මෙහිදී පැවසීය. ඔව් ජොනී ඇමැතිතුමා ඒ ගැන බලන්න හරියටම එම කාර්යාල ආසන 160ම කවර් කරන්න” නාමල් රාජපක්ෂ පැවසීය.

ජගත් ගේ වටිනාකම බැසිල් දන්නෙ නෑලු…

ලංකාවේ සමෘද්ධි ජගත් කී විට නොදන්නා කෙනකු නැති තරම්ය?. සාමාජිකයො 16,000ක් සිටින සමෘද්ධි සංගමයේ ලේකම් ජගත් කුමාර මන්ත්‍රීතුමාය. සමගි ජනසන්ධානයේ ප්‍රතිපත්ති සමග සමෘද්ධි ලාභියෝ පිළිබඳ ප්‍රඥප්තිය එළිදක්වන්නට බ්‍රහස්පතින්දා උදේ සිනමන් ලේක් සයිට් හෝටලයේ පැවැත්වුණු උත්සවයට ජගත් තම කණ්ඩායමේ නියෝජිතයෝ 1000ක් සමග පැමිණ සජිත්ට එකතුවිය.

“මේක ඓතිහාසික අවස්ථාවක්. ලංකාවේ පුංචිම පුංචි මිනිස්සු අතරින් බිහිවෙච්ච නිලධාරීන්ගේ සංගමය ඒ පුංචි මිනිස්සුන්ගේ දුක නිවන නායකයා සමග එකතු වුණ එක.” ඩලස් ඒ අවස්ථාව හැඳින්නුවේ එහෙමය. එහි සජිත් සමග ඩලස්, ඩිලාන්, හිරුණිකා, රිෂාඩ්, අලවතුවල ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක්ද සිටියහ. උත්සවය අස්සේ පොඩි කතාබහක් ඇතිවිය…

“රාජපක්ෂලා මේ ගොල්ලන්ගෙන් ප්‍රයෝජන ගත්ත විතරයි. මෙයාලගේ වටිනාකම දැනගෙන හිටියේ නෑ…” සජිත් කීවෙය.

“ඔව් ඔව් සමහර රාජපක්ෂලාට මෙයාව වහකදුරු. මෙයා මහින්දට සැලියුට්. අනිත් රාජපක්ෂලව නැති කරන විදියේ කතානේ කිව්වේ… ඒ අස්සේ අපිටත් දමල ගහනවා…” එහෙම කිව්වේ ඩිලාන්ය.

“ඔයාට මොනවද මෙයා…? පුද්ගලිකව අපිට ගහපුවා..? හැබැයි අද මාත් එක්ක එකතු වුණා. දුප්පත් මිනිස්සුන්ට සේවය කරන්න අපි දැන් එකතුවෙලා එක ගමනක් යනවා. එහෙම තමයි දේශපාලනේ. ඉස්සර නයි මුගටි වගේ හිටපු ඩිලාන්ලා ලකී සෙනවිරත්නලා දැන් කොහොමද…? මෙන්න දැන් ගජ යාලුවෝ..” සජිත් එසේ කියනවිට ඩිලාන් හයියෙන් හිනාවුණේය…

“හැබැයි මං මෙයාට ගරු කරන්නේ මෙයා ආණ්ඩුවේ ඉඳගෙනත් වරදට එරෙහි වුණා. ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වුණා. විසිවෙනි සංශෝධනයටත් විරුද්ධව මෙයා ඡන්දෙ දුන්නේ…” සජිත් ආයෙත් මතක් කළේය…”

“ඒ සිද්ධිය නිසා බැසිල් උන්නැහේ මට පන්න පන්න පහර දුන්නා. මාව කොන්කළා…”

“එයාලා ප්‍රශ්න පුද්ගලිකව ගන්නවනේ…” ඩලස් කීය.

“ඔහු සර්.. දවසක් තෙල් පෝලිං, ඔය ගෑස් පෝලිං ඇතිවෙන වෙලාවේ මම ගියා ඕක ගැන කතා කරන්න. සර් දන්නවද මට මොකද කිව්වේ කියලා… පෝලිං තියෙනවනම් පෝලිම මග ඇරලා යන්න පුරුදු වෙන්න කිව්වා…”

“ප්‍රශ්න මග ඇරලා යන එක තමයි එයාලගේ පුරුද්ද. හැබැයි අපි එහෙම නෑ. අපි ප්‍රශ්නෙට උත්තරේ දීලයි පස්ස බලන්නේ… අන්න එහෙම අය තමයි මාත් එක්ක අද එකතු වෙලා ඉන්නේ..” සජිත් කීය.

උත්සවය අවසන් වුවත් සජිත්ට විවේකයක් නොවීය. සජිත්, ඩලස් සමග හෙලිකොප්ටරයෙන් මහනුවර බලා පිටත්ව ගියේ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය දළදා හාමුදුරුවෝ ඉදිරියේ ඔප්පු කරන්නටය. එම ගමනට සමගි ජන සන්ධානයේ නායකයෝ ගණනාවක්ම වාහනවලින් නුවර ගියහ…

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සජිත් මුලින්ම දළදා හාමුදුරුවන් වහන්සේට ඔප්පු කළේ බ්‍රහස්පතින්දා උදය වරුවේය. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද එක්තරා අන්දමක රහසිගත ලියැවිල්ලක් මනුෂ නානායක්කාර ඇතුළු පිරිසක් ගෙන විත් දුන්නේය.

“මේ තමයි සමගි ජනබලවේගයේ අය අද දළදා මාලිගාවට ගිහින් දෙන්න හදන ප්‍රතිපත්ති ප්‍රකාශනය. දළදා වහන්සේට දෙන්න කලින් එයින් පිටපතක් අපිට ලැබුණා.” මනූෂ කීවේය.

“එහෙනම් දළදා වහන්සේට කලින් මේක කියවලා බලන්නේ මමද….” කියා විහිලුවක් කරමින් ජනාධිපතිවරයා එය භාරගෙන කියවන්නට විය.

“කොහොමද ඔයා මේක හොයාගත්තේ…” කියමින් එතන සිටි අනිත් අයත් මනූෂට විහිළු කළත් මනූෂ ඒ පිළිබඳ කිසිවක් විස්තර කරන්නට ගියේ නැත.

සජිත් එක්ක තංගල්ලට ආ අමුත්තා…

පසුගිය දිනක තංගල්ලේ තිබුණු රැස්වීමට සජිත් ආවෙ තව උස හීන්දෑරී තරුණයෙක් එක්කය. ඒ තරුණයා නිරෝෂන් ප්‍රේමරත්නය.

“ඔයගොල්ලෝ දන්නවද… මෙයා ලංකාවෙ තියෙන පැරණිම පක්ෂයක නායකත්වය පවා දාලා තමයි මාත් එක්ක මේ ගමනට එකතු වුණේ..” සජිත් තම හිතවතුන්ට නිරෝෂන්ව හඳුන්වා දුන්නේය.

නිරෝෂන් ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයෙක් විදියට පහුගිය වතාවෙ මාතරින් ඡන්ද 94,000ක් ගෙන මන්ත්‍රීවරයෙක් විය. පසුගියදා ඔහුට වාසුදේව නානායක්කාරගේ පක්ෂයේ නායකත්වය පවා ලැබුණි…. ඒ ගැන අයෙක් මතක් කළේය.

“නෑ නෑ… මෙයා ඒ තනතුරට අගෞරව කළේ නෑ. නීත්‍යානුකූලව ඒ තනතුරෙන් ඉවත් වෙලා තමයි මේ ඇවිත් ඉන්නේ. මේක නම්බුකාර ගමනක්…” සජිත් එහෙම නිරෝෂන්ව අගය කළේය….

ටියුඩර් – ජගත් ඩයස් පෙන්වා දුන්නු අනතුර…

බ්‍රහස්පතින්දා උදේ පිටකෝට්ට රැපල් උත්සව ශාලාවේදී සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මේ රටේ ජාතික සංවිධාන එකමුතුව හා ගිවිසුමක් අත්සන් කළේය. ඒ වූ කලී මේ රටේ තිස් අවුරුදු යුද්ධයට මැදි වූ කිසිදු රණවිරුවෙක් ජාත්‍යන්තර අධිකරණයක් සඳහා යොමු කරවන පාර්ලිමේන්තු අණ පනතකට හෝ රණවිරුවන්ට හා රටට අහිතකර ලෝක බැංකු කොන්දේසියකට මේ රටේ ඉඩ නොදෙන බවට ජනාධිපති අපේක්ෂකයා පොරොන්දු වීමකි. දිලිත් එම පොරොන්දුවට ජාතික සංවිධාන එකමුතුව හා අත්සන් තැබුවේය.

එම අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර, බෙංගමුවේ නාලක හිමි, විමල් වීරවංශ, වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෙවිඳු කුමාරතුංග ජාතික සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ. රණවිරුවන් වෙනුවෙන් බ්‍රිගේඩියර් අතුල ද සිල්වා හා මේජර් නීතිඥ චරිත සිරිවර්ධන සහභාගි වූහ…

රණවිරුවන් ජාතික අධිකරණවල දන් ගෙඩියට දක්කන අණ පනත් දැනටමත් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත්ව ඇතැයි කියමින් මෙම ගිවිසුම සැකසෙන්නට පසුබිම සකස් වූ එක්තරා සිද්ධියක්ද විය. එය සිදුවූයේ මෙසේය.

වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග හා අනතුරු ගැන සාකච්ඡා කරන්නට යුතුකම සංවිධානය විසින් කැඳවන ලද සම්මන්ත්‍රණයක් පසුගිය 27 වැනිදා හවස මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි දේශන සඳහා පැමිණි ආචාර්ය වීරසිංහ ඉතා හොඳ මාතෘකාවක් මතුකළේය. ඔහු කතා කළේ අද ශ්‍රී ලංකාව පාලනය කරන බලවේගය කුමක්ද කියාය…

ඔහුගේ මාතෘකාව මුළු ලෝකයේම පාලනය අද සියතට ගෙන ඇති “ගෝලීය උපරි රාජ්‍යය” ගැනය. එම රාජ්‍යය සිය ක්‍රියාකාරී බලඇනි වන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, නේටෝ සංවිධානය, ජී හත සංවිධානය, ලෝක ආර්ථික සම්මේලනය හා බහුජාතික සමාගම් හරහා ලංකාව පාලනය කරන ආකාරය ඔහු පෙන්වා දුන්නේය. ඔහු උදාහරණයට ගත්තේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. අද වන විට ලංකාව වැනි රටවල් ලෝක බැංකු හා ජාත්‍යන්තර අරමුදල් කොන්දේසි මත ගෝලීය උපරි රාජ්‍යයට අවනත යටහත් පහත් මෙහෙකරුවන් ඇති අන්දම ඔහු පැහැදිලි කළේය. දැනට පාර්ලිමේන්තුව හමුවට පැමිණ ඇති බොහෝ රටට නොගැළපෙන අණ පනත් අපට සම්මත කරන්නට සිදුව ඇත්තේ රටේ අවශ්‍යතාවයකට නොව, ලෝක උපරි රාජ්‍යයේ අවශ්‍යතාව මත බව පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව කතා කළේ ඊළාම් යුද්ධය ජය ගැනීමේ මෙහෙයුමේ ප්‍රබල රණවිරුවකු ලෙස සලකන මේජර් ජෙනරාල් ජගත් ඩයස්ය. ඔහු ඉතාමත් සංවේදී කතාවක් කළේය.

“අපට වුවමනා වුණේ මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් බිහි කරන්න. අපි ඒක කළා. දැන් ඒක ජාත්‍යන්තරයේ මතයට අනුව වරදක්. යුද්ධයට මැදිහත්වුණු ඉහළ රණවිරුවෝ පනස් ගාණක් ගණන්කාරයෝ විදිහට හංවඩු ගහලා. මමත් එක්කෙනෙක්. රට වෙනුවෙන් ඕනම අධිකරණයකට ගිහින් ඕනම පුටුවක වාඩිවෙන්න මම බය නෑ. අපි ජීවිතේ උගසට තියලා යුද්ධ කරලා රට බේරගත්ත මිනිස්සු. හැබැයි දැන් අපිව යොදා අධිකරණයට යවන්න පාර්ලිමේන්තුව හමුවේ එක එක නම්වලින් පනත් සම්මත වෙනවා. ඉදිරියේදී අයි එම් එෆ් ණය සමග ගැටගැහුණු කොන්දේසි විදිහට අන්න ඒ පනත් අපේ පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි.”

ජගත් එම අදහස ඉදිරිපත් කළා පමණි. ගෙවිඳු එමගින් පැමිණෙන අනතුර මතු කළේ මෙසේය…”

අපේ රණවිරුවන්ව ජාත්‍යන්තර අධිකරණවලට ඒ විදියට පාවා නොදෙන ජනාධිපති අපේක්ෂකයා කවුද. මේ ඉන්න ජනාධිපති අපේක්ෂකවරුන්ට යුතුකමක් තියෙනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය ජනතාව හමුවේ ඉදිරිපත් කරන්න.”

ඒ අභියෝගය භාර ගත්තේ දිලිත් ය. අන් කවර අපේක්ෂකයකුවත් ඒ පිළිබඳ අංශු මාත්‍රයක් කතා කළේ නැත. දිලිත් ජාතික සංවිධාන සමග අත්සන් කරනු ලැබුවේ ඒ පිළිබඳ තම පොරොන්දුව හා අපේක්ෂාව සහිත ගිවිසුමයි.

එජාප මහ ලේකම් රංගේට වෙච්චි දෙයක්…

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පිළිබඳ නොයෙකුත් කතා පැතිර යන්නට වූයේය. ඔහුට විවිධ චෝදනා නැඟෙන්නට ද විය. පක්ෂයේ විනය සම්බන්ධයෙන් පමණක් නොව, පක්ෂයේ යම් යම් ගනුදෙනු සම්බන්ධයෙන්ද ඔහුට විරුද්ධව යම් යම් චෝදනා කනින් කොනින් පැතිර ගියේය. බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට ආරංචි වූයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා විසින් පාලිත රංගෙ බණ්ඩාරව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරින් ඉවත් කරන්නට තීන්දුවක් ගෙන ඇති බවය.

පසුදා එනම් සිකුරාදා ඇතැම් පුවත්පත්ද මේ පුවත වාර්තා කර තිබිණ. එහෙත් යම් යම් මාධ්‍ය මේ කාරණාව සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකර සිටීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය. ඒ අතර සිකුරාදා දහවල් බොහෝ දෙනකුට ගැටලුවක් වූයේ රංගේ බණ්ඩාර තනතුරුවලින් ඉවත් කළා යැයි කීවාට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රංගේ පක්ෂ මූලස්ථානය වූ සිරිකොත ඇතුළේ සිට විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වීමයි.

මේ පිළිබඳ සොයා බැලීම්වලදී එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ආරංචි මාර්ග හෙළි කළේ රංගේට පසුගිය කාලයේ ගේදොර ගිනිබත් කිරීම් නිසා දේශපාලන පළිගැනීම්වලට ඔහු ඉල්ලා තිබූ වන්දි මුදල ඔහුට ගෙවන්නට නියමිතව තිබිණි. ගණන රුපියල් කෝටි ගණනක් යැයි වාර්තා විය. එහෙත් ඒ වන්දි මුදල කාගේ නමට ලබාගත යුතු දැයි ප්‍රශ්නයක් මතුවිය. මන්ද එම දේපළවල අයිතිය පාලිත රංගේ බණ්ඩාරගේ බිරිඳ සතුව තිබීමයි. ඔහු ඉල්ලා තිබුණේ එම මුදල ඔහුගේ නමට නිකුත් කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් තිබූ අවනඩුව ජනාධිපතිවරයා මැදිහත්ව විසඳා නොතිබූ බැවින් රංගෙ බණ්ඩාරත් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අතර යම් නොහොඳ නෝක්කාඩුවක් කලක සිට හටගෙන තිබිණි. එහෙත් ඊට ජනාධිපතිවරයා ඇඟිලි ගසන්නට ගියේ නැත්තේ ඔවුන්ගේ පවුලේ ආරවුල පවුලේ අයම මැදිහත් වී විසඳාගත යුතුව තිබූ නිසා යැයි කියති.

දින කීපයකට පෙර පක්ෂ කාර්යාලයට පැමිණි රංගේ බණ්ඩාර තමන් පක්ෂ ලේකම් තනතුරින් ඉල්ලා අස්වෙන්නේ යැයි නෝක්කාඩුවක් පළකර තිබිණි. රංගේ බණ්ඩාර සම්බන්ධයෙන් නොයෙකුත් ගැටලු ඒ වන විටත් චෝදනා වශයෙන් පක්ෂ නායකයාට ලැබී තිබූ නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ හැකි ඉක්මනින් තනතුරුවලින් ඉවත් කරන්නට සූදානමක් තිබිණැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

ඒ අතර තවත් කටකතාවක් පැතිර ගියේ එජාප මහ ලේකම්වරයා සජබයට එක්වන්නට ඒ වන විටත් සාකච්ඡා කර ඇති බවකි. බ්‍රහස්පතින්දා දහවල් රංගේ බණ්ඩාර පුවත්පත් සාකච්ඡාව සිරිකොතේ පවත්වා තිබුණේද පක්ෂ නායකත්වයේ අනුමැතියකින් තොරව බව වාර්තා විය.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment