වියළි, සුසුම් රස්තියාදුව, මීයා, බැක්සයිඩ් පෙරමුණේ

ජනප්‍රිය නිළිය, නළුවා සම්මානය කාටද?

21 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල හෙට (29දා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මේ සඳහා කලා ක්ෂේත්‍රයේ සියලුම නළු නිළියන්, සියලුම නිෂ්පාදක කණ්ඩායම්, කාර්මික ශිල්පීන්, මාධ්‍යවේදීන් සමග ආරාධිතයන් ද සහභාගි වීමට නියමිතය.

මෙහිදී පසුගිය 2024 වර්ෂයේ විකාශය වූ ටෙලි නාට්‍ය සඳහා ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන මෙන්ම ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා සම්මාන ප්‍රදානය කිරීමට නියමිතය.

ඒ අතර ප්‍රේක්ෂක මත විමසුම අනුව ජනප්‍රිය නළුවා, ජනප්‍රිය නිළිය වගේම ජනප්‍රිය ටෙලි නාට්‍යය සඳහා ද සම්මාන පිරිනැමීමට නියමිතය. එස්.එම්.එස්. මත විමසුම අනුව සාරංග දිසාසේකර, උද්දික ප්‍රේමරත්න, චානුක ප්‍රබුද්ධ, සජිත ඇන්තනී, රුමාල් ධනංජන, රන්දික ගුණතිලක, ඉෂාර මදුෂාන්, රවීන් කණිෂ්ක, සචින් ලියනගේ, ලවන් අභිෂේක් ඉදිරියෙන්ම සිටින පළමු දස දෙනා අතරට තේරී පත්වී ඇති නළුවන් වන අතර ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළිය යටතේ දිනක්ෂි ප්‍රියසාද්, දුෂේනි මියුරංගි, මිෂෙල් දිල්හාරා, සඳනි වක්කුඹුර, නෙත්මි රොෂෙල්, ශලනි තාරකා, පියුමාලි එදිරිසිංහ, තරින්දි ප්‍රනාන්දු, වින්ඩි ඒකනායක සහ දසුනි සිනෙත්මා අවසන් දසදෙනා අතර වේ. පාට කුරුල්ලෝ, රොන් සොයා, පිරිමි ළමයි, පාරදිගේ, මායාවී, දෙවැනි ඉනිම, ඉස්කෝලේ, අමුතු දොස්තර, සංගීතේ, සසංකාරා යන ටෙලි නාට්‍ය අවසන් දහය අතරට තේරී පත් වී ඇත.

තවද පසුගිය වසරේ විකාශය වුණු චන්දන ඉරුගල් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ වියළි ටෙලි නාට්‍යය සම්මාන 13කට නිර්දේශ වීමෙන් පෙරමුණෙ ගෙන ඇත. ඊට පසුව චින්තක ධර්මදාස, මුවිඳු බිනොයි අධ්‍යක්ෂණය කළ ‘මීයා’ ටෙලි නාට්‍යය සම්මාන නවයකට ද ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සුසුම් රස්තියාදුව’ සම්මාන 11කට ද ජෝ දිසානායක අධ්‍යක්ෂණය කළ බැක්සයිඩ් සම්මාන අටකට ද නිර්දේශ වීම සුවිශේෂී කරුණකි.

රයිගම් ටෙලීස් හෙට

චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ ‘චණ්ඩි කුමාරිහාමි’ සම්මාන හතරකට ද Take Care, දිවිතුරා, See You සහ තත්ත්පරයක් දෙන්න යන ටෙලි නාට්‍ය ද සම්මාන සඳහා නිර්දේශ වී තිබේ.

ඒ අනුව හෙට (29 දා) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙන 21 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ අවසන් මහා රාත්‍රියේදී එක් එක් කාණ්ඩයන් යටතේ ජයග්‍රාහී ටෙලි තරු සම්මාන දෝතින් රැගෙන තමන් කළ නිර්මාණයේ සතුට විඳීමට සූදානමින් සිටී.

දිනේෂ්


advertistmentadvertistment