චීන පොහොර නැවේ සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියගෙන් අපේක්ෂිත ඇප ඉල්ලා තිබුණි. ඒ තමන් එම සිදුවීමට වගකිවයුතු නොමැති බව සඳහන් කරමිනි.
මැයි 14 වැනිදා එම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබුණු නමුත්, එය විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ මැයි 19 වැනි සඳුදාය. මහින්දානන්ද අලුත්ගමගේ අපේක්ෂිත ඇප අයදුම් ඉල්ලීමට පෙර, ඇත්තටම අප මෙහි උත්සාහ කරන්නේ මේ සම්පූර්ණ පොහොර නාඩගම දෙස හැරී බැලීමටය.
මේවාට පදනම් වී තිබුණේ චීනයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර ගෙන්වීමේ සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයකි. කොමිසමේ විමර්ශන මත අප්‍රේල් 28 වැනිදා මෙම පොහොර ගනුදෙනුව මත පදනම්ව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ කොළඹ මහෙස්ත්‍රත් අධිකරණයේ නියෝගය මත මැයි 05 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ඒ, කින්ඩාඕ සීවින්ග් බයෝටෙක් සමාගමෙන් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයක් ගෙන්වාගැනීමට ණයවර ලිපි විවෘත කිරීමේ සිදුවීමටය.
පොහොර තීන්දුව
මහින්දානන්ද අලුත්ගමගේ නිර්දෝෂීද නැද්ද යන්න තීන්දු කිරීමට අප මේ සියල්ලෙහි මුල අවබෝධ කරගැනීමට සිදු වේ. සියල්ලෙහි මුල රසායනික පොහොර තහනමයි. අප මෙහි අවධානය යොමු කරන්නේ රසායනික පොහොර තහනම සහ ඒ පසුපස ඇති සිදුවීම් මාලාවටය. ඇත්තෙන්ම ඒ සිදුවීම්වලට වගකිවයුත්තෙක් නැතිද? දැන් වගකියන්න ඕනෑ නිලධාරීන්ද? ජනතාවද?
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමක් ලෙස පවසමින් 2021 අප්‍රේල් 27 වැනිදා සිට රසායනික පොහොර භාවිතය මෙරට තුළ තහනම් කිරීමට රජය කටයුතු කළේය. ඒ, එදින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 21/0746/301/013 මත පදනම් වීය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවලට සම්පූර්ණයෙන් කෘෂිකර්මය යොමු කිරීමට ක්ෂණික තීන්දුවක් ගනු ලැබීය.
හිපෝ ස්ප්‍රීම්
මේ වෙද්දී අල්ලස් කොමිසම විමර්ශනය කරමින් සිටින්නේ චීනයෙන් ගෙන්වූ පොහොර නැව ගැනය. ඒ නැවේ කතාව ඇරඹුණේ මෙසේය.
2021/2022 මහ කන්නයේ හෙක්ටයාර් 500,000කට කාබනික පොහොර චීන සමාගමක් වන කින්ඩාවෝ සීවින්ග් බයෝටෙක් නම් වූ සමාගමෙන් ආනයනය කර තිබුණි. ඒ 2021 මැයි මාසයේදී ගත් තීන්දුවක් අනුවය. එහෙත්, එම පොහොර තොගය මෙරටට ළඟා වුණේ ශාක නිරෝධායන බලපත්‍රයක් නොමැතිවය. මේ තොගයට ඩොලර් මිලියන 6.9ක් ගෙවා තිබුණේ, පොහොර තොගය ශාක නිරෝධායනයක් නැතිකමින් මෙරටට ඇතුළු කර ගැනීමටත් බැරි පසුබිමකය.
කැබිනට් මණ්ඩලය ජුනි 01 වැනිදා අංක 21/0964/323/030 අංකය සහිත අමාත්‍ය මණ්ඩල තීන්දුව ගෙන තිබුණි. ඒ අනුව කින්ඩාවෝ බයෝටෙක් ආයතනයෙන් සීයට 10ක් නයිට්‍රජන් මුහුදු පැලෑටි සහිත කාබනික කැටිති පොහොර මෙටි්‍රක් ටොන් 96,000ක් අමෙරිකන් ඩොලර් 42,816,000කට ආනයනය කිරීමට කටයුතු කර තිබුණි.
මේ පොහොර රැගත් හිපෝ ස්පිරිට් නම් වූ නෞකාව ලංකාවට පැමිණ දින 70ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ හැංගිමුත්තන් කරමින් සිටියේය. එය දෙසැම්බර් 04 වැනිදා සිංගප්පූරුව බලා පිටත් වුණේ, ශ්‍රී ලංකාව නැව බාර නොගත් නිසාය. සිංගප්පූරුවට නැව ගියේ ශ්‍රී ලංකාව එක්ක නීතිමය ගැටුමකට පිවිසීමේ සහ නැවේ ඇති තොගය විමර්ශනයට ලක් කිරීමේ අපේක්ෂාවෙනි. ඔවුන් පැවසුවේ ඩොලර් මිලියන 08ක වන්දියක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවයි.
පොහොර නැව ප්‍රතික්ෂේප කළේ, එම නැවේ තිබුණු පොහොරවල අර්විනියා සහ බැසිලියස් නම් වූ ගණයන්ට අයත් ක්ෂුද්‍රජීවීන් සිටි නිසාය. මේ බව තහවුරු වුණේ 2021 අගෝස්තු 31 වැනිදා පොහොර සාම්පල් දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ශාක නිරෝධායන සේවයට ලබාදීමෙන් පසු සිදුකළ පර්යේෂණ මතය.
එවිට කෘෂිකර්ම ඇමැතිවරයා කීවේ කුමක්ද? කෘෂිකර්ම අමාත්‍යාංශය කළේ කුමක්ද? සැප්තැම්බර් 14 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ, ‘ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇති කර නොගන්නා ලෙස’ය. සැප්තැම්බර් 17 වැනිදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නම් කෙරුණු ස්වාධීන පරීක්ෂණාගාරයක සිදුකළ නිරීක්ෂණයන්ට අනුව පොහොරවල ක්ෂුද්‍රජීවීන් නැති බවය. ඔහු කීවේ, පර්යේෂණයට ලක් කළ පොහොර සාම්පලය ප්ලාස්ටික් බෑග් එකකින් ගෙන්වා ඇති බවත්, පොහොරවලට ඉන්ජෙක්ෂන් කටුවකින් ඇන්නොත් සාම්පල් සම්පූර්ණයෙන් වෙනස් වෙන බවත්ය.
ඔයාකාරයෙන් කෙසේ හෝ ගෙන්වූ පොහොර තොගය රට තුළට ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය. රජය පොහොරවල ප්‍රමිතිය නොමැති බව පිළිගෙන ඔක්තෝබර් 23 වැනිදා වන විට එම පොහොර ආනයනය අත්හිටුවීමට තීන්දු කළේය.
ඉතින් මේ වගකීමට තමන්ගේ වගකීමක් නැති බවට මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා තර්ක කිරීම උත්ප්‍රාසජනකය. විහිළු සහගතය.
නයිට්‍රො රාජා
එහෙත්, මේ පොහොර අර්බුදයේ අනාගැනීම් එතැනින් ඉවර වන්නේ නැත.
චීන පොහොර ගොඩබෑමට නොහැකිව තිබියදී, 2021 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ සමාගමක් වන ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝරේටිව් ලිමිටඩ් නම් වූ සමාගමෙන් නැනෝ නයිට්‍රජන් ආනයනය කිරීම සඳහා යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් නම් වූ සමාගමක් ඉදිරිපත් කළ යෝජනාවක් සිලෝන් කොමර්ෂල් පොහොර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සම්මත කරගෙන තිබුණි. යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් හරහා දියර පොහොර මිලිලීටර් 500ක් අඩංගු බෝතල් 4,250,000ක් ආනයනය කිරීමට ගිවිසුමක් ඇති කරගෙන තිබුණි. ඒ 2021 නොවැම්බර් 21 වැනිදාය. එහෙත්, අවස්ථා හතරකදී පොහොර බෝතල් මිලියන හතරෙන් ආනයනය කර තිබුණේ බෝතල් ලක්ෂ තුනක් හෙවත් 306,454ක් පමණි. ඒ අනුව ගිවිසුම්ගත ප්‍රමාණයෙන් සීයට 7ක් පමණක් ආනයනය කර තිබුණු අතර රුපියල් මිලියන 711,863,096ක පිරිවැයක් දැරීමට රජයට සිදුව තිබුණි. කෝටි හතක් මෙලෙස වියදම් කළේ ඒ පොහොරවල සැබෑ වටිනාකම ඒ මුදල වූ නිසා නොවේ. බෝතල් ලක්ෂ තුනෙන් බෝතල් 100,224ක් රජය මිලට ගෙන තිබුණේ ඩොලර් 12.45ක් වැනි මිලකටය. බෝතල් 206,232ක් මිලට ගෙන තිබුණේ ඇමෙරිකන් ඩොලර් 10කටය.
එහෙත් රේගු සටහන් අනුව බෝතලයක් ආනයනය කර තිබුණේ එකක් ඇමෙරිකන් ඩොලර් 5 බැගිනි. ඒ කියන්නේ ලංකා පොහොර සමාගම පෞද්ගලික අංශය මැදිහත් කර නොගෙන ඍජුව ගෙන්වූවේ නම් එකට එකක් මිල ඉතිරි කරගත හැකිව තිබුණි.
නැනෝ පොහොර ගෙන්වීමට රජය තීන්දු කළා නොවේ. මතක තබාගත යුතු අනෙක් කාරණය එයයි. මේ පොහොර ගෙන්වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පර්යේෂණ ආයතනවලින් රසායනික පොහොර තහනම් කළ පසු ලංකාවට ගැළපෙන පොහොර වර්ග අධ්‍යයනය කිරීමෙන් පසු ටෙන්ඩර් කැඳවා ආරම්භ කළ ක්‍රියාවලියකින් පසු නොවේ.
රජය මිලදී ගත් මේ බෝතලයක් ඇත්තටම ආනයනය කර තිබුණේ ඇමෙරිකන් ඩොලර් 5 බැගින් බව රේගු සටහන්වලින් අනාවරණය විය.
මේ පිළිබඳ නිකුත් කළ විශේෂ විගණකාධිපති වාර්තාවේ මෙසේ සඳහන්ය.
“මෙම පොහොර වගාබිම් වෙත මුදාහැරීමට පෙර දේශීය පර්යේෂණාගාරයක හෝ දේශීය ආදර්ශ ගොවිබිමක කිසිදු අත්හදා බැලීමක් කර තිබුණේ නැත. නැනෝ දියර පොහොරවල කාලීන අවශ්‍යතාව පිළිබඳ නිසි ඇගයීමකින් තොරව පොහොර ආනයනය කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් අදාළ ආනයනයන් අතරමග නවතා දැමීමට සිදු වී තිබුණි. එමෙන්ම පොහොරවල අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තහවුරුවකින් තොරව විවිධ නාමකරණයන් යටතේ මෙම දියර පොහොර හඳුන්වා ගොවීන් වෙත මුදාහැරීම ද ප්‍රශ්නගත විය.”
ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙසේ කියයි.
“ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේටිව් සමාගමේ වෙබ් අඩවිය අනුව එම සමාගම නිෂ්පාදනය කරනු ලබන නැනෝ නිෂ්පාදන සඳහා ඉන්දියානු රජය අවසර දී ඇති එකම නැනෝ නිෂ්පාදනය නැනෝ යූරියා වේ. ඒ අනුව නැනෝ නයිට්‍රජන් දියර පොහොර යන නාමකරණයේ අව්‍යාජභාවය ප්‍රශ්නගත බව නිරීක්ෂණය කරන අතර නිෂ්පාදනයේ සැබෑ තොරතුරු ඇතුළත් ඉන්දියානු ලේබලය යෙදීමකින් තොරව ලේබල් රහිතව මෙම පොහොර වර්ගය ආනයනය කිරීමෙන් අනතුරුව සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම විසින් නයිට්‍රො රාජා, අයිඑෆ්එෆ්සීඕ නැනෝ නයිට්‍රජන්, රජයේ නයිට්‍රජන් දියර පොහොර යන වැකි සහිත ලේබලයක් අලවා එනම් දියර පොහොරවල අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව තාක්ෂණිකව තහවුරු කර නොගත් නාමයන් සහිතව පොහොර තොගය ගොවීන් වෙත නිදහස් කර ඇති බව නිරීක්ෂණය විය.”
කෝප් කමිටුවේදී හෙළි වූ දේ
මේ අතරතුරේ පසුගිය සතියේ කෝප් කමිටුවේ විමර්ශනයකදී තවත් සිදුවීමක් හෙළි විය. ඒ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අවභාවිතයකි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. ඒ 2021 වර්ෂයේදීය. එය උතුරු මැද පළාත කේන්ද්‍ර කරගෙන මධ්‍යස්ථාන 35ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් තුළ පවත්වාගෙන යන ලදී. ඒ සඳහා මූලික වියදම ලෙස රුපියල් මිලියන 700ක් ඇස්තමේන්තුගත කර තිබුණි. එයින් මිලියන 350ක් වෙන් කර තිබුණි.
මේ පොහොර කොමර්ෂල් පොහොර සමාගමට අලෙවි කිරීමට සැලසුම් කර තිබුණත්, එම සමාගම පොහොර මිලදීගැනීම නැවැත්වීය.
2022 ජූලි 14 දින කාබනික පොහොර ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කර තිබුණේ ඒ පසුබිමේය. ඒ පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවේ මෙසේ සඳහන් වේ.
“2021 වර්ෂයේදී රුපියල් මිලියන 350ක් වැය කර ආරම්භ කළ කාබනික පොහොර ව්‍යාපෘතියේ වියදමට සාපේක්ෂව උපයාගෙන තිබුණු ආදායම රුපියල් මිලියන 22ක් වීම මත මෙම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස 2022 වර්ෂයේදී අවසන් කර තිබුණි.
මෙම ව්‍යාපෘතිය සඳහා මිලදී ගත් රුපියල් මිලියන 31කට වඩා අධික යන්ත්‍ර සූත්‍ර සහ කාර්යාල උපාංග ස්ථානගත කර ඇති හා එම වත්කම් වර්ග හා වටිනාකම් පිළිබඳ විස්තර විගණනයට ඉදිරිපත් නොවීය.
2023 මාර්තු 29 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 23/383/615/017 දරන අමාත්‍ය මණ්ඩල තීරණය අසාර්ථක වීමට හේතු වී ඇති කරුණු එහි මුල් භාවිතා කොට ඇති ආකාරය සහ ඒ සඳහා දායක වූ පාර්ශ්ව පිළිබඳ ස්වාධීන පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට සාමාජිකයන් තුන්දෙනකුගෙන් යුත් විශේෂ විමර්ශන කමිටුවක් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම් විසින් පත් කර එම වාර්තාව 2023 අප්‍රේල් 29 දිනැති සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම්ගේ අංක 9/2/6/17 ලිපිය මගින් සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙස දක්වා ඇතත් 2024 ජුනි දක්වා ඉදිරිපත් කර නොතිබුණි.”
වගකියන්නේ කවුද?
මේ සියල්ලට අමතරව, කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා මෙරට වී නිෂ්පාදනය සීයට 20කින් පහත වැටුණි. පොල් පලදාව අදටත් දුර්වලය. තේ අපනයනයෙන් ඩොලර් මිලියන 425ක පාඩුවක් සිදු විය.
මේ පොහොර ආනයන ප්‍රශ්න, පොහොර විකිණීමේ ගැටලු සියල්ල සිදු වුණේ රටේ විදේශ විනිමය සහ දේශීය අරමුදල් පිළිබඳ බරපතල ගැටලු තිබුණු කාලයකය. ඉන් මාස කිහිපයක් ඇතුළත ආර්ථිකයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කෙරුණි.
ආර්ථික අර්බුදයට හේතු අතර පොහොර තහනමත් වූ අතර, ආර්ථිකය බංකොලොත් කිරීමට අදාළව ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුලට එරෙහිව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි පොහොර තහනම ප්‍රධාන සිදුවීමක් ලෙස නම් කර තිබුණි.
ඒ සියල්ලෙන් පසු, මේ සිදුවීම්වලට තමන් වගකියන්න ඕනෑ නැති බව එවකට සිටි අමාත්‍යවරුන් කියන්නේ කෙලෙසද? සිදු වූ පාඩු ජනතාව නිහඬවම විඳදරාගත යුතුද?
අපගේ යෝජනාව චීනයෙන් ගෙන්වූ පොහොරවලට අමතරව රසායන පොහොර තහනමේ සම්පූර්ණ කතාව විමර්ශනවලට ලක් කළ යුතු බවය. ඒ සියල්ල අල්ලස් කොමිසමේ විමර්ශනයට ලක් කොට, සමස්ත ක්‍රියාවලියට වගකිව යුතු සියලු දෙනාට වගකීම් පැහැරහැරීමට අදාළ දඬුවම් ලැබිය යුතු බවය. අනාගතයේදී අදූරදර්ශී, වංචා සහගත සහ වැරදි තීන්දු නොගන්නා තැනට කටයුතු කළ යුතු බවය.
තරිඳු උඩුවරගෙදර